Pages

Friday, November 22, 2013

බ්‍රිතාන්‍ය මෙහෙයවන යුද අපරාධ නාටකයේ මීළඟ රංගනය සහ ඕස්ට්‍රේලියාවේ මිත්‍රත්වයේ දෑත

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද ශක්‌තිය සම්පූර්ණයෙන්ම නැතිකර පරාජයට පත් කිරීමට හැකි වුවද ඊළාම් මතවාදය තවමත් එලෙසම පවතී. 

ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය ලෙස නම් දරා සිටි එල්.ටී.ටී.ඊ. ය හෙවත් මිනීමරු ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදී සංවිධානය යුදමය වශයෙන් මුළුමනින්ම විනාශ කර දැමීමට හැකිවීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට හිමි වූ ජාත්‍යන්තර පිළිගැනීම සහ කීර්තිය අතිමහත්ය. ශ්‍රී ලංකා යුද හමුදාව ලොව මුල් පෙළේ ප්‍රබල වෘත්තීයමය හමුදාවක්‌  බවට සෙසු රටවල ඇගයීමට ලක්‌වූ අතර, එය ඇතැම් බලවත් රටවල නොසතුටටද හේතුවක්‌ විය. තමන්ට කළ නොහැකි වූ දෙයක්‌ ශ්‍රී ලංකාව වැනි පුංචි රටක පුංචි හමුදාවක්‌ විසින් ජයග්‍රාහී අයුරින් ඉටුකිරීම එම රටවලට මදි පුංචිකමක්‌ සහ ලැඡ්ජාවක්‌ විය. එමෙන්ම ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ බිහිකිරීම උදෙසා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදීන්ට විවිධ අයුරින් සහාය දෙමින් පෝෂණය කළ රටවලට සහ එහි වෙසෙන දෙමළ ඩයස්‌පෝරාවට මෙම අන්ත පරාජය කෙසේවත් දරාගෙන සිටිය නොහැකි විය.

ඊළාම් රාජ්‍ය සිහිනය සැබෑ කර ගැනීමට ගෙන ගිය යුදමය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වුවද ඊළාම් මතවාදය තවදුරටත් පවත්වාගෙන යමින් කෙසේ හෝ ඊළාම් රාජ්‍ය සිහිනය සැබෑකර ගැනීම දෙමළ ඩයස්‌පෝරාවේ එකම අරමුණ වී ඇත. ඒ සඳහා නැවත යුදමය වශයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව තුළ අවස්‌ථාවක්‌ නොමැති බව දන්නා දෙමළ ඩයස්‌පෝරාව ඇතුළු දෙස්‌ විදෙස්‌ ඊළාම්වාදී බලවේග ඊට විවිධ ක්‍රමෝපායන් යොදමින් සිටිති.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බලවත් රටවල සහාය මත ඩයස්‌පෝරාව ගෙන යන එම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළෙහි එක්‌ පියවරක්‌ ලෙස ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදාවනට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන චෝදනා එල්ල කර යුද අධිකරණයක්‌ හමුවට ගෙන යැමේ ප්‍රයත්නයක්‌ ක්‍රියාත්මක විය. එම යුද අපරාධ නාටකයේ එක්‌ රංගනයක්‌ පසුගියදා ශ්‍රී ලංකාවේදී රඟ දැක්‌විණ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන්ගේ සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එම රංගනය තුළ ප්‍රධාන නළුවා විය. ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව ලබන වසරේ මාර්තු මාසයට පෙර නිසි විමර්ශනයක්‌ නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කර තිබුණි.

බළලා මල්ලෙන් එළියට පනිමින් අගමැති කැමරන් මහතා ඉකුත් 16 වැනිදා එම ප්‍රකාශය කළ පසු එය ශ්‍රී ලංකා රජයට එරෙහිව අවි අමෝරාගෙන සිටි සෙසු රටවලට මෙන්ම දෙස්‌ විදෙස්‌ ඊළාම්වාදීන්ට සහ විශේෂයෙන් දෙමළ ඩයස්‌පෝරාවට මහත් සතුටට හේතුවක්‌ විය. දේශපාලනමය වශයෙන් බංකළොත් වී සිටින මෙරට විපක්‍ෂයටද එය වාසිදායක තත්ත්වයක්‌ වූ බව පෙනී ගියේ යුද අපරාධ නමැති අවිය අතට ගෙන විපක්‍ෂයද දැන් ඉතින් රජයට දෙන්නම් බැටේ යනුවෙන් කෑමොර දෙන්නට පටන්ගත් බැවිනි. 

යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළාම් රාජ්‍ය යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා ඔස්‌සේ හෝ දිනාගැනීමට වෙර දරන ඊළාම්වාදී විදෙස්‌ ඩයස්‌පෝරාවට මෙන්ම ඡන්දයෙන් දිනාගත නොහැකි රාජ්‍ය පාලන බලය ඊළමුන්ට ආවඩා හෝ දිනාගැනීමේ කෑදර බලලෝභයෙන් පෙළෙන මෙරට විපක්‍ෂයටද බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රකාශය කිසියම් උද්දීපනයක්‌ වූවාට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉන් සැලුනේ නැත.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර විමර්ශන පැවැත්වීමට නන්දොඩවද්දී, එම ප්‍රකාශය කළ දිනට (16 දා) පසුදින (17 දා) ඔස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා ශ්‍රී ලංකා රජයට තම උපරිම සහයෝගය ලබාදෙන බව වචනයෙන් පමණක්‌ නොව ක්‍රියාවෙන්ද තහවුරු කර පෙන්වීය.

ඔස්‌ට්‍රේලියාව බ්‍රිතාන්‍යයේ සමීප මිත්‍ර රටකි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිතවාදී හෙවනැලි පවා තවමත් ඔස්‌ට්‍රේලියාව පුරා වැටී ඇත. එසේ තිබියදී එරට නව අගමැතිවරයා කාටත් ගැති නොවන, යටත් නොවන, නිවැරැදි දේ අගයන සහ ඊට සහාය දෙන එඩිතර නායකයකු ලෙස ශ්‍රී ලංකා රජයට සහාය පළකිරීම සැබැවින්ම අගය කළ යුතුය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා 16 වැනිදා ශ්‍රී ලංකා රජයට එරෙහිව වෙඩිමුර තබද්දී ඊට පසුදින එනම් (17 දා) ඔස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් "සයුර" ප්‍රහාරක නෞකාව නිරීක්‍ෂණය කළේය. එය මෙරට දේශපාලන සහ ආරක්‍ෂක අංශවලට ඉතා වැදගත් සුවිශේෂී අවස්‌ථාවක්‌ විය.

එමෙන්ම අගමැති කැමරන් මහතා ශ්‍රී ලංකාවට එරෙහිව කළ අභියෝගාත්මක තර්ජනයට අනියමින් එල්ල කළ අභියෝගයක්‌ ලෙස අගමැති ඇබට්‌ මහතාගේ එම "සයුර" නෞකාව නිරීක්‍ෂණය කිරීමේ සංචාරය සැලකිය හැක.

ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදාවනට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් යුද අපරාධ චෝදනා එල්ල කරද්දී ඔවුන්ගේ මිත්‍ර රටක්‌ වන ඔස්‌ට්‍රේලියාව ඊට හාත්පසින්ම වෙනස්‌ අයුරින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවකට ගොස්‌ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීම ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයට යොමුවිය. 

"සයුර" නෞකාව නිරීක්‍ෂණය කිරීමෙන් පමණක්‌ නොනැවතුන ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අධිවේගී මුර යාත්‍රා 02 ක්‌ නොමිලේ පරිත්‍යාග කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. එම යාත්‍රා 2014 මාර්තු මාසයට පෙර ලබාදෙන බවද අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලාංකික පුරවැසියන් ව්‍යාජ සරණාගතයන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධීව ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය වීම වැළැක්‌වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදේ සිදුකරන නාවික මෙහෙයුම් ඉතා විශිෂ්ට බව ඔස්‌ට්‍රේලියානු රජයේ පිළිගැනීමට ලක්‌වී ඇති බැවින්, එම නීති විරෝධී සංක්‍රමණ වැළැක්‌වීමේ මෙහෙයුම් තවදුරටත් කාර්යක්‍ෂමව හා සාර්ථකව සිදුකිරීම සඳහා මෙම මුර යාත්‍රා 02 ශ්‍රී ලංකාවට ලබාදීමට තම රජය තීරණය කළ බව අගමැති ඇබට්‌ මහතා එහිදී කියා සිටියේය.

මෙම පරිත්‍යාගය රටකින් තවත් රටකට කෙරෙන සාමාන්‍ය පරිත්‍යාගයක්‌ ලෙස සලකා සුළුකොට නොතකා මෙහි තිබෙන සුවිශේෂී වැදගත්කම සැලකිය යුතුව ඇත. 

දශක තුනක ඊළාම් යුද්ධය පරදවා ශ්‍රී ලංකාවට ස්‌ථිරසාර සාමය උදාකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකළ මෙහෙවර අතිමහත්ය. එය සැබැවින්ම අතිශය දුෂ්කර බැරෑරුම් මෙහෙවරකි. යුද්ධය අවසන් වුවද නාවික හමුදාවට සිය නාවික රාජකාරිවල අඩුවක්‌ සිදුවී නැත.

හතර වටින්ම මහා සාගරයෙන් වට වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආරක්‍ෂකයා ලෙස නාවික හමුදාවට ඇත්තේ විශාල වගකීමකි. එම වගකීම ඉටුකිරීමේදී ඔවුනට තිබෙන අභියෝග මෙන්ම දුෂ්කරතාද අපමණය. මේ සියල්ල මධ්‍යයේ සිය නාවික ආරක්‍ෂක මෙහෙයුම් සිදුකර ගෙන යන නාවික හමුදාවට එල්ල වෙන අපවාද සහ චෝදනාද නැතුවා නොවේ.

ඉන්දීය ධීවරයන් විසින් උතුරු සහ නැගෙනහිර මුහුදේ සිදු කරන අනවසර මසුන් ඇල්ලීමේ නීති විරෝධී කටයුතු මැඬලීමේදී ඉන්දීය රජයෙන් එල්ලවන බලපෑම් අපමණය. එමනිසා එරට නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක හමුදාව සමගද සීරුවෙන් කටයුතු කිරීමට සිදුවී ඇත.

එසේ තිබියදී මේ වන විට නාවික හමුදාවට තිබෙන ප්‍රධාන රාජකාරියක්‌ වනුයේ ශ්‍රී ලාංකිකයන් නීති විරෝධීව මුහුදු මගින් ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය වීම වැළැක්‌වීමයි. එම අනවසර සංක්‍රමණයන් අද වන විට මහා පරිමාණ මිනිස්‌ ජාවාරමක්‌ බවට පත්වී ඇත. එම ජාවාරම පසුපස දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් වැනි මහා බලවතුන් සිටින බව නොරහසකි. ඒ අතර නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් සහ නැවියන්ද සිටින බව පසුගිය දිනවල අනාවරණය විය.

එය නාවික හමුදාවේ කීර්තිනාමයටද හානි ගෙන දෙන බරපතළ අහිතකර තත්ත්වයක්‌ විය. මුදලට කෑදර කීපදෙනකු මෙම පාවාදීමට එක්‌වී සිටි බව මේ වන විට ප්‍රකට කරුණකි. ඔවුන් නීතියට කොටුවී ඇති අතර, තවත් ඒවාට සම්බන්ධ නාවික හමුදා නිලධාරීන් සිටීනම් ඔවුන්ද නීතිය හමුවට ගෙන එන ලෙස නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ පොලිසියට උපදෙස්‌ දී ඇත.

මෙවන් අභියෝග හමුවේ අනවසර ඔස්‌ට්‍රේලියානු මිනිස්‌ ජාවාරම මැඬලීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ගෙන යන වැඩපිළිවෙළ සහ කැපවීම ඔස්‌ට්‍රේලියානු රජයේ දැඩි ප්‍රසාදයට සහ පිළිගැනීමට ලක්‌වී තිබෙන බව ඔස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතාගේ "සයුර" නෞකා සංචාරයෙන් තහවුරු විය.

නාවික හමුදා නිලධාරීන් කීප දෙනකු මෙම මිනිස්‌ ජාවාරමට සහාය දෙන බව අනාවරණය වී තිබියදී ඔස්‌ට්‍රේලියාව මෙසේ ශ්‍රී ලංකා නාවික හමුදාව කෙරෙහි විශ්වාසය තැබීම සහ ඔවුන්ට මුර යාත්‍රා පරිත්‍යාග කිරීම සුදුසුද කියා විදෙස්‌ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති ඇබට්‌ මහතා මෙසේ පැවසීය.

"ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම අනවසර සංක්‍රමණ වැළැක්‌වීමට විශාල කාර්යයක්‌ ඉටුකරමින් සිටිනවා. එය අපි ඉතා අගය කරනවා. නාවික හමුදාවේ කීපදෙනකු මුදල් ලබාගෙන මිනිස්‌ ජාවාරමට සහාය දී තිබෙන බව පැවසුවද සමස්‌ත නාවික හමුදාවම එහෙම නැහැ. එනිසා නාවික හමුදාවේ සියලුම දෙනා ඊට වගකිව යුතු නැහැ.

අපි මෙහිදී බලන්නේ මෙම ජාවාරම මැඬලන්න නාවික හමුදාව ඉටුකරන සේවය පමණයි. මෙම ප්‍රශ්නය අපේ රටට දැඩිව බලපාන දෙයක්‌. අපිටත් අවශ්‍ය මෙම සංක්‍රමණ නැවැත්වීමයි. ඒ සඳහා අප දෙරටම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. එනිසයි අපි ශ්‍රී ලංකා රජයට සහ නාවික හමුදාවට උපරිම සහයෝගය ලබා දෙන්න තීරණය කළේ." 

එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකා රජය හා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර යුද අධිකරණය වෙත රැගෙන යැමට වෙර දරමින් සිටියදී ලොව තවත් බලවත් රටක්‌ වන ඔස්‌ට්‍රේලියානු රජයේ අගමැති ටෝනි ඇබට්‌ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට අධිවේගී මුර යාත්‍රා 02 ක්‌ පරිත්‍යාග කිරීමට සූදානම් වීම සැබැවින්ම ජාත්‍යන්තරයේ අවධානයට ලක්‌විය යුතුව ඇත.

ඕස්‌ට්‍රේලියානු අගමැතිවරයා ඉකුත් 17 වැනිදා කොළඹ වරායේ "සයුර" නෞකාවට පැමිණීම මාධ්‍ය ආවරණය සඳහා එදින උදැසන 6.00 ට පමණ මම වරාය චෛත්‍ය පාරේ ලයිට්‌ හවුස්‌ අසලට ගොස්‌ සිටියමි. ඒ වන විට වෙනත් කිසිම මාධ්‍යවේදියකු එම ස්‌ථානයට පැමිණ සිටියේ නැත. එකවරම මා නෙත ගැටුනේ උදැසන ශාරීරික ව්‍යායාම සඳහා මාර්ගය ඔස්‌සේ දිව එන පිරිසකි. ඔස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා පිරිවරා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ඇතුළු පිරිසක්‌ එම පිරිසට අයත් වූහ. 

ඉන් හෝරා දෙකකට පමණ පසු "සයුර" නෞකාව වෙත පැමිණි ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් පිළිගෙන නෞකාව වෙත කැඳවාගෙන යන ලදී. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම සමග පැවැති සාකච්ඡාව නිමකළ අගමැතිවරයා ඉන්පසු එහි සිටි මාධ්‍යවේදීන් වෙත පැමිණ ඉතා සුහදශීලීව සහ නිහතමානීව සිය අදහස්‌ දැක්‌වීය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි 
http://www.divaina.com/2013/11/22/feature02.html

0 comments: