Pages

Tuesday, May 6, 2014

බුදු සසුනට සිදුවන හානි වළක්‌වා ගැනීම සඳහා බුද්ධ ශාසන පනත කඩිනමින් සම්මත කළයුතුයි - තිරිකුණාමලේ ආනන්ද නාහිමි

බුද්ධ ශාසනය ආරක්‍ෂා කර ගැනීම සඳහා බුද්ධ ශාසන පනතක්‌ තියෙනවා. මේ පනත සම්මතයට ගෙන ඒමට ළංවෙලාය කියලා අමාත්‍යංශයෙන් දැන ගන්න තියෙනවා. මේ පනත ඉක්‌මනින්ම සම්මත කර ගත්තොත් ජනාධිපතිතුමනි අපට බුද්ධශාසනයට සිදුවන හානි බොහෝ දුරට වළක්‌වා ගන්න පුළුවන්. කෙටුම්පත් කිරීමේදී ඒ ඒ දෙපාර්තමේන්තුවල ප්‍රශ්න තියෙනවාය කියනවා. ඒ පිළිබඳව කටයුතු කරන අය මෙතනත් ඇති. ඒ හැම දෙනෙක්‌ම එකට එකතු වෙලා මේ කටයුත්ත ඉක්‌මනින් අවසන් කරන්න. එහෙම නොවුණොත් බුද්ධ ශාසනය මේ යන විදියට බොහොම ව්‍යාකූල තත්ත්වයට පත්වෙන්න පුළුවන්. එක එක්‌කෙනාට අවශ්‍ය අන්දමට බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නත් පුළුවන් යෑයි අභිනවයෙන් පත්වූ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්‌වාමීන් වහන්සේ පැවැසූහ.

අමරපුර මහ නිකායේ මහානායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙණ ශ්‍රී ඥනිස්‌සර සහ අමරපුර මහ සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි යන නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4 වැනිදා) මහරගම සිරි වජිරඥන ධර්මායතනයේ ධර්ම ශාලාවේ පැවැති උත්සවයේදී තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමියන්ට අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක පදවිය සඳහා වූ සන්නස්‌ පත්‍රය බාරදීම සම්බන්ධයෙන් පැවැති උත්සවයේදී උන්වහන්සේ එසේ කියා සිටියහ.

තිරිකුණාමලේ ආනන්ද ස්‌වාමීන් වහන්සේ වෙත අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙණ ශ්‍රී ඥනිස්‌සර නාහිමියන් මහානායක පදවිය සඳහා වූ සන්නස්‌ පත්‍රය බාර දුන් අතර, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මහානායක හිමියන්ට තිළිණයක්‌ පූජා කරනු ලැබීය.

මෙම අවස්‌ථාවට කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාවේ අනුනායක බෙල්ලන්විල විමලරතන නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළුව බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, සබරගමුව පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකු බණ්‌ඩාර යන මැති ඇමැතිවරුන්ද, එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්‌ඩලයේ කරු ජයසූරිය, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හමුදාපතිවරු, පොලිස්‌පති ඇතුළු රජයේ නිලධාරීන්ද, විහාරස්‌ථානයේ දායක දායිකාවන්ද මෙම අවස්‌ථාවට පැමිණ සිටියහ.

තවදුරටත් අනුශාසනා කරමින් මහනායක හිමියෝ මෙසේද පැවැසූහ. අපේ මඩිගේ පඤඤසීහ මහනායක හාමුදුරුවෝ කිසිවිටකවත් පුද්ගලයකුට කොනිත්තන්න හානිකරන්න ගියේ නැහැ. සමස්‌තයක්‌ හැටියට මතුවූ කාරණය විතරක්‌ මූලික කරගෙනයි උන්වහන්සේ එයට මැදිහත් වූයේ. ඒ නිසා වැඩිදෙනාගේ පිළිගැනීමට උන්වහන්සේ ලක්‌වුණා. උන්වහන්සේ පෙන්වා දුන් මේ මග, මේ සම්ප්‍රදාය අනුව ඉදිරියේදී කටයුතු කිරීමට හා ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන්. යමෙකුගේ ක්‍රියාකාරකම් සහේතුක කොට ගෙන සාර්ථක කර ගෙන කටයුතු කරන එක ඉතිහාසයට මිස ආගමට අයිති කාරණාවක්‌ නොවෙයි. අපි ඉතිහාසය පිළිබඳව අරමුණු කරගෙන කටයුතු කරන නිසා තමයි යම් යම් කරුණු කාරණා අපට එරෙහිව මතුවන්නේ.

බුද්ධ ශාසනය කියන්නේ බෞද්ධයන්ට පමණක්‌ සීමා වූවක්‌ නොවෙයි. බුද්ධ වචනය කියන්නේ බෞද්ධයන්ගේ උරුමයක්‌ නොවෙයි. දුකට පත් වූ සියලුම ජන කොටස්‌වල දුක නිවා ගැනීමට යෝග්‍ය ප්‍රතිපදා මාර්ගයක්‌. සීමා කරගන්න, පටු කර ගන්න යැමෙන් අපි අනියමින් සිද්ධ කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මයට කරන අගෞරවයක්‌. ඒ නිසා අපි නිතරම සඡ්ජායනය කරමු අරඹව්, නික්‌මෙව් සම්බුද්ධ සසුනේ යෙදෙව් කියලා. මේ අනුව කටයුතු කරමින් මිහිඳු මාහිමියන් ඇති කළ මිහිඳු සංස්‌කෘතියත් සමග ඇති කළ පරිවර්තනය නිසා තමයි අපේ රට ධර්මද්වීපයක්‌ බවට පත් වුණේ. පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණේ. මෙයට මූලිකත්වය දුන්නේ මහා සංඝරත්නය.

සංඝ සාමාග්‍රීය සංකල්පය මුදුනේ තබා ගෙන ක්‍රියා කරනවා නම් මේ රටේ මොන විපර්යාස පැමිණියත් නොසන්සුන්කම් ඇති වුණත්, සිහියෙන් එය මැඬපවත්වාගෙන යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන්. භික්‍ෂූන් වහන්සේලාගේ සාමුහිකත්වය මතුවන්නේ සාමුහිකත්වයේ ප්‍රතිඵලයක්‌ ලෙසයි. පෞද්ගලිකත්වය මතුවෙන්න, මතුවෙන්න භික්‍ෂූන් වහන්සේලාගේ අගය අඩු වෙනවා. ශාසනයේ ගමන මන්දගාමී වෙනවා. පුද්ගලිකත්වය පසෙක ලා බුද්ධ ශාසනයේ බුද්ධ වචනයේ නියෝජිතයා හැටියට මහා සංඝරත්නය කටයුතු කිරීමට කල්පනා කරනවා නම් අපට මීට වඩා වැඩ කොටසක්‌ කරන්න පුළුවන්.

හැදියාව පසුබිම් කර ගත්ත බෞද්ධ අධ්‍යාපනයක්‌ අපට තිබුණේ. අද නොයෙක්‌ ආකාරයට අධ්‍යාපනයේ දියුණු ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුණාට තරුණ පරම්පරාව තුළ අසහනයක්‌ තිබෙන බව දක්‌නට ලැබෙනවා. අධ්‍යාපනයෙන් තමයි මේ තත්ත්වය නැති කරන්න පුළුවන් වන්නේ. අධ්‍යාපනය කියන්නේ විෂය මාලාව පමණක්‌ නොවෙයි. අපේ මහ නායක හිමියන් සඳහන් කර තිබෙනවා වගේ මිනිසා හදා රට හැදීමේ කාරණය පදනම් කරගෙන, මුල් කරගෙන අධ්‍යාපනය සකස්‌ කර ගත්තොතින් අපට පුළුවන් වෙනවා මිනිසාගේ ජයග්‍රහණයන් සාර්ථක කර ගන්න. රටේ සමෘද්ධිය, සංවර්ධනය හා ජයග්‍රහණය සාර්ථක කර ගන්න පුළුවන්කම ලැබෙනවා.

අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නාහිමියන්, කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාවේ අනුනායක බෙල්ලන්විල විමරතන නාහිමියන් සහ සබරගමුවේ පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතාද මෙහිදී සභාව ඇමතූහ.

(තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියෝ උත්සව සභාව ඇමැතූ අයුරු සහ උත්සවයට සහභාගි ජනපති ඇතුළු ආරාධිතයිනගෙන් කොටසක්‌ ඡායාරූපවල වෙති.)

උදේනි චන්ද්‍රසිරි - මහරගම
http://www.divaina.com/2014/05/05/news32.html

1 comments:

KAS said...

බුදු හාමුදුරුවන්ගේ දර්ශනය හරියට දන්නේ නැති හෝ දැනගත්තත් පිළි ගන්න අකමැති අය තමයි පනත් වලින් ඒක ආරක්ෂා කරන්න හදන්නේ. බුද්ධ දර්ශනය කියන්නේ පනත් වලින් බලෙන් ආරක්ෂා කරන දර්ශනයක් නෙවෙයි. මිනිසුන් විසින් අවබෝධයෙන් ළගා කරගත යුතු දර්ශනයක්. නොපෙනෙන දෙවියෙක් මත ගොඩ නොනැගී මනුෂ්‍යෙයක් වන ගෞතම නම් වුන පුද්ගලයාගේ අවබෝධයෙන් ගොඩනැගුණු තාත්වික සහ ප්‍රාෙයා්ගික දර්ශනයක්. මිනිස්සු ආගමෙන් ඉවත් වෙනවා අළුතින් එනවා කියන මේ සංකල්පය පනත් දාලා වෙනස් කරලා බල කරලා මේ දර්ශනය ආරක්ෂා කරන්න හිතන එකත් විහිළුවක්...