Pages

Monday, November 4, 2013

කකුල් අතපයවලට බයිපාස්‌ සැත්කම් කර අංගවිකල වන්නට ගිය මිනිස්‌සුන්ට ජීවිතය දෙන මහ වෙදාණෝ

බයිපාස්‌ සැත්කම් ගැන ස`දහන් කරන විට නිතැතින්ම අපේ මතකයට එන්නේ හෘදය වස්‌තූව ආශ්‍රිතව කරන සැත්කම්ය. "එයාගේ හාට්‌ එකේ ප්‍රශ්නයක්‌ නිසා එයාට බයිපාස්‌ සැත්කමක්‌ කරලා... වැඩිය මහන්සි වෙන්න හොද නැහැ..." සමාජයේ බොහෝ දෙනෙකු බයිපාස්‌ සැත්කම් ගැන කියන මෙවැනි කතා අපි අසා ඇත්තෙමු.

සැබවින්ම බයිපාස්‌ සැත්කම් කරන්නේ හෘදය වස්‌තුව ආශ්‍රිතව පමණක්‌ යෑයි සමාජයේ අතිබහුතරයක්‌ දෙනා එසේ සිතා සිටිති. එහෙත් සමහර විරල අවස්‌ථා වලදී අත් පා වලටද බයිපාස්‌ සැත්කම් සිදුකරයි. අප මේ කියන්නට යන්නේ පුද්ගලයකුගේ පාදයක වළලු කරටත් පහළින් සිදුකළ එවැනි නහර බද්ධ කිරීමේ බයිපාස්‌ සැත්කමක්‌ ගැනය. ඒ වනවිට එම පුද්ගලයාගේ පාදය අප්‍රානිකව තිබුණේය. වඩාත් පැහැදිලිව කිවහොත් පාදය මැරී යමින් තිබුණේය. මෙසේ මැරී යමින් තිබු පාදයට නැවත ජීවය ලබාදීමට හැකිවුයේ මෙම සැත්කම නිසාය. පාදයට සිදුකළ ඒ විරල බයිපාස්‌ සැත්කම පිළිබ`ද කථාව දිග හැරෙන්නේ මේ ආකාරයටය.

හේ මාතර කොට්‌ටගොඩ පදිංචි අයෙකි. නම ඩබ්ලිව්. මහින්ද ගුණසේකරය. දෙදරු පියෙකූ වු මහින්ද තිස්‌හය හැවිරිදි වියේ පසු වූයේය. මහින්ද ධීවර කර්මාන්තයට සම්බන්ධ පුද්ගලික ආයතනයක රැකියාව කළේය. එක්‌ දිනක්‌ මොහු රැකියා ස්‌ථානයේ සිටියදි ඔහුගේ දකූණු පාදයේ දැඩි වේදනාවක්‌ ඇතිවුයේය. ඒ වේදනාව ඉවසා දරාගැනීමට නොහැකි තරමේ වේදනාවකි. මහින්ද කරාපිටියට පැමිණ විශේෂඥ වෛද්‍යවරයකු පුද්ගලිකව හමුවී පාදයේ වේදනාවට ප්‍රතිකාර ලබාගත්තේය. එම ප්‍රතිකාරවලින් පාදයේ වේදනාව අඩු වුවද දින කිහිපයකින් යළි පාදයේ කැක්‌කුම ඇතිවිය.

වේදනාව ඉවසා සිටීමට බැරිම තැන මහින්ද යලිත් පෙරකී විශේෂඥ වෛද්‍යවරයා හමුවිය. මහින්දට රෝහල් ගතවීමට උපදෙස්‌ ලැබුණි. මොහු රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගත්තද විටින් විට යළිත් පාදයේ වේදනාව ඇතිවිය. වේදනාව ඉවසා සිටීමට බැරිම තැන මහින්ද රෝහල් වාට්‌ටුවේ ඒ මේ අත ඇවිද්දේය. 

ලබාදුන් ප්‍රතිකාර වලින් තවදුරටත් පාදයේ වේදනාව සුව වුයේ නැත්නම් පාදයේ කොටසක්‌ කැපීමට සිදුවන බව මේ වනවිට මහින්දගේ කණ වැකී තිබිණි. පාදයේ ඇති වූ දැඩි වේදනාව නිසා හෙතෙම ඉතා බරපතළ ලෙස දුක්‌වි`දිමින් සිටියේය. විටෙක ඔහුට සිය දිවිහානිකර ගැනීමට සිතී තිබිණි.

මේ අතරතුරේ තම ඥතියකු මගින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන රංජුක උබේසිරි හමුවීමට මහින්දට අවස්‌ථාව ලැබුණි. මේ වෛද්‍යවරයා රුධිරවාහිනි හා අවයව බද්ධ කිරීමේ ප්‍රවිණයකි. මේ සම්බන්ධව දැනට දකුණු පළාතේ සිටින එකම වෛද්‍යවරයා වන්නේද රංජුක උබේසිරිය. ඔහු මහින්දගේ පාදය පරීක්‍ෂාකොට බලා වහාම සැත්කමක්‌ කළයුතු බැවින් යළි කරාපිටිය රෝහලට ඇතුළත් වන ලෙස මහින්දට උපදෙස්‌ දුන්නේය. ඉක්‌බිති වෛද්‍ය රංජුක විසින් කළ පරීක්‌ෂණවලදී මොහුගේ පාදයට රුධිරය ගලායන නහර අවහිරවී ඇති බැව් තහවුරු විය. නහරයක්‌ හැකිළී තිබිණි. මෙකී නහරවලට යළි රුධිරය ගමන් කිරීමට ඉඩ සැලැස්‌වීම ස`දහා මහින්දගේ පාදයට අලුතෙන් නහරයක්‌ බද්ධ කොට බයිපාස්‌ සැත්කමක්‌ කළයුතු බවට වෛද්‍යවරයා තීන්දු කළේය. සැබවින්ම මෙය ඉතා සියුම් ලෙස කළයුතු ශල්‍යකර්මයක්‌ විය. මක්‌නිසාද යත් මෙකී බයිපාස්‌ සැත්කම කළයුතුව තිබුණේ මහින්දගේ පාදයේ වළලුකරටත් පහළින් වු බැවිනි.

මෙය ඉතා කලාතුරකින් සිදුකරන අසාමාන්‍ය සැත්කමක්‌ විය. ඒ වනවිට මහින්දගේ දකූණු පාදයේ ඇ`ගිලි දෙකක්‌ද මැරි ගොස්‌ තිබුණි. මහින්දගේ පාදය නොකපා බේරාගැනිමට නම් සැත්කම කඩිනමින් කළයුතු වූයේය.

සැත්කම සූදානම් කෙරිනි. රංජුක වෛද්‍යතුමන් මහින්දගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශයෙන් ශිරාවක්‌ මතුකරගෙන එය පාදයේ පහලට රැගෙන එනු ලැබීය. එම ශිරාව අඩි තුනක්‌ තූනහමාරක්‌ පමණ දිග ශිරාවකි. අනතුරුව හැකිලී තිබු නහර යලි ප්‍රකෘති තත්වයට පත්කිරීමට කටයුතු කෙරිණි. වෛද්‍යවරයා විසින් මහින්දගේ පාදය දිගේ පහළට රැගෙන එනු ලැබු ශිරාව පාදයේ වලලුකර ප්‍රදේශයේදි ධමනියකට බද්ධ කළේය. මෙම නහරය මිලිමීටරයක්‌වත් විෂ්කම්හයක්‌ නැති එකකි. මේ නිසා මෙම බයිපාස්‌ සැත්කම කිරීමේදී බද්ධ කිරීමට අදාල ධමනිය සොයා ගැනිමද දැඩි අපහසු කටයුත්තක්‌ විය. කෙසේවුවද රුධිරවාහිනි බද්ධ කිරීමේ ප්‍රවිණයෙකු වු වෛද්‍ය රංජුක උබේසිරි ඉතා සාර්ථක ලෙස මෙම බයිපාස්‌ සැත්කම කොට අවහිර වී තිබු රුධිර සැපයුම යළි යථාතත්වයට පත් කළේය. සැත්කම සියයට සියයක්‌ සාර්ථක විය.

"මෙය ඉතා කලාතුරකින් සිදුකරන බයිපාස්‌ සැත්කමක්‌... මෙම පුද්ගලයාගේ පාදයේ වළලුකරින් පහලට රුධිරය ගලාගෙන ගියේ නැහැ... රුධිරය ගලායන නහර අවහිර වි තිබුණා. පසුව මොහුගේ පාදයෙන් වෙනම ශිරාවක්‌ ගෙන ධමනියකට බද්ධ කිරීමෙන් බයිපාස්‌ සැත්කමක්‌ කොට යළි රුධිර සැපයුම ලබාදුන්නා. මේ සැත්කම කළේ නැත්නම් මේ පුද්ගලයාගේ පාදයේ පහළ කොටස කැපීමට ඉඩ තිබුණා." වෛද්‍ය රංජුක උබේසිරි කීවේය.

අබ්බගාතයකු වීමට ඉඩ තිබූ මහින්දගේ පාදය නොකපා බේරාගැනීමට හැකිවුයේ නහර බද්ධ කිරීමේ මෙම සූක්‌ෂම බයිපාස්‌ සැත්කම නිසාය.

"මගේ පාදය බේරාගැනීමට හැකිවුනේ රංජුක දොස්‌තර මහත්තයට පිංසිද්ධ වෙන්න. මේ සැත්කම කිරීමට පෙර මම දැඩි වෙදනාවෙන් හිටියේ. වේදනාව ඉවසා ගන්aන බැරිව මම පුදුම දුකක්‌ තමයි වින්දේ. ඇතැම් අවස්‌ථාවලදී මට ජීවිතයත් එපා වුනා. ඒ තරමට පාදයෙන් ඇතිවු වේදනාව ඉවසා ගන්න බැරිඋණා. දැන් මගේ පාදයේ කිසි ගැටළුවක්‌ නැහැ. රැකියාවේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යනවා." සැත්කමට ලක්‌වු රෝගියා වන මහින්ද ගූණසේකර අප සමග කීවේය.

වෛද්‍ය රංජුක උබේසිරි මෙවැනි විස්‌මිත සැත්කම් ගණනාවක්‌ කළ වෛද්‍යවරයෙකි. රුධිරවාහිනී බද්ධ කිරීම පිළිබ`ද එංගලන්තයේ දීවිශේෂ පුහුණුවක්‌ ලබා ඇති වෛද්‍ය රංජුක නවසිලන්තයේදී අවයව බද්ධ කිරීම ගැන විශේෂ පුහුණුවක්‌ ලබා තිබේ. රුධිර නාල අවහිරවු විට හානි වු විට මෙන්ම නහර හැකිලී ගිය විට එම නාල නැවත යථා තත්වයට පත්කරන්නේ රංජුක උබේසිරි වැනි වෛද්‍යවරුන් විසිනි. මේ වෛද්‍ය රංජුක විසින් කරණු ලැබු එවැනි නහර බද්ධ කිරීමේ සැත්කමකි. දහඅට හැවිරිදි තරුණයෙකු යතුරුපැදි අනතුරකට ලක්‌වුයේය. ඔහුගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශයේ ඇතිවු කැපුමක්‌ නිසා ශිරා හා ධමනිවලට දැඩි ලෙස හානි වි තිබිණි. ධමනිය හා ශිරාව වෙන්වී තිබු අතර මොහු රෝහලට රැගෙන එනවිටත් සිහිසුන්ව සිටියේය. ලේ සැපයුම නතර වී ඇති නිසා පාදයද අප්‍රාණික තත්වයට පත්ව තිබිණි. මොහුගේ මොළයද ඉදිමී තබිණි. මෙම තත්ත්වය නිසා මොහුව විශේෂ ශල්‍යකර්මයකට ලක්‌කළ යුතු වූයේය.

"මේ තරුණයා සිහිසුන්ව සිටින විට තමයි මොහුගේ පාදයට මෙම සැත්කම කළේ... නහර බද්ධ කිරීමක්‌ කරලා පාදයට රුධිර සැපයුම ලබා දුන්නා. තරුණයාට සිහිය එන්න දින හතක්‌ ගියා. මොලයේ ක්‍රියා කාරීත්වය ඉබේම ඇති වුණා. මේ සැත්කම කළේ නැත්නම් මේ තරුණයාගේ පාදය කපා දමන්නට ඉඩ තිබිණි." වෛද්‍ය උබේසිරි කීවේය.


අවුරුදු හැත්තෑ අටක්‌ පමණ වු කාන්තාවක්‌ ඇගේ පාදයේ ධමනියක්‌ බි`දියාම නිසා මීට ටික කලකට ඉහතදී කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි. එම කාන්තාවගේ පාදයේ හමද මැරි ගොස්‌ තිබු අතර ඇගේ පාදය සුව අතට පත්කිරීමට නම් පාදයට බයිපාස්‌ සැත්කමක්‌ කළයුතු වූයේය. මෙම සැත්කම කරණු ලැබුවේද මෙම වෛද්‍යවරයාය. 

"මේ කාන්තාව දියවැඩියා රෝගයෙන් පෙළුනු කාන්තාවක්‌. ඇගේ ඇස්‌ පෙනීම පවා දුර්වල මට්‌ටමක තමයි තිබුණේ. මේ නිසා මෙය අවදානම් සැත්කමක්‌ වුණා. සැත්කම ආරම්භ කළාම දැක්‌කා ඇගේ අර්බුදකාරී තත්වයක්‌ ඇතිකළ නහරයේ අග ගෙඩියක්‌ තිබුණා. මේ ලේ ගෙඩිය බි`දියාම නිසා ධමනියට හානි වී තිබුණා. ලේ ගලාගෙන යාම නිසා නහරය බද්ධ කිරීමත් අපහසු වුණා. මේ නිසා ලේ නහරය පිළිසකර කිරීමට සිදුවුනා. පසුව ලේ නහරයේ තිබු සිදුර වසා දමලා තමයි ශිරාව ධමනියට බද්ධ කළේ. සැත්කම සාර්ථකවුනා." වෛද්‍ය රංජුක කීවේය.

ගාල්ල ලලිත් චාමින්ද
http://www.divaina.com/2013/11/03/feature11.html

0 comments: