Pages

Sunday, June 2, 2013

හක්කෙ බුදු රැස් බොක්කෙ ගව මස්

පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ දළදා මාළිගය ඉදිරිපිට දී සිය සිරුරට ගිනි තබා ගෙන ඇති බව මේ වන විට ජන මාධ්‍ය ඔස්සේ කවුරුත් දැක ගන්නට ඇතිවා නිසැකය. උන් වහන්සේ මේ ජීවිත පූජාව කිරිමට උත්සාහ දරන ලද්දේ මේ  රටේ සිංහල බෞද්ධයින් ගේ වන්දනා මානයට ද පාත්‍ර වන ගවයා ඝාතනයට එරෙහිවය. එසේම අන්‍යාගම්කරණය නැවැත්විමට සකස් කරන ලද පණත ද සම්මත කරන ලෙස ද එහි ඉල්ලා ඇත.

ගවයා නොහාත් අම්බරුවා ගොවියාට නම් දෙවියෙකි. කමතේ වැඩ අහවර වූ පසු වැඩ ගැන්ම උදෙසා උන්ට නමස්කාර කිරීමද හීයෙන් පසු මුදා හැරීමට ප්‍රථම නමස්කාර කිරීමද පුරුදු පුහුණු වූ ජාතියක් ගවයා මස් කඩයට දැක්වූයේ කෙලෙසකදැයි කල්පනා කල යුතුය.   දිවංගත ඩී.එස්.සේනානායක අගමැති තූමා මුණ ගැසීමට පැමිණි ෆෝඩ් ට්‍රැක්ටර් සමාගමේ නියෝජිත පිරිසක් ලංකාවට ප්‍රථමයෙන්ම ගෙන් වූ ට්‍රැක්ටර් තොගය බෙදා හැරිමේ අවස්ථාව සඳහා සාභාගි වන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී අගමැති වරයා එක් ප්‍රශ්ණයක් පමණක් ඔවුන් වෙත යොමු කලේය. මේ යන්ත්‍රයට ගොමත් ගැසිය හැකිදැයි ඔහු විමසා සිටියේ නොදන්නා තාලයටය. ට්‍රැක්ටර් සමගමේ අයිති කරුවන් නිරුත්තර වි ඇත. අපේ ගොවි බිම් ට්‍රැක්ටරය විසින් ආක්‍රමණය කරන කල්හි මීමා සතුන් වත්තටත් නගුල කටුගෙයටත් යැවිය යුතු යයි මූමා නම් විදේශීය විශේෂඥයෙකු නිර්දේශ කලේය. දශක පහකට පසුව අද  ඒ ප්‍රකාශය සත්‍යයක් බවට පත් වී ඇත. සිංහල නගුල් දැන් දක්නට ලැබෙන්නේ කෞතුකාගාරයන් හි පමණකි. මීමා සතුන් වත්තට ගෙන නොගියද  මස් කඩයට දැක්කවීමට පසුබිම සකසා ඇත. ගොවි බිම් නිසරු වී තිබෙන අතර ආසනික් වැනි කෘෂි රසායන වලින් දූෂණය වී තිබේ.

ලංකාවේ පශු සම්පත් අංශ මූමා ගේ උපදෙස් පිළිපැද ඇත්තේ අකුරටමය. සිංහල තාලයට හැදුණු බටු හරකා ගේ කිරි නිෂ්පාදන හැකියාව මද බවට ඔවුන් කළ තක්සේරුව නිසා දෙමහුන් කිරි හරක් වැඩ පිළිවෙල ව්‍යාප්ත විය. කේප්ප හරක් ලංකාවට ආනයනය කෙරුණි. ඒ සමගම විෂ බීජ සහිත දෙනුන් ගෙන්වීම නිසා ගව වසංගත තත්වයක් ද ඇති විය. එයින් දේශීය ගව සම්පත විශාල වශයෙන් විනාශයට පත් විය.1958 දී ගව ඝාතක පණත සංශෝධනය කලේ මෙලෙස රෝග නිසා අබල දුබල වන මීගවයින් මැරීම පිණිසයි. නමුත් එම චක්‍ර ලේඛන නැවත 1983 .06. 20 දින අවලංගු කර ඇත. නමුත් එස් .බී දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටි කාලවකවානුවේ දී නැවතත් 1958 පණත බලාත්මක කොට මීගවයින් ඝාතනයට නැවත අවසර දෙන ලදී.

දේශීය මී හරකා මෙලෙස වඳව යන්නට පටන් ගත් අතර සූර්ති මූරා වැනි ඉන්දියන් මීමුන් ගේ ආගමනය ද සිදු විය. එහිදී බටු හරකා මස් කඩයට දක්කනවා ඇරෙන්නට වෙන යමක් කරන්නට හැකි කමක් නොවීය.පරංගින් ලක්දිවට පැමිණි සමයේ සිට මේ රටේ ගව ඝාතනය යස රඟට සිදු වූ බව අප දනිමු. කතෝලික ආගම වැලඳ ගත් සිංහලයින් පරංගින් ලන්දේසින් අනුගමනය කරමින් ගව මස් කෑවේ ඔවුන්ගේ සංස්කාතිය ඉහළින් සැලකූ බැවිනි. ඇතැම් ව්‍යාපාරිකයින් තොග පිටින් හරක් මස් සැපයීමේ කොන්ත්‍රාත්තු බාර ගෙන කටයුතු කළහ. එහෙත් සිංහල බෞද්ධයින් බහුතරයක් මේ මෑතක් වන තුරුම ගව මස් කෑමේ ආදීනව දැන ගෙන එය පිළිකුල් කළහ.

ලංකාවේ ගව මස් කඩ වල බහුතර අයිතිකරුවන් මුසල්මානුවන්ය. ඔවුන්ගේ ආගමේ හැටියට හලාල් කරන ලද ගව මස් බුදීමට අයිතියක් ඇත. එහෙත් සත්‍යය එසේ නොවේ . නබි තුමාගේ උපදෙස් හැටියට එය එසේ නොවේ.රත්කරන ලද තෙල් තාච්චියක හෝ තැටියක් උඩ සිට මේ ගව ඝාතනය කළ යුතු බව ඉස්ලාම් ආගමේ දක්වයි.   නමුත් මේ සැබෑ තත්වය වසන් කරවා රතු පාට තැටියක් උඩ සිට  මුසල්මානුවන්ට ඕනෑ හැටියට ගවයා ඝාතනය කරන්නට පසු බිම  සකසා ගෙන තිබේ. සෑම නගර සභාවකටම ප්‍රාදේශීය සභාවකම වැඩි ආදායමක් ලබා ගන්නා කඩ වෙන්දේසිය නම් හරක් මස් කඩ වෙන්දේසියයි. ඒ මස්කඩ ගත්දා සිට සිංහල බෞද්ධයින් ගේ ගම් වලට රිංගන මුසල්මානුවන් හොර හරක් මැරිමේ නිරත වෙති. එසේත් නැතිනම් සිංහල ඔත්තු කරුවන් යොදවා ගෙන ගම් වලට පැමිණ මහ රෑ හරක් පැහැර ගෙන යති. පසුගිය කාලයේ ලංකාව පුරාවටම මෙවැනි සිද්දි ගණනාවක් වාර්තා වී ඇත. ඒ අතර අම්පාර මඩකලපුව අක්කර පත්තුව වැනි බහුතර මුස්ලිම් ජනගහනයක්  පවතින ප්‍රදේශ වල තත්වය ඉතා දරුණුය. හම්බන්තොට අම්බලන්තොට වැනි ප්‍රදේශ වලින්  හරක් පටවන මුස්ලිම් වරු සියඹලාණ්ඩුව පාරේ නැගෙනහිරට උන් සේන්දු කරති. ඉතා කුඩා ලොරි රථ වල විශාල ප්‍රමාණයක් පටවා ගෙන ප්‍රවාහනය කර අතර හදිසියේ ආරක්ෂක අංශ වලට අසු වුවහෝ පැන යාමටද මග විවර කර ගනිති.  මෙවැනි අවස්ථාවලදී පොලිසිය ක්‍රියා කරන්නේ විවිධාකාරයෙනි. දඩ ගසා ගවයින් නැවත චූදිතයින් හටම භාර කරන අවස්ථා සුලභය. මීට එක් හේතුවක් වී තිබෙන්නේ උසාවියට ඉදිරිපත් කළ පසු ගව පට්ටිය බලා ගැනීමට සිදු වී තිබෙන්නේ  ද පොලිසියට බැවිනි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගව අනාථාගාරයක් ඇඹිලිපිටයේ විවෘත කළහ. එහෙත් එහි ගාල් කළ හැක්කේ සීමිත ප්‍රමාණයකි. අනෙක නම් තෙත් කලාපයට පුරුදු පුහුණ වූ ගවයින් මේ ස්ථාන වලදි රෝගාතුර වීම ද ප්‍රශ්ණයක් විය.

2011 වසරේ දී ශ්‍රී ලංකා සත්ව ආරක්ෂක සංවිධානය ඇතුලු 8 දෙනෙකු ගව ඝාතනයට අදාල සියලු නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා පොලිස්පති සත්ව විෂය භාර ඇමති ඇතුලු වග කිව යුත්තන්නට එරෙහිව උසාවි ගියහ.එහිදී ඉල්ලා සිටියේ මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙසටයි. එය විභාග කිරීමට 2011 ජන 14 දින අවසර දෙන  ලද අතර  පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ද  මෙහි පෙත්සම් කරුවෙකු වෙයි. ඉන්ද්‍රරතන හිමියන් වරක් ජනාධිපතිවරයා බැහැදැකීමට ද ගියේය. අත්සන් දශ ලක්ශයක් සහිත පෙත්සමක් රැගෙන ගිය උන්වහන්සේ ඇතුලු පිරිස ගව ඝාතනය  සම්පූර්ණයෙන් නතර කරන ලෙසට ඉල්ලා සිටියහ. මීට ප්‍රථම ජාතික හෙළ උරුමය ද ජනාධිපතිවරයාගෙන් එවැනි ඉල්ලිමක් කොට තිබේ. එහෙත් මුස්ලිම් වරුන්ගේ චන්ද වලට තිබෙන ආශාව නිසා මේ දෙශපාලනඥයින් එවැනි තීරණයක් ගැනීමට සෘජුව ඉදිරිපත් වන්නේ නැත. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබා ගැනීමට ප්‍රථම මැය මස 07 වන දා දාතමින් ලියූ මේ ප්‍රකාශයේ මේ සත්‍යය හෙළි දක්වා ඇත.

ලොව්තුරා පාද ස්පර්ශය ලැබූ උතුම් වූ පුණ්‍යවන්ත වූ ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කල යුතුය. මන්ද  යත් මේ රට සිංහල බෞද්ධ රටක් නිසාවෙනි.මේ රටට හරියන්න නම් මේ පාපා ක්‍රියාවන් නතර කළ යුතු වෙයි. සාමයේ අරුණලු මිනිසාට පමණක් නොව සතා සීපාවාටද තිබිය යුතුය.දිනකට ගවයින් 5000 ක් මරා මේ මහ පොළව ලෙයින් තෙත් කරන බව ඔබ දන්නවාද මේ පිළිබඳව මා ඔබ තුමා සමග අරලිය ගහ මන්දිරයේ දී සාකච්ඡෘවක්  ද පැවැත් වූවා . ඉන්පසු දශලක්ෂයක පෙත්සම භාර දුන්නා. ඉන් අනතුරුව ඇඹිලිපිටිය සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කරලා ජය ශ්‍රී මහා බෝධිය අසලදී අධිෂ්ඨාන පූජාවක් සිදු කලා. එහෙත් ඒ කිසිම දෙයකින් පිළිතුරක් නැති නිසා මා ගේ ජීවිතය පුදා අධිෂ්ඨාන කිරීමට තීරණය කරමි.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවසථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුත්තේය. මල්වතු විහාරයට සහ සියම් උපසම්පදාවට වසර 260ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා ද මේ ප්‍රතිපාදනය පිලිබඳව නැවත මතක් කිරීමක් කළේය. එහෙත් දැන් පෙනෙන ආකාරයට මේ ප්‍රකාශ හුදෙක් වචන වලට සීමා වෙයි. උත්සවයකදී මහා සංඝ රත්නය සතුටු කිරීමට හෝ මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමට පමණක් සිංහල බෞද්ධ වටිනාකම් උපයෝගි කර ගන්නා බව පැහැදිළිය. පූජය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ජීවිත පූජා කිරීමට උත්සාහ කලේ හක්කේ බුදුරැස් හා බොක්කේ ගව මස් තබා ගෙන සිටින  මේ දෙබිඩි දේශපාලනය නිරුවත් කිරීමේ අධිෂ්ඨානයෙනි.

- මතුගම සෙනෙවිරුවන්
http://seneviruwan.blogspot.com/2013/05/blog-post_27.html

0 comments: