Pages

Friday, August 16, 2013

ඉන්දියාව තවම අපිට බයයි.. රාවණ බලය අපි ළඟ තියෙනවා කියල එයාල හිතනවා

“අපි රටේ ආගමික සහයෝගිතාවට කැමැතියි. නමුත් ඒ මුවාවෙන් ආගමික අන්තවාදයට යන්න හදනවා නම් අපි ඒක නවත්වනවා. ඒක කරන ක්‍රමයත් අපි දන්නවා. සමහරුන් අපිට විරුද්ධ වෙයි. අපිට හිරේ ලගින්න වෙයි. කමක් නෑ. රට වෙනුවෙන් අපි මේ කල්ලි නවත්වනවා. ඒ වෙනුවෙන් රාවණ බලය කැපවෙනවා. මේ කල්ලි තමයි අපේ රටට ප්‍රශ්න ගේන්නේ” යැයි රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ ඊයේ (15 දා) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ‘රාවණ බලය’ මංගල සමුළුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ හිමියෝ මෙසේද පැවැසූහ.

“මේ සංවිධාන ආරම්භ වෙන්න කරුණු කිහිපයක් තියෙනවා. මේ රටේ රජවරුන් රටට සේවයක් කළා. රට බේරාගන්න වෙහෙසුණා. ලේ, කඳුළු, දහදිය හෙළලා තියෙනවා. රජවරුන් වැව්, දාගැබ්, විහාර ඉදිකළා. අපිට වගකීමක් තියෙනවා ඒ රජවරුන්ට පින් දෙන්න ඕනෑ කියලා. ඒක මම පටන්ගත්තේ අනුරාධපුරෙන්. අටපිරිකර 1000ක් පූජා කරලා පින් දුන්නා. ඒක වසරක් පාසා කරන පින්කමක්.

මේ රටේ ජීවත්වන භික්ෂුන් වහන්සේට ශාසනයට, රටට එරෙහි ප්‍රශ්න ජාලාවක් ඇවිත් තියෙනවා. ඊට එරෙහිව අපි සංවිධානගත වෙන්න ඕනෑ. අපි රටට, ශාසනයට අවශ්‍ය දේවල් සපයන්න ඕනෑ. ඒක භික්ෂුවක සතු වගකීමක්.

අන්න ඒ නිසයි අපි මේ සංවිධානය පිහිටුවා ගත්තේ. ඉතිහාසයේ සිටම ඉන්දියානු බලවේග තමයි ලංකාවට විරුද්ධව එල්ල වුණේ. මේ ව්‍යාප්තවාදය එදා ඉඳලා තිබුණා. මේකට හොඳ උත්තරයක් රාවණ රජු දුන්නා.

‘රාවණ’ ජගතෙක්, උගතෙක්, වැදගතෙක්. සීතාව පැහැරගෙන ආවත් ඇයට අවැඩක් ඔහු අතින් සිදුවුණේ නෑ. අන්න ඒ විශ්වාසය, වැදගත්කම නිසාම අපි අපේ සංවිධානයට ‘රාවණා’ නම යොදාගත්තා.

අපි ශක්තිමත්. අද රටේ ජනතාවගේ මුවග රැඳුණු සංවිධානයක් කරගන්න අපිට ශක්තිය තියෙනවා. මේ වෙනකන් අපි කළ සටන් රට වෙනුවෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. අපිට තරුණ ජවයක් තියෙනවා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගිහින් අපි අපිට වුණු අසාධාරණකම් ගැන කතා කළා. දැන් බොහෝ අය අපිට කෙබර ගහලා, අපිව පාච්චල් කරලා බිමට ඇදලා දාන්න උත්සාහ කරනවා. ඒත් ඒක සිහිනයක්. අපි යන්නේ අපේ පාරේ. කාගෙන්වත් හිරිහැරයක් නෑ.
මූලධර්මවාදී කණ්ඩායම් 60ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මේවා ඇමෙරිකානු ක්‍රියා බව ජනාධිපතිවරයා කිව්වා.

බුද්ධශාසන අමාත්‍යංශයක් තියෙනවා. මෙලෝ රහක් නෑ. රටේ පන්සලක සිදුවන දෙයක්වත් ඇමැති දන්නේ නෑ. අගමැති කතා කරන දේ එයාවත් දන්නේ නෑ. කොන්ද පණ තියෙන, කෑගහගහා පාරේ බැහැලා යන ඇමැති කෙනෙක් ඕනෑ. වහාම මේක සංශෝධනය වෙන්න ඕනෑ. මේ රටේ මුස්ලිම් පල්ලි 81ක් තියෙනවා. කවුද අවසරය දුන්නේ. අපි ගියොත් අම්මා-අප්පා ඉඳලා අහනවා. අපිට යන්න වෙන්නෙත් තොප්පියක් දාගෙන.

ඇමැති ලේකම් ඇතුළුව හැම දෙනාම අස්වෙන්න ඕනෑ. පුටුවේ වාඩිවෙලා පුටු රත්කළාට වැඩක් නෑ. අපි දැන් “සංස්කෘතික සෝදාපාළුවකට” ලක්වෙලා. අපි ඒකට මැදිහත් වෙලා වැඩ කළත් අපිට වගකියන්න කවුරුවත් නෑ. මේ විදියේ ආගමික කටයුතු අමාත්‍යංශයකින් රටට වැඩක් නෑ. අපි සැපට පන් පැදුරේ හිටියා. ඒකත් අපිට නැති කළා.  මෙච්චර දවසක් අපිට වස පොවලා, අනාගතය මන්දබුද්ධික කරලා දැන් කියනවා “පිටි එපා – වස” කියලා. මේ ජීවිතය නැවත ලබා ගන්න නම් අපි කොහොමද කටයුතු කරන්නේ. අපි දැන් හිරවෙලා ඉන්නේ. අපි රට වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. නැත්නම් පසුවට පසුතැවිලි වෙලා වැඩක් නෑ. අපිට අභියෝගයක් තියෙනවා. ඒ උතුරු පළාත් සභා ඡන්දයයි. විග්නේශ්වරන් අද කියනවා ප්‍රභාකරන් නිසයි උතුර තියෙන්නේ. ප්‍රභාකරන් වගේ වැඩ කරන්න එයාට ඡන්දය දෙන්න කියලා.

සමුළුව ඇමතූ අත්තනායක එම් හේරත් මහතා මෙසේ සඳහන් කලේය.

“එදා සුද්දාට එරෙහිව අපේ භික්‍ෂුන්වහන්සේ සටන් කළා. ඊට පස්සේ කැරැලි පවා ඇති වුණා. විරුද්ධත්වය කොච්චරද කියනවා නම් අපේ ගෙදර බල්ලන්ට දාන්නේ සුද්දන්ගේ නම්. අපව පාරාධීන කරලා අපිව පාගලා දැම්මාට ඒ කාලේ අපේ මුතුන්මිත්තෝ ඒ අයට දුන්නු තෑග්ග තමා ඒක.

ලංකාවේ තියෙන ධර්ම සාකච්ඡා, භික්‍ෂු සංවිධාන නතර කළොත් මේ රට තායිලන්තයක්, සිංගප්පූරුවක් කරන එක අමාරු නෑ කියලා ආණ්ඩුවට පක්‍ෂ මහාචාර්යවරයෙක් පසුගියදා කිව්වා. ඒ කතාව ගැන ලැජ්ජයි.

මුගලන් හාමුදුරුවෝ කියන්නේ හොඳට ගුටිකාලා පුරුදු චණ්ඩි ස්වාමීන්වහන්සේ නමක්. බුද්ධියෙන් විසඳන්න බැරි හැම ප්‍රශ්නයකටම බුදුන්වහන්සේ යැව්වේ මුගලන් හාමුදුරුවන්ව. ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ ප්‍රචණ්ඩත්වයෙන්මයි.

ඉස්සර පන්සල් කියන්නේ රටේ තානාපති කාර්යාල. එදා පන්සලේ හාමුදුරුවන්ට, අද දේශපාලනඥයන්ට තියෙනවාට වඩා විශාල බලයක් තිබුණා. ආණ්ඩුව ඇතුළේ මේ කහ සිවුර තුළ තව ආණ්ඩුවක් තිබුණා. කහ සිවුර දැරුවානම් ඕනෑම දළ කාරයකුගේ කොන්ද නැවෙන්න ඕනෑ. පන්සලට පැමිණි රාජ්‍යතාන්ත්‍රිකයන්ට පැඳුර එළන්න තරම් භික්‍ෂූන්ට බලයක් තියෙනවා. අපේ රටේ ප්‍රශ්න ගැන අපි කතා කරන්න ඕනෑ. උතුර පාලනය බාර දුන්නොත් මධ්‍යම රජයට බලපෑම් කරන්න බැරි වෙනවා. එතකොට තමයි මේ රාවණා බලයේ වටිනාකම දැනෙන්නේ. මේ කහ සිවුර නිරතුරුවම රට රකින්න එකතු වුණා. ඉදිරියටත් එකතු වෙනවා.

සමුළුව ඇමතූ මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවසූහ.

රුසියාවේ කතාවක ලංකාව ‘ස්වර්ගය’ විදියට නම් කරලා තියෙනවා. ඒත් අපි අද ඒක දකිනවාද? අපි අද ලෝකේ නැති ප්‍රශ්න කතා කරනවා. ඒත් පළමුවැනි ප්‍රශ්නේ මේ රට බෙදීමේ ගැටලුව. මුලින් ගෙය රැකගන්න ඕනෑ. පස්සේ කාමර බෙදා ගනිමු.
ජනාධිපති කියනවා බලතල දෙන්නේ නෑ කියලා. ඒත් ඉඩම් – පොලිස් බලතල අරගත්තට පස්සේ තිස් අවුරුදු යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච දේ කර ගන්නවා. අපිට තවමත් මේ රට බේරගන්න පුළුවන්. මේ කාරණා අවම වශයෙන් සංශෝධනය කරන්න ඕනෑ. නැත්නම් අයිස් කුට්ටියක් උඩ ගෙයක් හැදුවා වගේ දියවෙලා විනාශ වෙලා යනවා. මේක අවාසනාවක්. අපේ නිදහස සීමා වෙන්න තව නොබෝ දිනකුයි තියෙන්නේ.

ඉන්දියාව තවම අපිට බයයි. රාවණ බලය තවම අපි ළඟ තියෙනවා කියල ඒ මිනිස්සු විශ්වාස කරනවා. මේ ආගමික ගැටලු ඔඩුදුවන්න කලින් මේවා විස¼දා ගන්න ඕනෑ. ජනවාර්ගික ගැටලු ඇති කරන්න එපා. ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා ආගමික යාන්ත්‍රණයක් හදන්න. මොකද මිනිසුන් ආවේගශීලීයි. මේකට හොඳ විසඳුමක් ඕනෑ. ආගමික නිදහස සෑම ජාතියකටම තියෙන්න ඕනෑ. මෙහෙම ගැටලු එනකොට ඊට එරෙහිවන භික්‍ෂුන්ට එරෙහි වෙන්න රජයට අයිතියක් නෑ.

අපේ ‍ෙදාඩන් ඇටය පැළවෙන්නේ නෑ. ගස්ලබු ඇටය පැළවෙන්නේ නෑ. අද හෙම්බිරිස්සාව වගේ පිළිකාව පැතිරිලා. දැන් ‘කිරිපිටි’ ප්‍රශ්නය. අපි දේශීයකම ඇහැරවන්න ඕනෑ. රාවණ බලය ඒකට රට හැඩගස්වන්න ඕනෑ. රාවණ කියන්නේ පුද්ගලයකුට වඩා මහා විශාල බලයක් තියෙන කෙනෙක්. ඒක අපේ රටටත් අවශ්‍යයි.

අපේ කිරි එළදෙන ඉන්නේ නවසීලන්තයේ. ඕස්ට්‍රේලියාවේ. අපි ගෙදර දෙනගෙන් කිරි බොනවානම් ගව ඝාතනය අඩුවෙන්න අඩිතාලමක් වෙනවා.  අනාගතයේදී මවුකිරි පැකට් එන්න ඉඩ තිබෙනවා. මේක මහා විනාශයක්. මේ ජනතාවට වැරැදි දෘෂ්ටියක් දීලා තිබෙන්නේ. අන්න ඒක අපි වෙනස් කරන්න ඕනෑ. ශ්‍රී  ලංකාව ඒකීය රටක්. ඒ ඒකීයත්වය රකින්න තමයි රාවණ බළකාය පෙළ ගැහුණේ.

මෙහිදී රාවණ බලය සංවිධානයේ නිල වෙබ් අඩවිය www.rawanabalaya.lk ලෙස අත්තනායක එම්. හේරත් මහතා අතින් විවෘත කෙරිණි. ගිහි පැවිදි විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- Mawbima
August 16, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99435/

1 comments:

EMoney said...

රාවණා රජු මෙහි විසූ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. පාවාදීම් වලට එදා එයා ලක්නොවුනානම් රාමට පරද්දන්න ලැබෙන්නේ නැහැ.