Pages

Thursday, August 15, 2013

කොටහේන දීපදුත්තාරාම විහාරය වැඳපුදා ගැනීමට තායිලන්ත රජ කුමරිය පැමිණේ

1885 ප්‍රථම වරට බෞද්ධ කොඩිය නිර්මාණය කර එසවූ කොළඹ පැරණිතම බෞද්ධ විහාරස්‌ථානයක්‌ වන කොටහේන දීපදුත්තාරාම පුරාණ තායි රජ මහා විහාරය වැඳපුදා ගැනීමට අගෝස්‌තු 19 වැනිදා ප. ව. 1.00 ට තායිලන්ත රාජ්‍යයේ මහා චක්‍රී සිරින්තෝන් රජ කුමාරිය පැමිණීමට නියමිතය.

අමරපුර සම්බුද්ධ සාසනෝදය මහා සංඝ සභාවේ මහනායක ධුරන්දර දීපදුත්තාරාම තායි රජ මහා විහාරාධිපති වස්‌කඩුවේ මහින්දවංශ මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් රජකුමාරිය ඇතුළු පිරිසට සෙත් පැතීමට නියමිතය.

දීපදුත්තාරාම විහාරස්‌ථානයට පැමිණෙන රජකුමාරිය ඇතුළු රාජකීය සම්භාවනීය පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රජයේ මැති ඇමැතිවරුන් ගණනාවක්‌ සහභාගිවීමට නියමිතය. එසේම පළාත් සභා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ද කොළඹ මහ නගරාධිපති, නාගරික කොමසාරිස්‌, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගිවීමට නියමිතය.

තායිලන්තයේ 3 වන රාම රජුගේ මුණුබුරු ප්‍රින්ස්‌ ඩාන්ග් චුම්සායි කුමරු 1896 ලංකාවට පැමිණ වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පී. සී. ජිනවරවංශ නමින් පැවිදි බිමට පත්විය. 1904 සිට දීපදුත්තරාම පුරාණ විහාරයේ අධිපතීත්වය දැරූ උන්වහන්සේ 1908 දී ලංකාවේ කිසිම තැනක දක්‌නට නොමැති රත්න චෛත්‍ය නිර්මාණය කළහ.

තායිලන්තයේ 08 වන රාම රජතුමා, 09 වන රාම රජතුමා (වත්මන් රජතුමා) රාජකීය මවු බිසව, සිරිකින් රජ බිසව, රම්බායි දේවිය, කල්‍යාණි කුමරිය, කාම්බෝජ රජතුමා, පුරවත්‍ර කුමරු, චූලාබෝන් කුමාරිය ආදී රාජකීයයන් ලංකාවේ තායි රාජකීය විහාරස්‌ථානය ලෙස දීපදුත්තාරාම පුරාණ විහාරය නිල වශයෙන් පිළිගෙන ඇත. මෙහි පැමිණි රාජකීයයන් විසින් මදාරා, රත් හඳුන්, සුදු හඳුන් ආදී අගනා වෘක්‌ෂයන් රෝපණය කර ඇති අයුරු අදත් දක්‌නට පුළුවන. වත්මන් අගමැතිනිය වන යින්ග්ලක්‌ සිනවත්‍රා මැතිනියද ඇයගේ සොහොයුරු හිටපු අගමැති තක්‌ෂීන් සිනවත්‍රා මැතිතුමාද මැති ඇමැතිවරුන්ද, තායිලන්ත මහ බැංකු අධිපතීන් ඇතුළු සම්භාවනීයයන්ද මෙම විහාරස්‌ථානය වැඳ පුදා ආශීර්වාද ලබාගෙන ඇත.

0 comments: