Pages

Thursday, June 12, 2014

'සුද්දාට' නොපෙනෙන 'සුද්දාගේ' කළු පැල්ලම - සචිත්‍ර දවාගත් ජොස්‌ බට්‌ලර්ගේ 'මන්කාඩ්' කඩුල්ල

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දක්‍ෂතාව 'සුද්දාට' මදි පුංචි කමකි. එහෙත් 'සුද්දා' ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාවට ඇලුම් කරති. එසේ ඇලුම් කරන සුද්දා ශ්‍රී ලංකාව දිනනවා බැලීමට අකමැතිය. 'සුද්දාගේ' මෙම කැමැත්ත සහ අකැමැත්ත හේතුවෙන් එදා ඔවුන් මුරලිදරන් පන්දුව දමා ගසන බවට පතුරු ගැසුවේය. පසුව කුමාර් ධර්මසේනටද චෝදනා එල්ල කළේය. දැන් එම උගුලට 'සුද්දා' හසුකර ගන්නට මාන බලන අලුත්ම වීරයා සචිත්‍ර සේනානායකය. ඔහු මේ වන විට එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාල සිසුන්ගේ පරීක්‍ෂාවට ලක්‌වෙමින් සිටියි. පන්දු යෑවීමේදී අංශක 15 ට වැඩිය සචිත්‍ර අත නවනවාද යන්න සෙවීම කාඩිෆ් විශ්වවිද්‍යාල පරීක්‍ෂකයන්ගේ සේවාව වේ.

සචිත්‍රගේ පන්දුව දමා ගැසීමේ උණුසුම මැකී යන්නට පෙර සචිත්‍ර තවත් ලෙඩක්‌ දා ගත් බව 'සුද්දන්' ඉස්‌මතු කරන්නට පටන් ගත්තේය. ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගියදා පැවැති තීරණාත්මක පස්‌වැනි එක්‌දින තරගයේදී සචිත්‍ර විසින් පන්දු යවන සීමාවේ සිටි ජොස්‌ බට්‌ලර් 'මන්කාඩ්' ක්‍රමයේ දුවද්දී දැවී යැමකට හසු කර ගැනීමයි. ඒ සමගම සචිත්‍ර සහ ශ්‍රී ලංකා කණ්‌ඩායම පතුරු ගසන්නට 'සුද්දන්' බහුතරයක්‌ ඉදිරිපත් විය. එහෙත් හරි දේ හරියට කතා කරන ක්‍රිකට්‌ දන්න 'සුද්දන්' එහි සත්‍යතාව පිළිබඳව කතා කළේය. ඒ අනුව එම දැවී යැම පිළිබඳව 'සුද්දන්' කියූ වදන්වල සාධාරණ ආසාධාරණ බව තරාදියේ දෙපැත්තකට දැමූ විට දෙපැත්තම සමබරව ඇති බව අපගේ මතයයි.

එදා මුරලිට ලෙඩ දැම්මේ ඔහු ෂේන් වෝන්ව අභිබවා යැමට සිටි එකම පන්දු යවන්නා වූ හෙයිනි. මෙදා සචිත්‍රට ලෙඩේ වැටුණේ එංගලන්තය සමග පැවැති දෙවැනි එක්‌දින තරගයේදී සචිත්‍ර ලකුණු 13 කට එංගලන්ත පිතිකරුවන් 4 දෙනෙක්‌ දවා ගත් හෙයිනි. සචිත්‍රගේ එම පන්දු යෑවීම හමුවේ එංගලන්ත ඉනිම ලකුණු 99 කට සීමා විය. "අපේ පිතිකරුවන් ක්‍රීඩා කළ නරකම ඉනිම මෙයයි' යනුවෙන් එංගලන්ත නායක ඇලිස්‌ටයාර් කුක්‌ තරගයෙන් අනතුරුව පැවසීය. එසේ පැවසූ ඇලිස්‌ටයාර් කුක්‌ සචිත්‍ර විසින් බට්‌ලර් 'මන්කාඩ්' ක්‍රමයේ දවා ගැනීමකට හසු කර ගැනීම සමග මෙසේ පැවසීය. "මම කවදාවත් මෙවැනි දැවී යාමක්‌ දැක නැහැ. මම නායකයෙක්‌ විදිහට එම දැවී යාම අනුමත කරන්නේ නැහැ."

කුක්‌ ක්‍රිකට්‌ බාස්‌ කෙනෙක්‌ වුවද ඔහු ක්‍රිකට්‌ ඉතිහාසය නොදන්නා ළදරුවෙක්‌ බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. මන්කාඩ් ක්‍රමයේ දැවීයාම පටන් ගන්නේ 1947 වසරේදීය. එම වසරේ ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරගයකදී ඉන්දීය ක්‍රීඩක විනෝ මන්කාඩ් පන්දු යවන අන්තයේ සිටි ඔස්‌ටේ්‍රලියානු පිතිකරු බිල් බ්‍රවුන්ව දවා ගෙන තිබේ. එතැන් සිට මෙවැනි දැවී යාම් 'මන්කාඩ්' ක්‍රමය ලෙස හැදින්වේ. ඩිල්ෂාන්ගේ අලුත් පහරට 'ඩිල් ස්‌කූප්' යන නම සැදුනා සේ මන්කාඩ් දැවී යාම ක්‍රිකට්‌ පිටියට එසේ පැමිණියේය.

ක්‍රිකට්‌ නීති රීති අනුව දඟ පන්දු යවන්නෙකුට අංශක 15 කට අත නවා පන්දු යෑවිය හැකිය. පකිස්‌තානයේ සයිඩ් අඡ්මාල් සහ ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායක වත්මන් ලෝක එක්‌දින පිටියේ විශේෂඥ දඟ පන්දු යවන්නන් ලෙස හැඳින්විය හැකිය. මොවුන් දෙදෙනාම අංශක 15 කට ආසන්නව අත නවා පන්දු යවනු ඇතැයි යමෙක්‌ අනුමාන කළද එය දමා ගැසීමක්‌ නොවන බව හරියට ක්‍රිකට්‌ දන්නා 'අයියලාට' නම් තේරෙනවා ඇත. ඇතැම් විට මෙම පන්දු යවන්නන් සමහර පන්දු දමා ගසනවා යෑයි අපි සිතමු. එසේ නම් එය නිපන්දුවක්‌ ලෙස සංඥ කිරීම පැති විනිසුරුවන්ගේ වගකීමය. වසර දෙකකට වඩා ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ පන්දු යෑවූ සචිත්‍ර දැන් පන්දුව දමා ගසනවා යනුවෙන් චෝදනා එල්ල වන්නේ නම් විහිළුවකි. මීට පෙර සචිත්‍ර ක්‍රීඩා කළ ජාත්‍යන්තර විනිසුරුවන් සහ තරග තීරකවරුන්ට එය නොපෙනුනේ කුමන හේතුවකටද යන්න ගැටලුවකි. දැන් සචිත්‍රට ගෙන ආ අදාළ චෝදනාව ඩැරල් හෙයාර් ගනයේ විහිළුවක්‌ බවට පත්ව තිබේ. එහි සත්‍යතාව තවත් දින කිහිපයකින් ලොවට හෙළි වනු ඇත.

සචිත්‍රට වැටුණු අනිත් ලෙඩේ 'මන්කාඩ්' දවාගැනීමයි. බට්‌ලර් පන්දු යවන සීමාවේ සිටියදී කිහිප වරක්‌ම ඔහු පන්දු යෑවීමේ සීමාවෙන් අඩි කිහිපයක්‌ ඉදිරියට පැමිණියේය. මෙය බට්‌ලර්ට අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණක්‌ සොරා ගැනීමට පහසු වුවද එය ක්‍රිකට්‌ නීතියට පටහැනිය. එබැවින් මහත්මයකු ලෙස සචිත්‍ර සේනානායක ප්‍රධාන විනිසුරුට එය කිහිප වරක්‌ දැන් වුයේය. එය මායිම් නොකළ බට්‌ලර් නැවත නැවතත් පන්දු යෑවීමට සැරසෙද්දි සීමා ඉර ඉක්‌මවා අඩි කිහිපයක්‌ ඉදිරියට යැම හේතුවෙන් සචිත්‍ර ක්‍රිකට්‌ නීතිය උපයෝගී කර ගනිමින් පන්දු යවන අන්තයේ බේල්ස්‌ ඉවත් කළේය. යම් හෙයකින් මන්කාඩ් ක්‍රමයේ දැවී යාමකට එදා බට්‌ලර්ව දවා නොගත්තේ නම් කුක්‌ හෝ බට්‌ලර් ඊළඟ තරගයේදී පන්දු යවන්නා දුවගෙන එන විට තණතීරුව මැදට ගොස්‌ සිටිය හැකිය. ඊට පසුව මහේලලා ද එසේ කිරීමට පෙළඹේ. ඊට පසුව ජීව ගුණය මුලට දමා සෙස්‌සෝද එසේ කරති. ඊට පෙර සචිත්‍ර සහ මැතිව්ස්‌ ගත් තීරණය නිවැරදි බව සුද්දාට වැටහෙත්වා.

ක්‍රිකට්‌ නීතියට අනුව 42.15 වැනි වගන්තියට සහ 42.11 වගන්තිවලට අනුව අදාළ දැවී යාම සම්මත වී තිබේ. නමුත් එතැන ප්‍රශ්නය තිබෙන්නේ සටන් කර දවා ගැනීම වෙනුවට 'තුට්‌ටුවකට නොවටිනා' දක්‍ෂතාවකින් දැවී යැමක්‌ ලබා ගැනීමයි. එහෙත්, අවවාදය පිළි නොපැද දිගින් දිගටම එකම වැරැද්ද කළ ජොස්‌ බට්‌ලර් දැන් දැවී ගොස්‌ හමාරය. මේ සමගම නැවතත් බට්‌ලර් සීමා ඉරේ සිටිනු ඇතැයි අපගේ විශ්වාසය වේ.

මහත්මා ගුණය ගැන අදත් හෙටත් කතා කරන 'සුද්දාට' එදා මුරලි දැමූ පා දඟ පන්දුව දමා ගසන බවට (පා දඟ පන්දුවක්‌ කිසි විටෙකත් දමා ගැසිය නොහැක) ඩැරල් හෙයාර්ලා 'නෝ බෝල්' කියද්දී ලොව සිනා සුණු හැටි අමතකය. එසේ නම් හෙට සිටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මහත්මා ගුණයෙන් ක්‍රිකට්‌ ගසනු ඇත. එහෙත් කැපිලි කෙටිලි ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීද කොයි දෙසින් හෝ එල්ල වනවා ඇත. වෘත්තීය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෙස ඔවුන් පන්දුව තෝරා බේරා පහර දෙන අයුරු අපූරුය.

අසේල විතාන
http://www.divaina.com/2014/06/12/sports02.html

Pic Source

0 comments: