Pages

Friday, June 7, 2013

13 යනු ඇඳිවතද ඉතිරි කර නොගෙන සියල්ල බෙදුම්වාදීන්ට දීමක්‌ - නාපානේ පේමසිරි මහ නාහිමි

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු ඇඳිවතවත් ඉතිරි කර නොගෙන සියල්ල බෙදුම්වාදීන්ට ලබාදුන් අවස්‌ථාවක්‌ යෑයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියෝ පැවසූහ.

"ඉඩම් පොලිස්‌ බලතල සහිතව උතුරේ ඡන්ද එපා!" යන ඉල්ලීම රැගත් ජාතික නිදහස්‌ පෙරමුණේ දසදින මහජන පෙත්සම අත්සන් කිරීමේ ජාතික වැඩ පිළිවෙළට පූර්ණ ආශිර්වාද පිරිනමමින් මහ නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභිකවරුන් වන හිටපු සංස්‌කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විඡේනායක, මහනුවර දිස්‌ත්‍රික්‌ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්‌ස යන මහත්වරු මැණික්‌හින්න, හූරීකඩුව මහ පිරිවෙනේදී ඊයේ (06 දා) අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමිපාණෝ බැහැදැක තම දසදින මහජන පෙත්සම් වැඩපිළිවෙළට ආශිර්වාද ලබාගත්හ.

එහිදී මහ නාහිමිපාණෝ මෙසේද පැවැසූහ.

බුදුරජාණන්වහන්සේ වදාළ ධර්ම දේශනාවන්හි සඳහන් වෙනවා සිඟමන් ආ තැනැත්තකුට සියලු දේ දන් දුන් අවස්‌ථා. නමුත් අඩුම තරමින් ඒ අවස්‌ථාවලදී ඇඳිවත විතරක්‌ හෝ ඉතිරි කර ගන්නවා. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කියන්නේ ඇඳිවතවත් ඉතිරි නොකර ගෙන සියල්ල බෙදුම්වාදීන්ට ලබාදුන් අවස්‌ථාවක්‌. දෙව්දත් තෙරත්, බුදුරජාණන්වහන්සේගෙන් බුදු සසුනේ යම් බලයක්‌ තමන්ට ඉල්ලා සිටියා. නමුත් එහෙම බලය දුන්නොත් ඉන් බුදු සසුනට අවැඩක්‌ වන නිසා බුදුරජාණන්වහන්සේ එසේ කළේ නැහැ. නායකයා සතු බලතල තවත් අයකුට දිය යුත්තේ අවැඩක්‌ නොවන පරිද්දෙන්. බලය ලබාදිය යුත්තේ රට විනාශ වන විදියට නොවෙයි.

උතුරේ ඡන්දය පවත්වලා බෙදුම්වාදීන්ට බලය දුන්නොත් රටේ සමගිය, ඒකීයභාවය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. රට සංවර්ධනය කරන වැඩ පිළිවෙළ අඩාල වෙනවා.

අද (07 දා) දින මහජන පෙත්සමට අත්සන් ගැනීම අවිස්‌සාවේල්ලේ සිට ඇඹිලිපිටිය දක්‌වා සිදුකෙරෙනු ඇත.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/06/07/news09.html

0 comments: