Pages

Tuesday, May 6, 2014

රත්නප්‍රියට ගවුමක්‌, පාදෙණියට ආණ්‌ඩුවක්‌ සහ බලය රැකගැනුම උදෙසා කරන ගැන වර්ජන සිතන්නට යමක්

හෙද වර්ජනයට අදාළ වැදගත් පුවත් කිහිපයක්‌ ඊයේ (5 දා) "දිවයිනේ" පළ විය. එයින් පළමුවැන්න නම් හෙද වර්ජනය අවසන් කළ බව හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසින් පවසනු ලැබීම ය. දෙවැන්න, මුරුත්තෙට්‌ටුවේ හාමුදුරුවන් එසේ කීවාට, හෙදියන්ට සූතිකාගාර පුහුණුව දෙන තුරු දිගටම වර්ජනය කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීම ය. තෙවැන්න නම්, වර්ජනය නිසා ජීවිත අවදානමට ලක්‌ව සිටින අනුරාධපුර රෝහලේ රෝගීන් පිරිසක්‌ වර්ජනයට විරුද්ධ වෙමින් මහ පාරේ වාඩිවීම ය.

මේ රටේ හෙද සේවයට අදාළ වෘත්තීය සමිති බලය පිළිබඳ මතභේදයක්‌ හටගෙන ඇති බව පැහැදිලි ය. හෙද සේවයේ බලවතා මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවන්ද, නොඑසේ නම් සමන් රත්නප්‍රිය ද යන්න සෙවීම වැදගත් ය. හෙද වර්ජනය දිගටම තිබුණොත් හෙද සේවා වෘත්තීය සමිති ක්‍රියාවලියේ බලවතා සමන් රත්නප්‍රිය බව පිළිගැනීමට සිදු වේ. වර්ජනය නවතින්නේ නම් හෙද බලය ඇත්තේ මුරුත්තෙට්‌ටුවේ හිමියන්ට ය. මේ බල අරගලය තුළදී දෙදෙනාටම තරු විසිවනු ඇත්තේ අසාධ්‍ය රෝගීන් කිහිපදෙනකු වළ පල්ලට ගියහොත් ය.

මේ අතර ආණ්‌ඩුව කවර තීරණයක්‌ ගත්තද හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය ද පවසා තිබේ. එයද නොදැමුණු, නොහික්‌මුණු තීරණයකි. ආණ්‌ඩුවේ තීරණයට පිටින් යැමට අනුරුද්ධ පාදෙනියට හැකිනම් ඒ මගින් කියෑවෙන්නේ ඔහුගේ නායකත්වයෙන්, එසේත් නැත්නම් ඔහු ජනාධිපති පදවිය දරන සමාන්තර ආණ්‌ඩුවක්‌ ද මේ රටේ තිබෙන බව ය. එසේ නම් ඔහු කළ යුත්තේ එම ආණ්‌ඩුව බූරුවන් බහුල ඩෙල්ෆ්ට්‌ දූපතට ගෙන යැම ය. මෙහිදී දොස්‌තර පාදෙනිය සහ දොස්‌තර නොවන සමන් රත්නප්‍රිය අතර වැඩි වෙනසක්‌ නැත. දෙදෙනාගේම අරමුණුවල අවසන් ප්‍රතිඵලය ලෙඩුන්ට මරණය හිමිවීම ය.

අනුරාධපුර රෝහල ඉදිරිපිට මහ පාරේ වාඩිවුණ රෝගීන්ගේ කතාව ඉතාම දුක්‌ සහගත එකකි. අනුරාධපුරයට අයත් උතුරුමැද පළාත වූ කලී ලංකාවේ වකුගඩු රෝගීන් වැඩිම සංඛ්‍යාවක්‌ සිටින ප්‍රදේශයකි. තම රෝගී වකුගඩුවලින් රුධිරය පෙරා නොදෙන නිසා යන්ත්‍රයක්‌ මාර්ගයෙන් රුධිරය පෙරා ගැනීම සඳහා සතියෙන් සතියට හෝ දින දහයෙන් දහයට රෝහලට එන්නට ඔවුනට සිදුව තිබේ. උතුරුමැද පළාතේ මිනිසුන් වකුගඩු නරක්‌ කරගෙන ඇත්තේ කසිප්පු ගැසීමෙන් නොව වී ගොවිතැන් කටයුතු සඳහා යොදන කෘමිනාශක, ආසනික්‌ සහ කැඩ්මියම් මිශ්‍ර ජලය පානය කරන්නට සිදුව තිබීම යන කාරණය නිසා ය. අනුරුද්ධ පාදෙනිය, සමන් රත්නප්‍රිය සහ වර්ජනයේ නිරතව සිටින හෙදියන් අනුභව කරන්නේ ද උතුරුමැද ගොවියන් නිපදවන බත් ය. දුප්පත් ලෙඩෙක්‌ රුධිරය කාන්දු කර ගැනීමට ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලයට යන්නේ එකී කටයුත්ත පුද්ගලික රෝහලකින් කර ගැනීමට මුදල් නැති නිසා ය. කුරුණෑගල රෝහලේදී රුධිර කාන්දුව සඳහා පදවිය, වැලිඔය වැනි ප්‍රදේශවලින් ද රෝගීහු එති. මේ මිනිසුන්ට පුද්ගලික රෝහලකට යැමට තබා බස්‌ එකේ කුරුණෑගල රෝහලට එන්නටවත් සල්ලි නැත. රත්නප්‍රිය පිස්‌සු කෙළින්නේ මේ ජීවිත සමඟ ය. සූතිකාගාර පුහුණුව හෙදියන්ට දිය යුතු තැන් කිහිපයක්‌ මේ රටේ තිබේ. හදිසි අනතුරු වාට්‌ටුවට ගෙනෙන, අනතුරට ලක්‌ වූ ගැබිනි මවක්‌ දරුවා ප්‍රසූත කරන විට එහි සිටින හෙදියන් වින්නඹු ක්‍රමවේදය ගැන දැනුවත් විය යුතුය.

නැත්නම් සිදුවන්නේ සමන් රත්නප්‍රිය මැතිතුමාට ගවුමක්‌ අන්දවා සූතිකාගාර පුහුණුව දී එවැනි තැන්වලට යෑවීම ය.

http://www.divaina.com/2014/05/06/editor.html

Pic Source

0 comments: