Pages

Friday, June 13, 2014

ඉතිහාසය වර්ණවත් කළ ලෝක පාපන්දුවේ චමත්කාරය

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උප්පැන්න සහතිකයේ සින්නකර අයිතිය එංගලන්තය සතුවනවා සේම පාපන්දුවේ උප්පැන්නයද එංගලන්තය සතුව තිබේ. එදා එංලගන්තයෙන් පාපන්දුව බිහිවූ දවසේ සිට අද වන විට ජාත්‍යන්තරයම වැළඳ ගන්නා පාපන්දු ඉතිහාසයේ නොඇසූ කතා බොහෝ තිබේ. ඒ අතීතයට අලුතින් එබිකම් කරන 2014 පාපන්දු ලෝක කුසලාන ආරම්භ වී අද වන විට හෝරා කිහිපයක්‌ ගෙවී ගොස්‌ තිබේ. 

මෙවර ශූරයන් කවුරුන්ද? අනුශූරයන් කවුරුන්ද, හොඳම ක්‍රීඩකයා කවුරුන්ද? යන්න දැන් අනාවැකි ඕනෑ තරම් පළ වී තිබේ. ඒ අනාවැකිවල යථාර්ථය දකින්නට ලොවම මේ දිනවල බ්‍රසීලයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන වෙත ඇස යොමා සිටිති.

දුප්පතාගේ ක්‍රීඩාව ලෙස ප්‍රසිද්ධියට පත් පාපන්දු ක්‍රීඩාව අද ලොව වැඩිම ධනයක්‌ උපයන ක්‍රීඩාව බවට පත්ව තිබේ. පාපන්දු ක්‍රීඩා නොකරන ලොව කිසිදු රටක්‌ නැති තරම්ය. දුප්පතාගේ ක්‍රීඩාව ලෙස මෙසේ ප්‍රසිද්ධියට පත් පාපන්දුව අද ලෝකයේ මිතුරු ක්‍රීඩාව බවට පත්ව තිබේ. 

1888 දී එංගලන්තයෙන් පළමු පාපන්දු ලීගය බිහිවීමෙන් පසු දිනෙන් දින පාපන්දු ක්‍රීඩාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. පාපන්දු ගසන බොහෝ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තරගවලට වඩා ක්‍රීඩා කරනු ලබන්නේ ක්‍රීඩා සමාජ තරගවලටය. එසේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බොහෝ විට රට නියෝජනය කරනු ලබන්නේ මෙවැනි ලෝක කුසලාන තරගාවලියකදී වීම විශේෂත්වයකි. එබැවින් ලෝක කුසලාන උණුසුම තීව්‍ර වනු ඇත.

පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය රටවල් 12 ක සහභාගීත්වයෙන් 1930 දී උරුගුවේදී ආරම්භ විය. එම ආරම්භක ලෝක කුසලාන ජයග්‍රහණය උරුගුවේ කණ්‌ඩායම හිමිකර ගැනීමත් සමග අවසන් වූ ලෝක කුසලාන තරගාවලි 19 දී බ්‍රසීලය පස්‌ වරක්‌ ලෝක කුසලාන දිනා තිබේ. එම අතීත දක්‍ෂතාව සමග මෙවර බ්‍රසීලය ලෝක කුසලාන දිනා ගනු ඇතැයි බොහෝ මත පළවේ.

බ්‍රසීලයට මෙවර ලෝක කුසලාන දිනා ගැනීමට හැකි වන්නේ ඇයිද? යන්න මත පළවීමේ සම්භාවිතාව වැඩිවීමට හේතු කාරණා කිහිපයක්‌ තිබේ. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සත්කාරක රටක්‌ ලෝක කුසලාන දිනා ගත් අවස්‌ථා හයක්‌ සටහන් වේ. ඒ අනූව සත්කාරක රටක්‌ ලෝක කුසලාන දිනා ගැනීමේ සම්භාවිතාව අනූව බ්‍රසීලයට එම වාසනාව හිමි වනු ඇතැයි බොහෝ දෙනා පවසති. දෙවැන්න වන්නේ බ්‍රසීලය වත්මන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්‌ථානයේ පසුවීම සහ ඔවුන් අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 16 න් 15 ක්‌ දිනා තිබීම මත මෙවර බ්‍රසීලයට වැඩි අවස්‌ථාවක්‌ හිමි වනු ඇතැයි අනුමාන කෙරේ.

මෙවර ලෝක කුසලාන දිනා ගනු ඇතැයි අනුමාන කෙරෙන අනිකුත් කණ්‌ඩායම වන්නේ වත්මන් ලෝක ශූරයන් වන ස්‌පාඤ්ඤ කණ්‌ඩායමයි. 2010 වසරේදී ස්‌පාඤ්ඤය ලෝක කුසලාන දිනා ගනු ඇතැයි මුල සිටම අනාවැකි පළ වු අතර එහිදී පෝල් නැමැති බූවල්ලෙක්‌ කළ අනාවැකිය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. ස්‌පාඤ්ඤය යනු ලෝකයේ ප්‍රබලතම පාපන්දු ලීග් තරගාවලි ක්‍රීඩා කරන ්‍රක්‍රීඩා සමාජ පිහිටි රාජ්‍යයක්‌ වේ. බාසිලෝනා, රියල් මැඩ්රීඩ්, වැලන්සියා, ඇට්‌ලෙට්‌කෝ මැඩ්රීඩ් යන ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝකයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අතර එම ක්‍රීඩා සමාජවල තරගාවලි ක්‍රීඩා කිරීම තුළින් ලද පන්නරය හමුවේ ස්‌පාඤ්ඤයට මෙවර වැඩි අවස්‌ථාවක්‌ හිමිවීමට ඉඩ තිබේ. ඒ සඳහා ප්‍රධාන සාධකයක්‌ වන්නේ වත්මන් ශ්‍රේණිගත කිරීම්වල ස්‌පාඤ්ඤය පළමු ස්‌ථානය ගෙන තිබීමයි.

ලෝක කුසලාන දිනා ගත් සත්කාරක රාජ්‍යයන්

සත්කාර රාජ්‍යයන් ලෙස ලෝක කුසලාන දිනා ගැනීමට උරුගුවේ (1930), ඉතාලිය (1934), එංගලන්තය (1966), ජර්මනිය (1974), ආර්ජන්ටිනාව (1978) සහ ප්‍රංශය (1980) සමත්ව තිබේ. 

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල රොනාල්ඩෝගෙන්

බ්‍රසීලයේ ලුයිස්‌ රොනාල්ඩෝ ගෝල 15 ක්‌ වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ එක්‌ ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි.

පාපන්දු ක්‍රීඩාවට රතු සහ කහ කාඩ් පත් එයි

1962 චිලී රාජ්‍යයේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී චිලී කණ්‌ඩායම සහ ඉතාලි කණ්‌ඩායම අතර තරගය දැඩි විනය විරෝධී ක්‍රියාකාරකම් හමුවේ පැවැත්විණි. කෙසේ වෙතත් එම තරගය 2-0 ක්‌ ලෙස චිලී රාජ්‍ය ජය ගත්තද පාපන්දු ක්‍රීඩාවේ සම්මත නීති උල්ලංඝණය කරමින් විනිසුරුවන්ට බැණ වැදීම සහ ක්‍රීඩකයන් අතර මත ගැටුම් බහුලව මෙම තරගය පැවැත්විණි. එම තරගය ප්‍රධාන කොට පාපන්දු යහගූණය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පසුව රතු සහ කහ කාඩ් පත් පාපන්දු තරග සඳහා නිර්දේශ කළේය. ඒ අනුව පාපන්දු ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීමට හැකි විය.

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ දරුණුම පරාජය

1982 වසරේ ස්‌පාඤ්ඤයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ගෝල 10-1 ක්‌ ලෙස සැල්වදොර් කණ්‌ඩායම පරාජය කිරීමට හන්ගේරියා කණ්‌ඩායම සමත් විය. අදාළ පරාජය මෙතෙක්‌ වාර්තා වු දරුණුම පරාජය ලෙසින් සටහන් වේ.

ලෝක කුසලාන තරගයකදී වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා

අවසන් වූ පාපන්දු ලෝක කුසලාන 19 දී තුළදී එක්‌ තරගයකදී වැඩිම ගෝල සංඛ්‍යාවක්‌ වාර්තා කිරීමට රුසියාවේ ඔලෙග් සැලෙන්කෝ සමත් විය. ඔලෙග් 1994 ලෝක කුසලානයේදී කැමරූන් රාජ්‍යයට එරෙහිව ගෝල 5 ක්‌ වාර්තා කළේය.

සිහින කුසලාන වග තුග 

කැරට්‌ 18 රත්රන් වලින් නිමවා ඇති µsµd ලෝක කුසලානය මිනිස්‌ සිරුරු දෙකකින් ලෝක ගෝලය ඔසවා සිටින ලෙස නිර්මාණය කර තිබේ. මෙය කිලෝ ග්‍රෑම් 6.175 ක්‌ බර බව සඳහන් වේ. ජයග්‍රාහී කණ්‌ඩායම ශූරතාව හිමිකර ගැනීමට අමතරව තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා සඳහා ගෝල්ඩන් බෝල් සම්මානයද, තරගාවලියේ හොඳම ගෝලය සඳහා ගෝල්ඩන් බූට්‌ සම්මානයද, තරගාවලියේ දක්‍ෂතම තරුණ ක්‍රීඩකයා (අවු( 21 ට අඩු) සම්මානයද, තරගාවලියේ සාධාරණම ක්‍රීඩකයා සම්මානය ඇතුළු සම්මාන රාශියක්‌ පිරිනැමේ.

ජගත් පාපන්දු ශ්‍රේණීයේ පළමු කණ්‌ඩායම් 10

1. ස්‌පාඤ්ඤය, 2. ජර්මනිය, 3. බ්‍රසීලය, 4. පෘතුගාලය, 5. ආර්ජන්ටිනාව, 6.ස්‌විට්‌සර්ලන්තය, 7. උරුගුවේ, 8.කොලොම්බියාව, 9.ඉතාලිය, 10. එංගලන්තය

අසේල විතාන අන්තර්ජාලය ඇසුරෙන්
http://www.divaina.com/2014/06/13/sports01.html

0 comments: