Pages

Monday, November 4, 2013

දුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...

ලෝකයේ වෙන කවරදාකටත් වැඩිය වර්තමානයේ අපේ ජීවිත වලට ව්‍යාපාරවල බලපෑම පෙනෙන්නට දැනෙන්නට තිබේ. අපේ රටේ මේ ආසන්න වකවානුවේ සිදුවූ විවිධ පෙරළිවලින් අපිටද එය අත්විඳින්නට ලැබුණි. මෙහිදී ප්‍රධාන වශයෙන් එසේ අවධානය යොමු වූ කාරණා කිහිපයක්‌ ලෙස කර්මාන්තශාලා මගින් පිටකරන අපද්‍රව්‍ය නිසා ජල පෝශක අපවිත්‍ර වීම, මිනිස්‌ පාරිභෝජනයට ඉතාම අහිතකර රසායනිකයන් අඩංගු පිsටි කිරි හා සිගරට්‌ පැකට්‌ මත රූපමය අවවාදයන් ඇතුළත් කිරීමට රජය ගත් තීරණයට පැමිණි බාධා වැනි උදාහරණ හැඳින්විය හැකිය. 

මින් සිගරට්‌ සම්බන්ධ ගැටලුව සමග නම් අපි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කතා කරමින් සිටිමු. අද වන විට විවිධ මුහුණුවරින් පැමිණෙන දුම්කොළ ප්‍රශ්නය සමග අපි ගනුදෙනු කරමින් සිටින්නේ එය පාලනය කිරීමේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙන දේශපාලන නායකත්වයක්‌ද ඇතිවයි. 

අපි අද රටක්‌ ලෙස නතර වී සිටින්නේ සිගරට්‌ පැකට්‌ මත රූපමය අවවාද 80% ක ප්‍රමාණයෙන් ගෙන ඒමේ වැඩපිළිවෙලට එරෙහිව දුම්කොළ සමාගම් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග අභිමුවයි. කෙසේවෙතත් අන් කවර දාකටත් වඩා සිගරට්‌ හා දුම්කොළ පාලනය පිළිබඳව මිනිසුන් කතා කිරීමට පෙළඹ වූ කාරණයක්‌ ලෙස මේ උද්ගත වී ඇති තත්ත්වය පෙන්විය හැකිය. 

එහෙත් සිගරට්‌ පාලනය ගැන කතා කරනවිට ඇතිවන මූලික ප්‍රශ්නයක්‌ ගැන අවධානය යොමු කිරීම වටින බව මාගේ අදහසයි. එනම් සමහර අවස්‌ථාවලදී මේ සම්බන්ධයෙන් අපට අසන්නට ලැබෙන ප්‍රධාන තර්කයක්‌ වන "පාලනයක්‌ නොව මේ දුම්කොළ කර්මාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමුවා නම් හරි" යන්නයි. තවද "මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ ආණ්‌ඩුවල උවමනාවටයි" යෑයිද තවකෙක්‌ කියති. එය කෙනෙකුට බැලූ බැල්මට නිවැරදි යයි සිතුනත් එය තර්කානුතූලව හා ප්‍රායෝගිකව විමසා බැලීම වැදගත් යයි සිතමි

තහනම් නොකර පවත්වාගෙන යන ගමන් නියාමනය කිරීමට කටයුතුකරන නොයෙක්‌ කර්මාන්ත හා ක්‍රියාකරකම් ලෝකයේ බහුලයි. ඉන් ප්‍රධාන තැනක්‌ පරිසර ගැටලු ඇති කරවන භාණ්‌ඩ හා සේවා ව්‍යාපාරයන් හැඳින්විය හැකියි. මේවා නිසි ආකාරයෙන් නියාමනය කරන්නේ ලෝකයේ පැවැත්ම හා මිනිස්‌ පැවැත්ම සුරක්‌ෂිත කරලීම සඳහායි. 

සරල තර්කය නම් පරිසර දූෂණය අවම කිරීමට ඒවාට අදාළ මිනිස්‌ ක්‍රියාකාරකම් නැවැත්වීමයි. එහෙත් එය ප්‍රායෝගික නොවන බව කිය යුතු නැත. එමනිසා නියාමනයට අවැසි කටයුතු සිදුකරයි. දුම්කොළ කර්මාන්තය මෙහිදී මීට වඩා වෙනස්‌ය. එනම් එය තවමත් පැවතෙන්නේ ඇත්තටම අප එය නවතා දැමිය නොයුතු නිසා නොවෙයි වෙනත් කරුණක්‌ නිසාය. 

දුම්කොළ කර්මාන්තය සතු අධික ධනය නිසා ඔවුන් ඉතා බලවත් වී සිටිති. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මත ඔවුන් නොයෙක්‌ විධි හරහා තම කූට බලපෑම පතුරවා ඇත. සෞඛ්‍ය ගැන පර්යේෂණ කරන විද්‍යාඥයෝ පවා සමහරවිට මෙම සමාගම්වල විෂම හස්‌තයට නතු වී ඇත. ලෝකයේ නොයෙක්‌ තැන්වල පොලිසිය හා වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රතිපත්ති සකසන ආයතන දුම්කොළ කර්මාන්තයට විරුද්ධව ක්‍රියාකිරීම වැළකීමට මෙම කර්මාන්තය සමත් වී ඇත.

ඒ අනුව අද දුම්කොළ කර්මාන්තය තවම වසා දැමීමට නොහැක්‌කේ තවමත් එසේ කළ යුතු බව අවබෝධ කරගත් සාමාන්‍ය ජනතාවට වඩා දුම්කොළ කර්මාන්තය බලවත් නිසාය නමුත් ලොව හැම තැනම එය එසේ නොවේ.

වර්තමාන ලෝකයේ භාවිතය වැනි රටවල් සිගරට්‌ සම්පූර්ණයෙන් තහනම් කොට ඇති අතර ස්‌වීඩනය, නෝර්වේ වැනි රටවල් සිය සැලසුම් ක්‍රියාත්මක කර ඇත්තේ 2020 වන විට සිගරට්‌ කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඒ රටවලින් ඉවත් කර දැමීමටයි. 

තවද පසුගිය දිනක යුරෝපීය සංගමය සිය රටවලට සිගරට්‌ භාවිතය අවම කිරීමේ හා පාලනය කිරීමේ වැඩසටහනක්‌ ලෙස රූපමය සෞඛ්‍ය අවවාද දැමීම සිය සාමාජික රටවලට අනිවාර්ය කරන ලදී. ඇමරිකාවේ සිගරට්‌ මිලදී ගත හැකි අවම වයස පසුගියදා ඉහළ දමනු ලැබිණි.

මුළු ලෝකයම නියමාකාරයෙන් සිගරට්‌ කර්මාන්තය නියාමනය කිරීමට පෙළ ගැසෙන බවක්‌ පෙනෙන්නට තිබේ. මෙම උපාය මාර්ගික මැදිහත් වීම ආරම්භ වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය කෙටුම්පත් ප්‍රකාශයට පත්කොට එයට ලෝකයේ රටවල් එකඟ වීම සමගයි. 

මේ සියලු උත්සාහයන් පවතිද්දී ලෝකයේම සිගරට්‌ කර්මාන්තයේ උත්සාහය තම ව්‍යාපාරවල පැවැත්ම තහවුරු කිරීම නොවේ. එම කර්මාන්තය මිහිපිටින් තුරන් වීමේ දිනය කෙසේ හෝ කල් දමා ගැනීමයි. ඒ උත්සාහයන්හිදී සදාචාරාත්මක හෝ එසේ නොවන හෝ ක්‍රියා අනුගමනය කරමින් කටයුතු කිරීමට එම සමාගම් පෙළඹෙන බව තොරතුරු වාර්තා දක්‌නට තිබේ. 

මිනිස්‌ ජීවිතවල වැදගත්කම කිසිසේත් නොදැනෙන කර්මාන්තයක්‌ හුදෙක්‌ ආර්ථික වාසිය සඳහාම පමණක්‌ තමන්ගේ හා අන් අයගේ න්‍යාය පත්‍රයෙන් රිසිසේ හසුරුවන තත්ත්වයක්‌ අද ලෝකයේ දක්‌නට ඇත. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ ප්‍රකාශයට පත්කළ දුම්කොළ සමාගම්වල මැදිහත් වීම් සම්බන්ධයෙන් වූ ප්‍රකාශනයෙහි සඳහන් වේ. එහිදී දේශපාලන හා නීති සම්පාදක ක්‍රියාදාමයන් කොල්ලකෑමල කර්මාන්තයෙන් ආර්ථිකයට ඇති වැදගත්කමක්‌ ගැන අතිශයෝක්‌තියෙන් පෙන්වීම, ගෞරවණීය ප්‍රතිරූපයක්‌ ලබාගැනීම සඳහා ජනමතයක්‌ මෙහෙයවීමට කටයුතු කිරීමට, කාලයක්‌ පුරාවට නිසි ක්‍රමවේද වලින් විද්‍යාත්මකව සනාථ කරගන්නා ලද සතය නොසලකා හැරීම, නඩු මගට යැම් හා නීති මගින් සිදු කරන තර්ජන ගර්ජන වලින් ආණ්‌ඩු බියගැන්වීම වැනි කරුණු සදහන් කළ යුතුය.

ඉහත කාරණා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැහැදිලිව සඳහන් කරන්නේ දීර්ඝ කාලයක්‌ පුරා ලෝකයේම දුම්කොළ කර්මාන්තයේ හැසිරීම හැදෑරීමක්‌ කිරීමෙන් අනතුරුවයි. මේ ඉහත සඳහන් කළ කරුණු අපේ රටේ අද වන විට ඇස්‌ පනාපිට පෙනෙන්නට තිබීම එය අවබෝධ කරගැනීමට අපට ලබාදුන් අවස්‌ථාවකි. 

සිගරට්‌ කර්මාන්තය නවතා දැමීම සිය ස්‌ථාවරය ලෙස පහසුවෙන්ම යෝජනා කරන උදවිය තේරුම් ගත යුතු සත්‍යය නම් මේ කර්මාන්තයේ මගඩි හා කූට ක්‍රියාකාරකම් සෑම විටම එයට පැමිණෙන අභියෝගයට ඉදිරියෙන් පැවතීම නිසා සම්පූර්ණයෙන් කර්මාන්තය එකවර නවතා දැමීම සිදුකිරීම ප්‍රායෝගික නොවන බවයි. එහෙත් මා සඳහන් කළ නියාමනයන් අනුගමනය කිරීමෙන් අනාගතයේදී වසූරිය හා පෝලියේ මෙරටින් තුරන් කළා මෙන් මෙම මිනීමරු කර්මාන්තයද සම්පූර්ණයෙන් අවසන් කර දැමීමට මග හෙළි පෙහෙළි වනු ඇත. 

කෙසේ වෙතත් අපි අපේක්‌ෂා කරන ලෝකය රන් බන්දේසියක තබා අපේ දෙපාමුලට ලැබෙයි කියා නම් කිසිසේත් සිතිය නොහැක. අද වන විට අපේ දේශපාලන, ජනතා, ශාස්‌ත්‍රීය, කම්කරු, රණවිරු හා තවත් නොයෙකුත් රටට හිතැති බලවේගයන් එක්‌ව අපට දිනාදුන් රටක්‌ ඇත. අප ත්‍රස්‌තවාදය පරදා ජය ගත්තේ මේ බලවේග එක්‌ව සියලු අභියෝග ජයගත් නිසාය.

මෙම මිනීමරු දුම්කොළ කර්මාන්තය හමුවේද තත්ත්වය එසේමය. බස්‌රථවල, නැවතුම්පොළ වල, මිනිසුන් ගැවසෙන පොදු ස්‌ථාන වල සිගරට්‌ උරමින් සිටින මිනිසුන් අද බහුලව දක්‌නට නොලැබෙන්නේ අපි හෝ අපිට පෙර පරම්පරාව ඒ වෙනුවෙන් කළ කිසියම් හෝ කාර්යක්‌ නිසායි. ජනාධිපතිතුමා හා සෞඛ්‍ය ඇමැතිතුමා ප්‍රමුඛ රජය තුන්වැනි ලෝකයේ රටවලට ආදර්ශයක්‌ද සපයමින් සිය වගකීම මේ වේලාවේ ඉෂ්ට කර තිබීම අතිශය සතුටට කාරණයකි.

මේ නිසා අද වන විට ලෝකයේ සිගරට්‌ කර්මාන්තය අපහසුවෙන්ම පවත්වාගෙන යන රටක්‌ ලෙස අපේ රටද හැඳින්විය හැකිය. සිගරට්‌ භාවිතය තහනමකට ලක්‌ නොකොට භාවිතය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින රටක්‌ ලෙස ලෝකය අපව හඳුන්වයි. එවන් ජයග්‍රහණ ආපස්‌සට හැරවිය හැකි බලවේග සිටී නම් ඒවා හඳුනාගෙන නිසි ප්‍රතිචාරය දැක්‌වීම වගකිවයුතු පුරවැසියකුගේ යුතුකමකි. 

විවිධ යෝජනා ඉදිරිපත් කර සිටිනවාට වඩා ඵලදායි හා හොඳම දෙය කිරීම වැදගත්ය. සිගරට්‌ සමාගමේ න්‍යාය පත්‍රයේ බලපෑමට හසු නොවී අප කවුරුත් වඩා ඵලදායී යෝජනාවලට යා යුතුය. කර්මාන්තය තහනම් කිරීමට පුළුවන් වුණාට අප ඉන්නේ ඊට පසුපසින් බව අපි තේරුම් ගනිමු. නමුත් සිගරට්‌ කර්මාන්තය ගැන නිවැරදි ආකාරයට රටක්‌ දැනුවත් කිරීමට සහ ඒ හරහා වඩා සාර්ථක අනාගතයකට පිය මං කිරීමට මීට වඩා හොඳ අවස්‌ථාවක්‌ තවත් නොවනු ඇත. මේ මනරම් අවස්‌ථාව ඒ බුද්ධිමත් මිනිසුන්ගේ භාවිතය සඳහායි. 

වෛද්‍ය මහේෂ් රාජසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය
http://www.divaina.com/2013/11/03/feature16.html

සබැඳි ලිපි -
[

මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: