Pages

Thursday, June 12, 2014

ඩෙංගු මඬීම මුවාවෙන් දේශීය ඖෂධ සංහාරය නතර කිරීමට පියවර ගන්න - හෙළ උරුමය

ඩෙංගු උවදුර මඬින මුවාවෙන් සිදුවන දේශීය ඖෂධ පැළෑටි විනාශය වහා නතර කිරීමට පියවර ගන්නැයි ජාතික හෙළ උරුමය රජයෙන් ඉල්ලා සිටී.

රජය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු හා වෙනත් මෙහෙයුම් කණ්‌ඩායම් මදුරු කීටයන් ඇතැයි කියමින් බොහෝ ඖෂධ පැළෑටි දැනුවත්ව හෝ නොදැනුවත්ව කපා ගලවා ඉවත් කිරීම සිදු කෙරෙමින් පවතින බව ද එම පක්‍ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

බිං කොහොඹ, ඉරිවේරිය, තිප්පිලි, මදුරුතලා, වදකහ, හරන්කහ, යක්‌බේරිය වැනි ශාක පැළ ගලවා ඉවත් කෙරෙමින් ඇති බවත් සඳහන් කරන ඒ මහතා එම ශාකයන් තුළ මදුරු කීටයන් හට නොගන්නා බව වෛද්‍යවරු සනාථ කර ඇති බව ද පවසයි.

ඩෙංගු මැඬලීම ජාතික අවශ්‍යතාවක්‌ බවත්, එහි වගකීම රජයට පමණක්‌ නොව මහජනතාව මත ද පැවරී ඇති බවත් පවසන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, ඖෂධීය ශාක විනාශ නොකිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවත්, දේශීය වෛද්‍ය සංගමයත්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/06/12/news37.html

Pic Source

0 comments: