Pages

Friday, August 2, 2013

‘කදුලු ගෑස් හෝ අඩම්තේට්ටම් නොව තමන්ට ජලය ලබා දෙන්න' - ජලය වෙනුවෙන් හඬනා අවිහිංසා සටනට විහාර හයක හිමිවරුත් එක්වෙති

විනිග්‍රෝස් නැමැති පෞද්ගලික කර්මාන්ත ශාලාවක් හේතුවෙන් වැලිවේරිය, බැලූම්මහර, රතුපස්වල ඇතුළු ගම් අටක ළිං ජලය සහ ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර අපවිත‍්‍ර වී ඇති බව පවසමින් තුන්දහසකට අධික ජනතාවක් දින කිහිපයකසිට විරෝධතාවයේ නිරත වන අතර අද(01) පස්වරු එකට පමණ දහස් ගණනක ප්‍රදේශවාසීන් නව නුවර කොළඹ පාර වසා දමා වැලිවේරිය හතරමං හන්දියේ වාඩි ගත්හ. එම ස්ථානයේ සිට උද්ඝෝෂකයින් සටන් පාඨ කියමින් සිය විරෝධය පලකරමින් සිටී.

පාසැල් සිසුන් රැගත් වාහන හා ගිලන් රථ හැරුණුකොට වෙනත් කිසිදු වාහන ධාවනයකට ඔවුහු ඉඩක් ලබා දෙන්නේ නැත. කොළඹ නව නුවර මාර්ගයේ හමුදා නිලධාරියෙකු කැටුව ආ වාහනයක් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ආපසු හරවා යන්නට සිදු විය.

මේ අතර අද දිනයේත් මිනී පෙට්ටියක් හා මල් වඩම් සිවිරෝධතාවයට එක්කර ගත්හ. අදාල විරෝධයට සහය පළ කරමින් අවට විහාරස්ථාන හයක විහාරාධිපති හිමිවරුන් වැඩමකොට සිටී. උන්වහන්සේලා ,විරෝධතාකරුවන් විසින් මාර්ගය මැද ඉදිකළ හට් එකක් මත වැඩ හිඳී.

මේ වනවිට පොලිස් හා කැරළි මර්ධන ඒකකයේ විශාල පිරිසක්ද සන්නද්ධව රැකවල්ලා සිටින අතර කෙසේවෙතත් විරෝධතාකරුවන්ට පොලිසිය වෙතින් අවහිරයක් එල්ලවී නැත. යුදහමුදා සන්නද්ධ රථයක්ද ළඟා වී ඇති බවත් පැවසේ. ‘කදුලු ගෑස් හෝ අඩම්තේට්ටම් නොව තමන්ට ජලය ලබා දෙන ලෙස’ ජනතාව ඉල්ලයි. අදාල කර්මාන්ත ශාලාවට යාබදව ගල්ඔලුව විහාරාධිපති පුජ්‍ය තෙරිනැහැ සිරිධම්ම හිමි සිය මරාන්තික උපවාසය සිදුකරමින් සිටී. එම ස්ථානයේද හත්සියයක පමණ පිරිසක් සිටින අතර දැඩි ආරක්ෂක රැකවල්ද යොදා තිබේ.

මේ අතර නියෝජිත පිරිසක් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගොස් මේ පිළිබඳව සාකච්ඡාවක යෙදෙන බවත් වාර්තා වේ. එහි ප්‍රථිපල අපේක්ෂාවෙන් විරෝධතාකරුවෝ බලා සිටී.

2013 අගෝස්තු 01 05:10 pm - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=15049:2013-08-01-11-33-16&catid=34:news&Itemid=62

0 comments: