Pages

Monday, August 5, 2013

හැකිනම් දකුණු ඉන්දියානුවන් උතුරු ධීවරයන්ගේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමට විරුද්ධ වනු! - ජනිපෙන් විග්නේෂ්වරන්ට අභියෝගයක්

දකුණු ඉන්දීය දේශපාලකයන්ගේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව ක‍්‍රියාත්මකවන ඉන්දීය ධීවර මාෆියාව හේතුවෙන් උතුරේ ධීවර පවුල් දැඩි සේ පීඩාවට පත්ව ඇති මේ මොහොතේ, තවදුරටත් නිහඩව නොසිට, හැකි නම් මේ අයුක්ති සහගත ක‍්‍රියා පිළිවෙතට එරෙහිව පෙනී සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්‍ෂක සී. වී. විග්නේෂ්වරන් මහතාට අභියෝග කරයි.

කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා විග්නේෂ්වරන් මහතාට මෙසේ අභියෝග කළේය.

එහිදී අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද අදහස් දැක්වීය.

‘‘යුද්ධයෙන් නිදහස් කර ගත් මේ රටේ ධීවර ප‍්‍රජාවට තවත් යුද්ධයකට යෑමට සිදුව තිබෙනවා. තමන්ට හිමි ධීවර සම්පත කොල්ලකන, දකුණු ඉන්දියාවේ ජයලලිතා – කරුණානිධිගේ අනුග‍්‍රහය ලබන ඉන්දීය ධීවර මාෆියාව සමගයි මේ සටන කරන්න සිදු වෙලා තිබෙන්නේ.

මේ තත්ත්වය දැඩි සේ බලපා ඇත්තේ මන්නාරම, පේදුරුතුඩුව සිට මුලතිව් දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතුවල යෙදෙන උතුරේ ධීවර ප‍්‍රජාවටයි. මේ ප‍්‍රශ්නයෙන් ලක්‍ෂයකට ආසන්න දෙමළ ධීවර පවුල් සංඛ්‍යාවක් දැඩි සේ පීඩා විඳිනවා.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින්, සදාචාර සම්පන්න නොවන ලෙස සිදු කරන මේ මහා මංකොල්ලය අද වන විට වඩාත් තීව‍්‍ර වෙලා තියෙනවා. ඉස්සර ධීවර යාත‍්‍රා 75කින් පමණ සිදු කළ මේ ධීවර සම්පත කොල්ල කෑම අද වන විට ධීවර යාත‍්‍රා 150ක් පමණ යොදා ගනිමින්, තහනම් ආම්පන්න, තහනම් විධික‍්‍රම යොදාගෙන විශාල පරිසර හානියක් හා ජෛව විවිධත්වයට විශාල ලෙස හානි කරමින් මුහුදේ මත්ස්‍ය සම්පතටද විශාල හානියක් සිදු කිරීමට මේ ඉන්දීය ධීවර මාෆියාව කටයුතු කරනවා.

මේ තත්ත්වය පාලනය කිරීමට අපහසු වී ඇත්තේ දකුණු ඉන්දියාවේ ජයලලිතා – කරුණානිධි ඇතුළු ප‍්‍රබල දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය මේ ධීවර කොල්ලයට නොඅඩුව ලැබෙන නිසයි. මේ ජාවාරම්කාර ඉන්දීය ධීවර මාෆියාව ජයලලිතා, කරුණානිධි ඇතුළු ප‍්‍රබලයන්ගේ දේශපාලන කටයුතු සඳහා මේ අපේ ධීවර සම්පත කොල්ල කාලා උපයන මුදල් යොදවනු ලබනවා.

එවැනි තත්ත්වයක් තිබියදී දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා යැයි පවසන දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන් මහතා ඇතුළු පිරිස නිහඩව ඉන්නේ ඇයි? ඔවුන් මේ සම්බන්ධයෙන් කටක් හොල්ලන්නේ නැහැ. මේ අහිංසක උතුරේ ධීවර ප‍්‍රජාව ගැන ඔවුන් වචනයක්වත් කතා නොකරන්නේ ඇයි? දෙමළ ජාතික සන්ධානය කතා කරන්නේ ‘උසස් කුලවලට’ අයත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න ගැන විතරද? ඔවුන් මෙසේ නිහඩව ඉන්නේ මේ උතුරේ ධීවර ප‍්‍රජාව ‘පහත් කුලවලට’ අයත් යැයි කොන්කර තිබෙන නිසාද?

දෙමළ ජාතික සන්ධානය මේ ප‍්‍රශ්නය ගැන නිහ`ඩව ඉන්නේ, මේ අපේ ධීවර සම්පත කොල්ල කාලා ලබා ගන්නා මුදල්වලින් කොටසක් ‘‘සන්තෝෂම්’’ ලෙස ජයලලිතා – කරුණානිධි වැනි දකුණු ඉන්දීය දේශපාලනඥයන් හරහා ලැබෙන නිසයි. ඒ අනුව තමයි අද දෙමළ ජාතික සන්ධානය ‘කසාය බීපු ගොලූවන්’ වගේ නිහඩව ඉන්නේ.

අපි අහන්න කැමතියි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්‍ෂක විග්නේෂ්වරන් මහත්මයාගේ මතය කුමක්ද? මේ දකුණු ඉන්දියානු ධීවරයන් විසින් අපේ රටේ ධීවරයන් අන්ත අසරණ තත්ත්වයට ඇද දමලා මේ අමානුෂික කොල්ලය, මේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින්, අයුක්ති සහගත ලෙස ඉන්දියාව සිදු කරන මේ අවනඩුව විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයා හෙළා දකිනවාද? නැද්ද? මොකද එතුමත් නීති විශාරදයෙක්, හිටපු නඩුකාරතුමෙක්. මෙතුවක් කාලයක් එතුමා කට ඇරියෙනෑ. හැබැයි දැන් කියන්න පුළුවන්ද මේක හෙළා දකිනවා කියලා.

අපි අභියෝග කරනවා විග්නේෂ්වරන් මහතාට, පුළුවන්නම් කියන්න දකුණු ඉන්දියානු ධීවරයන් මේ කරන ක‍්‍රියාව හෙළා දකිනවා කියලා. අපි හිතන්නේ නැහැ කටවල් ඇරෙයි කියලා. දෙමළ ජාතික සන්ධානයට, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමති අපේක්‍ෂක විග්නේෂ්වරන් මහතාට අපි ඒ අභියෝගය කරනවා’’

August 5, 2013 at 1:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98719/

0 comments: