Pages

Friday, August 2, 2013

උතුරේ අක්‌කර 6381 ක්‌ රජයට පවරා ගැනීමේ ගැසට්‌ නිවේදනය අවලංගු කරන්නැයි ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ පුත් ක්‍රිස්‌ටියන් කදිර්ගාමර්ගෙන් පෙත්සමක්‌

ආරක්‍ෂක සේනා බල මූලස්‌ථානයක්‌ පිහිටුවීම සඳහා යාපනය දිස්‌ත්‍රික්‌කයේ කන්කසන්තුරේ, වලිකාමම් සහ පලාලි අවට පිහිටි පුද්ගලයන් සතු ඉඩම් අක්‌කර 6381 ක්‌ රජයට පවරා ගැනීම සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා මෑතදී නිකුත් කළ ගැසට්‌ නිවේදනය zරිට්‌Z ආඥාවක්‌ මගින් අවලංගු කරන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ පුත් ක්‍රිස්‌ටියන් කදිර්ගාමර් මහතා ඊයේ (01 වැනිදා) අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය.

ඉඩම් ඇමැතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර උසාවි කැඳවා පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පවත්වන ලෙස ද එතෙක්‌ එම ගැසට්‌ නිවේදනයට අනුව කිසිදු පියවරක්‌ ඉදිරියට ගැනීම වගඋත්තරකරුවන්ට තහනම් කරමින් අතුරු නියෝගයක්‌ නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු 2005 වසරේදී කොටි වෙඩි ප්‍රහාරයකින් මියගිය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ පළමුවැනි විවාහයේ පුතෙකි. ඔහු කොළඹ 05, පූර්වාරාම පාර, අංක 227/13 දැනට පදිංචිව සිටී.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටින්නේ රජයට පවරා ගැනීමට තීරණය කර ඇති ඉඩම් අක්‌කර 6381 පිහිටි බිම් ප්‍රමාණය ඇතුළත තමාට පිය උරුමයෙන් අයිති වූ ඉඩම් කොටසක්‌ ද තිබෙන බවයි.

පාරම්පරික නිවස පිහිටි ඉඩමට ඔහු ගොස්‌ ඇත්තේ දිගු කාලයකට පසුවය. එනම් 2010 වසරේදීය. ආරක්‍ෂක හමුදාවේ අවසරය ඇතිව එහි ගිය ඔහුට තම ඉඩම අසල යම් කාර්යයක්‌ සඳහා ගොඩනැඟිල්ලක්‌ ඉදිවෙමින් තිබෙනු දක්‌නට ලැබී ඇත. ඉඩම අවට මුළු ප්‍රදේශයම දැඩි ආරක්‍ෂක කලාපයක්‌ හැටියට රජයේ ආරක්‍ෂක හමුදා යටතේ පාලනය වෙමින් පැවතිණ. එම ප්‍රදේශයේ තිබූ ආගමික සිද්ධස්‌ථාන කෝවිල් අලුත්වැඩියාවකින් තොරව අබලන් තත්ත්වයක තිබූ නමුත් සෙසු ගොඩනැඟිලි විනාශ කර දමා තිබිණි.

පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටින්නේ කොටින් සමඟ පැවැති යුද්ධය අවසන් වූවාට පසුව දිගටම එම ඉඩම් ආරක්‍ෂක හමුදා විසින් තවදුරටත් අයිතිකර ගෙන සිටීම නීතියට පටහැනි බවයි. යුද්ධයෙන් පසුව හදිසි නීතිය ද ඉවත් කර ඇති බැවින් ආරක්‍ෂක කලාප පවත්වාගෙන යැමට අවශ්‍ය නොවන අතර, ඊට නීතිමය අයිතියක්‌ ද නැතැයි ද පෙත්සම්කරු කියා සිටී.

කිසියම් පුද්ගලයකුගේ දේපොළක අයිතිය අත්හැරීමට කිසිදු කැමැත්තක්‌ නැති විටෙක එය පවරා ගැනීම හිතුවක්‌කාර හා අසාධාරණ ක්‍රියාවක්‌ බවත් පෙත්සම්කරු කියා සිටී.

නීතිඥ ලිලන්ති ද සිල්වා මෙනවිය මගින් පෙත්සම ගොනු කර තිබිණි.

මෙම 5 වැනිදා පෙත්සම සලකා බැලීමට නියමිතය.

සරත් ධර්මසේන
http://www.divaina.com/2013/08/02/news24.html

0 comments: