Pages

Thursday, August 8, 2013

අදවැනි දිනක දැයෙන් සමුගත් අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව


අපේ රටත් ජාතියත් ආගමත් භාෂාවත් රැකගැනීම සඳහා ජීවිත පූජාවෙන් කටයුතු කළ අය බොහෝය. මේ අතර දුටුගැමුණු, ගජබා, විජයබා, වළගම්බා, දස මහයෝධයන් ආදි විර පුරුෂයන් මුල් යුගයේ යුගපුරුෂයෝ වූහ.

රජ සමයෙන් පසු අපේ රටේ නැවත නිදහස වැලලී ගිය පසු ඒ නිදහස රැකගැනීම සඳහා ගිහි පැවිදි බොහෝ පිරිසක්‌ කටයුතු කර ඇත. කැප්පෙටිපොල, බද්දුමබණ්‌ඩාර, ඇහැලේපොල, වීදියබණ්‌ඩාර, මයාදුන්නේ, වීර පුරන්අප්පු වැනි අය ප්‍රධාන තැනක්‌ ගනිමින් පසු අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්‌චන්ද්‍ර තුමා, වාරියපොල සුමංගල, වැලිවිට සරණංකර, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද ආදි පිරිස්‌ද වූහ.

මෙවන් යුග පුරුෂයන් වරින්වර බිහිවෙන්නේ රටේත් ජාතියේත් පිනටය. මෙසේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් ජාතිය වෙනුවෙන් උදාර ජීවිත පූජා කළ අභීත විරෝදාර දූ දරුවන් අතර සෙන්පති ලුතිනන් ජෙනරාල්, ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීමතාණන්ට හිමිවන්නේ සුවිශේෂි ස්‌ථානයකි.

එතුමා යුද සෙන්පතියකු මෙන්ම මානුෂික ගුණ දහම් අගය කළ නිහතමානි අවංක සංවේදී කෙනෙක්‌ වූ අතර සාමාන්‍ය ජනයා අතර ප්‍රියමනාප පියෙකුමෙන් සිය හමුදා විරුවන් අතර ආදරයට පත්විය. ඒ ඔහුගේ සමානාත්මතා ගුණ සුවඳ නිසයි. මේ නිසාම අපේ තරුණ හමුදා පිරිස්‌, අපේ රඡ්ජුරුවෝ යන ප්‍රිය වදනින් ඇමතූහ.

මෙතුමා තෙරුවන් කෙරෙහි විශ්වාසයකින් කටයුතු කළහ. කුරිරු ත්‍රස්‌තවාදී යුද්ධය මැඩපැවැත්වීමේදී එතුමාට පැවරුණු වගකීම් බොහෝ විය. දෙමළ අහිංසක ජනතාවටත් හමුදා භට පිරිසටත් වන හානිය අවම කර ගනිමින් කටයුතු කිරීමට හැමවිට බුද්ධිමත්ව ක්‍රියා කළහ. මනා සැලැස්‌මක්‌ එතුමා තුළවිය. ත්‍රස්‌තවාදී මෙහෙයුම් සිදු කිරීමට පෙර බොහෝවිට මෙතුමා ශ්‍රී මහාබෝධින්වහන්සේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත් අවස්‌ථා බොහෝය. ඒ සෑම අවස්‌ථාවකදීම අපගේ සහයෝගය ලැබිණ. මින්පසු සිදුකළ බොහෝ මෙහෙයුම් සාර්ථක ප්‍රතිඵල ලැබූ බව කී වාර අනන්තය.

නිදහසින් පසු සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදි සියලු ජනකොටස්‌ සමඟියෙන් සාමයෙන් රටතුළ ජීවත්වූහ. නමුත් මේ සමඟිය දිගටම රැක ගැනීමට නොහැකිවිය. උතුරුකරයට වෙනම රාජ්‍යක්‌ අත්‍යාවශ්‍යයි පෙන්වමින් ද්‍රවිඩ ජනතාව තුළ විෂ බීජ වැපුරූ පිරිස්‌ වූහ. රටතුළත් ඉන් බැහැර ඇතැම් රටවලුත් රාජ්‍ය විරෝධී සංවිධානත් මේ අතරවිය. මේ දවල් සිහින ඔවුන්ගේ හිත්තුළ වැපුරූ නිසා ඉන් උඩඟුවූ ඇතැම් ද්‍රවිඩ තරුණ කණ්‌ඩායම් පෙළ ගැසිනි. දෙමළ ඊළාම් රාජ්‍යක්‌ වෙනුවෙන් ප්‍රභාකරන් නමැති ලොව ප්‍රධාන මිනීමරු ත්‍රස්‌තවාදියා බිහිවෙන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඔහු දෙමළ සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන් පැහැරගෙන ගිනි අවි අතට දී සයනයිඩ් කරල ගෙල බැඳ සිංහල මිනිසුන් තම පරම හතුරන් බවත් තම ජාතිය විනාශ කිරීමට සිටින පරම හතුරන් බවත් එනිසා අපි අප වෙනුවෙන් සටන් කළ යුතු බවත් ප්‍රකාශකරමින් පංති, දේශන පවත්වමින් ඒ සඳහා සංවිධානය වූහ. සුළුවෙන් පටන්ගත් මේ සංවිධානය පසුව ප්‍රබල සංවිධානයක්‌ වූහ. ආරක්‍ෂක අංශවල පිරිස්‌ද දේශපාලනඥයන්ද සිංහල වැසියන්ද භික්‍ෂුන් වහන්සේද ආගමික ස්‌ථානද රාජ්‍ය දේපළවලටද සිදුකළ විපත් බොහෝය. මුළු රට වෙලාගත් මේ ත්‍රස්‌ත ක්‍රියා අපේ පාලකයන්ට මහත් හිසරදයක්‌ විය. මේ සඳහා ඔවුහු විසඳුම් ලෙසින් විවිධ සාකච්ඡා සාම ගිවිසුම්, උතුරේ පළාත් සභා, ඉන්දු ලංකා ගිවිසුම්, සාම හමුදා වැනි ක්‍රමවේද අනුගමනය කළත් ඉන් ප්‍රතිඵලයක්‌ නොවීය. දිනෙන් දින ත්‍රස්‌ත ක්‍රියා රටතුළ උත්සන්න විය.

1987 වර්ෂය වනවිට මෙය උග්‍රඅතටම පත්විය. මේ නිසාම ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාත්, විජය විමලරත්න මහතාත් උතුරට යෑවීය. රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරගැනීමේ උදාර හැඟීමෙන් රණවිරුවන්ට පියෙකු වෙමින් නායකත්වය ලබා දෙමින් සිදුකළ බොහෝ මෙහෙයුම් සාර්ථක විය. අලිමංකඩ, වන්නි ප්‍රදේශය, වඩමාරච්චි, යාපනේ කොටුව, කිරාන්, නැගෙනහිර මන්නාරම, මුලතිව් ආදි ප්‍රදේශ මුදාගැනීමට හැකිවන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

කොබ්බෑකඩුව රණවිරුවා ඇතුළු කණ්‌ඩායම වඩමාරච්චි සටනට අවතීර්ණ වූයේ මිනීමරු ත්‍රස්‌තයන් මෙතැනින් අවසන් කරමි, යන තිර අධිෂ්ඨානයකිනි. ප්‍රභාකරන් කොටුකර අල්ලා ගැනීමට හෝ මරා දැමීමට ආසන්න මොහොත ළඟා කරගෙන තිබූ බැවිනි. නමුත් එදා මේ ප්‍රතිඵලය ගැන අබමල් රේණුවක තරම් හැඟීමක්‌ නැතිව, දෙස්‌ විදෙස්‌ දැඩි බලපෑම් මත මේ තීරණාත්මක සටන වහා නතරකරණ ලෙස ඉහළින් අණක්‌ ලැබී තිබුණි. මේ නියෝගය නිසා කොබ්බෑකඩුව මහතාට මේ ජයග්‍රාහි සටන අතරමග නතර කර දැමීමට සිදුවිය. එය අපේම අභාග්‍යයක්‌ විය.


අවි ආයුධ අතරැඳි මිනිමරු ත්‍රස්‌තයන් සමඟ කෙරෙන සාකච්ඡා ඵලක්‌ නැති බවත් යුද්ධයෙන්ම මේ ප්‍රශ්නය විස¹ ගත යුතුබවත් කොබ්බෑකඩුව මහතා දැරූ මතය විය.

1992 අගෝස්‌තු 7, වැනි දින ඔහු නැවත පලාලි වලට පිටත්කර යෑවීය. යාපනය මුදා ගැනීම එහි අරමුණ විය. එතුමාගේ වටිනා ජීවිතයේ අවසානය ගමන බව එතුමා නොදැන සිටියේය.

අගෝස්‌තු 8 වැනිදා උදේ එතුමා විජය විමලරත්න මහතාත් සෙසු පිරිසක්‌ කයිට්‌ස්‌ දූපතේ අරාලි මංසන්ධිය වෙත පැමිණ සූදානම් කර තිබූ වාහනයට නැග ඉදිරියට යත්ම අටවා තිබූ බෝම්බයකට ගොදුරුවී සියලුදෙනා සදහට දැයෙන් සමුගන්නේ මුළු රටම කම්පාකරවමින්ය.

යුද බිමේ මෙතුමා දැක්‌වූ දක්‍ෂතා හා කැපවීම් නිසා වඩමාරච්චි පදක්‌කම, සන්නද්ධසේවා පදක්‌කම, පූර්ණභූමි පදක්‌කම, දීර්ඝ සේවා පදක්‌කම, ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධසේවා පදක්‌කම, ජනාධිපතිධුර ප්‍රාප්ති පදක්‌කම, රණ වික්‍රම පදක්‌කම ආදියෙන් පිදුම් ලැබීය.

"කොටි ත්‍රස්‌වාදය යුද්ධයෙන්ම අවසන් කළ යුතුයයි" එතුමා එදා දැරූ මතය ක්‍රියාවට නැගූ එකම රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය. අභීත සේනාධි නායකයකු වශයෙන් රට වෙනුවෙන් මතුපරපුර වෙනුවෙන් සියලු හමුදා සහයෝගයන් ලැබ දෙස්‌ විදෙස්‌ බලපෑම්වලට දණ හිස කොන්ද නොනමා වර්ෂ 30 ක්‌ පැවැති කොටි ත්‍රස්‌තවාදි යුද්ධය රටෙන් අතුගා දමා මාතෘ භූමියට නිදහස උදාකර දුනි. කෘතවේදි ජනතාවක්‌ වශයෙන් මේ උදාකරදුන් ජයග්‍රහණය කිසිදා කිසි මොහොතක අප සිත් තුළින් අමතක නොකළ යුතුය.

මාතෘ භූමිය වෙනුවෙන් උදාර ජීවිතයක්‌ පූජාකළ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අභීත සෙන්පතියන්a දැයෙන් සමුගෙන 8 වැනි දිනට වර්ෂ 21 ක්‌ සම්පූර්ණවේ. එය නිමිතිකරගෙන එතුමාට පුන්‍යානුමෝදනා පිණිස ඓතිහාසික අනුරාධපුර ලංකාරාම විහාරස්‌ථානයේත්, ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසත්, තන්තිරිමලේ විහාරස්‌ථානයෙත් දානමය හා බෝධි පූජා පිංකම් මාලාවක්‌ පැවැත්වීමට එතුමාගේ දයාබර බිරිඳ ලලී කොබ්බෑකඩුව මැතිනියත් දරු තිදෙනාත් පවුලේ ඥතීනුත් කටයුතු සංවිධානය කර ඇත, ඒ පිං බලෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

අනුරාධපුර ලංකාරාමාධිකාරි - උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක - රැළපනාවේ ධම්මජෝති හිමි
http://www.divaina.com/2013/08/08/feature02.html

0 comments: