Pages

Tuesday, August 13, 2013

රතුපස්වල ජලයේ ඉහල ඇසිඞ් ප‍්‍රමාණයක් – ITI

ආන්දෝලනයට ලක්ව තිබෙන රතුපස්වල ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව අවට කිලෝමීටරයක වපසරියකින් යුත් ප‍්‍රදේශයක ජල සාම්පල පරීක්ෂා කිරීමේදී එම ජලයේ ඇසිඞ් ගතිය ඉහළ මට්ටමක පවතින බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික‍්‍රම මහතා පැවැසීය.

මෙම ජල සාම්පලවල පී.එච්. අගය 6 සිට 3.1 පමණ දක්වා අඩු වී ඇති බව අයි.ටී.අයි. ආයතනයේ පරීක්ෂණයේ දී තහවුරු වූ බව ද මහාචාර්ය අබේවික‍්‍රම මහතා සඳහන් කළේය.


සාමාන්‍යයෙන් බීමට සුදුසු ජලයේ පී.එච්. අගය 6.5 සිට 9 පමණ දක්වා ප‍්‍රමාණයකින් තිබිය යුතු වන අතර එම අගය පහත බැසීම නිසා ජලයේ ආම්ලිකතාවය හෙවත් ඇසිඞ් ගතිය ඉහළ යන බව ද හෙතෙම කීය.


කෙසේ වෙතත් රතුපස්වල ප‍්‍රදේශයේ ජලයේ ආම්ලිකතාවය ඉහළ යෑමට කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා තවත් පුළුල් පරීක්ෂණයක් කළ යුතුව තිබෙන බව ද මහාචාර්යවරයා පැවැසීය.

ඒ සඳහා ජලයේ සංඝටක පරීක්ෂා කිරීම අවශ්‍ය වන අතර එම පරීක්ෂණය දැනටමත් ආරම්භ කර තිබෙන බව ද එහි වාර්තාව තවත් සතියකින් පමණ නිකුත් කළ හැකි වනු ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

August 13, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99287/

0 comments: