Pages

Friday, November 22, 2013

එදා වේල ක්‍රිකට්‌ ක්‍රමයට ලෝක කුසලාන ජය ගැනීම සිහිනයක්‌ - අර්ජුන

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය අඳුරු පැතිකඩකට ගමන් කිරීමේ බලවේගයක්‌ ක්‍රියාත්මක වන බව ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට්‌ නායක හෙවත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැහැදිලි ක්‍රිකට්‌ අනාගතයක්‌ තිබුණද දැන් ක්‍රියාත්මක වන ක්‍රිකට්‌ වටපිටාව අනුව අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව අඳුරු පැතිකඩකට ගමන් කරන බවත් හෙට ගැන සිතා මීට වැඩිය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මෙහෙයුම් විනිවිද භාවයකින් කටයුතු කළ යුතු බවත් අර්ජුන රණතුංග මහතා 'දිවයින' සමග විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අවධාරණය කර සිටියේය.

"අද බලයේ ඉන්න කෑදරකමට එදාවේල වෙනුවෙන් ක්‍රිකට්‌ දුවන්න සැලසුම් සකස්‌ කළාට ඉදිරිය ගැන කිසිම සැලසුමක්‌ නැහැ. මේ යන විදිහට ගියොත් ඉදිරියේදී ලෝක කුසලාන ජය ගැනීම සිහිනයක්‌ වෙනවා. ක්‍රිකට්‌ ආයතනයේ බලධාරීන් ක්‍රියා කරන්නේ ඔවුන්ගෙ කාලයේදී හොඳට කලා කියල ඇග බේරගැනීමේ ප්‍රතිපත්තියක්‌. ඒ අනුව ගියොත් හොඳට තියෙන ලංකාවෙ ක්‍රිකට්‌ අනාගතයේදී අඳුරු පැතිකඩකට ගමන් කරනවා. මේක අදිසි බලවේගයක්‌ අනුව ක්‍රියාත්මක වෙනවාද යන්නත් සැකයි." යනුවෙන් අර්ජුන රණතුංග මහතා පවසයි.

"2017 ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියක්‌ පවත්වනවා. ඒ තරගාවලියට සුදුසුකම් ලබන්නේ ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් හතර. නමුත් දැන් ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල 7වැනි ස්‌ථානයේ ඉන්නෙ. අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම සමග ලංකාවෙදි ගහන්න තිබුණ ටෙස්‌ට්‌ තරග ප්‍රිමියර් ලීග් එකක්‌ හින්ද අත්හැර දැමුවා. ඒක ගහල දිනුවානම් අනිවාර්යෙන් අපිට ටෙස්‌ට්‌ ශ්‍රේණියේ තුනට හෝ හතරට එන්න තිබුණා. අන්තිමට ටෙස්‌ට්‌ තරග ගැහුවෙත් නැහැ එස්‌.එල්.පී.එල්. ගැහුවෙත් නැහැ."

"ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවද මීට වඩා යහපත් තීරණ ගත යුතුයි. අනාගතය ගැන සැලසුම් සකස්‌ කරනවනම් ඩිල්ෂාන්, මහේල සහ සංගක්‌කාර එක පිළිවෙළට බැට්‌ කරන්න එන්නෙ නැහැ. අනාගතය භාර ගන්න ඉන්න දිනේෂ් චන්දිමාල් වගේ ක්‍රීඩකයන් බැට්‌ කරන්නෙ පිතිකරු ලැයිස්‌තුවේ ගොඩක්‌ පහළින්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්‌ඩායමේ ඉන්න ගමන් ඔවුන්ව ඉහළින් එවල පීඩනයට හරි ගස්‌සවන්න සැලැස්‌මක්‌ නැහැ."

අද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තනතුරුවල ඉහළ පුටුවල සිටින්නන්ට අනාගතය වෙනුවෙන් හොඳ චරිත හැදීමේ වැඩ පිළිවෙලක්‌ නැති බවත් ඔවුන්ට අවශ්‍ය අද දිනයේ යමක්‌ ගැටගසා ගනිමින් තම තත්ත්වය රැක ගැනීම බවත් පැවසූ රණතුංග මහතා ඉදිරි අවුරුදු හතර පහේදී ක්‍රීඩා කරන්නේ අද පාසල් වයසේ සිටින ක්‍රීඩකයන් බවද අවධාරණය කර සිටියේය.

"සැලසුමක්‌ ක්‍රියාත්මක කිරීමේදී ගොඩක්‌ ඉදිරිය ගැන සිතන්න ඕන. ඉදිරියේදී අපිට 'ඒ' ටුවර් කීයක්‌ තියෙනවද වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායම විදෙස්‌ සංචාර කීයක්‌ තියෙනවද මේ හැම දෙයක්‌ම ඉදිරි අවුරුදු හතර පහකට ප්‍රයෝජනවත් වන සේ සකස්‌ කළ යුතුයි. එහෙම නැතිව මේ යන ක්‍රමයට ගියොත් හොඳට ක්‍රිකට්‌ තියෙන ලංකාවෙ ක්‍රිකට්‌ නැතිවෙයි."

"සෑම තරගාවලියක්‌ම ජයගැනීම ප්‍රධාන අභියෝගය වුවද නවකයන්ගෙනුත් එම අභියෝගය ජය ගැනීමට සැලසුම් සකස්‌ කළ යුතුයි. නවසීලන්තය සමග තරගාවලිය ජය ගැනීම වැදගත්. නමුත් නවක ක්‍රීඩකයන් යොදවල ඒක කරන්න පුළුවන්නම් ඊට වැඩිය හොඳයි. නවසීලන්ත කණ්‌ඩායම මෙහෙ ආවෙ ඒගොල්ලන්ගෙ හොඳම ක්‍රීඩකයන් තුන්දෙනෙක්‌ නැතිව. නමුත් අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තුන් දෙනාම හැම තරගයකම ක්‍රීඩා කරනවා. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පස්‌සෙ මේ තුන් දෙනාම එක පාර එළියට ගියොත් මොකද වෙන්නෙ. ඒ සඳහා දැන්ම සැලසුම් සකස්‌ කළ යුතුයි. හැම තරගාවලියකම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තුන් දෙනාගෙන්ම යෑපෙන්නෙ නැතිව නවකයන්ටත් බරක්‌ දිය යුතුයි."

"අද දක්‍ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ සංචිතයේ හිටියත් ඔවුන්ට දෙන අවස්‌ථාව කාලෝචිත නැහැ. රමිත රඹුක්‌වැල්ල කියන ක්‍රීඩකයා දක්‍ෂ ක්‍රීඩකයෙක්‌. මම ඇස්‌ දෙකින් දැකල තියෙනව ඔහු ක්‍රීඩා කරන ආකාරය. නමුත් ඔහුව උඩින් ගෙනල්ල ෙෆේල් වුණොත් එළියට විසි කරනවනම් ඒක වැරදියි. සමහර විට කෙහෙළිය රඹුක්‌වැල්ලගේ පුතා නොවෙන්න රමිත ජාතික සංචිතය අහලකටවත් නොඑන්න පුළුවන්. හෂාන් තිලකරත්නගෙ ළමයින් දෙන්න හොඳ දක්‍ෂ ක්‍රීඩකයන්. නමුත් හෂාන් තේරීම් කමිටුවේ ඉන්න හින්ද ඔවුන්ට අවස්‌ථාව ලැබුණොත් ඒක ළමයින්ට උඩින් ආපු අවස්‌ථාවක්‌ කියල කියන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඒ ළමයින්ට හොඳ නැහැ. මේ සියලු දේ හරියාකාරව වටහා ගනිමින් නියම ආකාරයට සිදුනොවුණොත් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ප්‍රශ්න මතුවෙනවා." අනිකුත් ක්‍රීඩාවන් කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශය සහ නොයෙකුත් සම්මේලන එක්‌ව වැඩ කටයුතු සංවිධානය කළද ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය සඳහා යහපත් වැඩපිළිවෙළක්‌ සකස්‌ නොවීම කනගාටුවට කරුණක්‌ බවත් මෙමගින් අදට වඩා අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට හානිදායක තත්ත්වයක්‌ මතුවීමේ අවදානමක්‌ තිබෙන බවත් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

අසේල විතාන | ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත 
http://www.divaina.com/2013/11/22/sports01.html

0 comments: