Pages

Saturday, May 10, 2014

රාජ්‍ය වෙසක්‌ උත්සවය මෙවර පොළොන්නරුවේදී

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 වැනි රාජ්‍ය වෙසක්‌ උත්සවය, මෙවර පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානමින් පවතින බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මේ අනුව මැයි (11දා) සිට (17දා) දක්‌වා ජාතික වෙසක්‌ සතිය ක්‍රියාත්මක කෙරේ.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතක්‌ ආවරණය වන පරිදි විවිධ ආගමික වැඩසටහන් රැසක්‌ රාජ්‍ය වෙසක්‌ උත්සවයට සමගාමීව සංවිධානය කර ඇත. මේ අතර වෙසක්‌ සතියට සමගාමීව (11) වන දින පොළොන්නරුව දිස්‌ත්‍රික්‌යේ විහාරස්‌ථානවල, ශ්‍රමදාන කටයුතුද, 12 දින දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන මාර්ග අතුරු මාර්ග සහ ගම් දනව් සියලු මාර්ග බෞද්ධ සැරසිලි කිරීමට නියමිතයි.

මැයි 13 වැනි දින රාජ්‍ය වෙසක්‌ උළෙල, නිමිතිකොට ගෙන, පොළොන්නරුව, ඓතිහාසික මැදිරිය වටදාගෙය අසලදී කුල දරුවන් 25 දෙනකු සසුන්ගත කෙරෙන බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි, පූජ්‍ය කඳුරුවෙල ධම්මපාල නාහිමියෝ පැවසූහ. පොළොන්නරුව සොළොස්‌මස්‌ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන සීල, සමාධි, භාවනා වැඩසටහන මැයි මස 14 වැනිදා වෙසක්‌ පොහෝ දින පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේදී පැවැත්වේ.

තවද සෝමාවතිය පුද බිමේදී සහ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී මෙම සීල සමාධි, භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, දිස්‌ත්‍රික්‌කයේ සියලුම වෙහෙර විහාරස්‌ථාන තුළ ආමිස, ප්‍රතිපත්ති පූජාමය වැඩසටහන් රැසක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සහ සමාධි සංගම් මෙහෙයවීමෙන් පවත්වනු ලබන වෙසක්‌ පහන් කූඩු තරගයක්‌ සහ ජයන්තිපුර තඹලවැව ශ්‍රී ජිනේත්ද්‍රdරාම විහාරස්‌ථානයේ පැවැත්වෙන සදහම් වෙසක්‌ කලාපයද මින්නේරිය ශ්‍රී ලංකා යුද හමුදා කඳවුර පරිශ්‍රයේද, මෙදින පවත්වනු ලැබේ.

මැයි (15දා) දින කදුරුවෙල ජයන්ති විහාරස්‌ථානය මුල්කර ගනිමින් පිණ්‌ඩපාත චාරිකාවද පැවැත්වේ.

මැයි 16 වැනි දින පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වැඩවසන ජ්‍යෙෂ්ඨතම ස්‌වාමීන් වහන්සේලා කීපනමකගේ ශාසනික මෙහෙවර ඇගයීම් උපහාර උත්සවයක්‌ ඓතිහාසික පැරකුම් පිළිරුව අසලදී පැවැත්වීමටද කටයුතු යොදා ඇත. පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවැත්වෙන වෙසක්‌ මහපෙරහැර මැයි (17දා) වන දින රාත්‍රි කදුරුවෙල නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන අමාත්‍යාංශය, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය, දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන එක්‌ව මෙවර ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක්‌ උත්සවය පොළොන්නරුවේදී සංවිධානය කර ඇත.

අරලගංවිල - රොෂාන් තුෂාර
http://www.divaina.com/2014/05/10/news10.html

Pic Source

0 comments: