Pages

Monday, June 9, 2014

පාපන්දු ලෝක කුසලානය - FIFA WORLD CUP 2014 BRIZIL - ජූනි 12 සිට ජූලි 13 දක්වා

ලෝකය පාපන්දු කලාප 5 කට බෙදා කලාප අනුව ලොව සුපිරිම ජාතික කණ්‌ඩායම් 32 එකම වේදිකාවකට කැඳවා, සිව් වසරකට වරක්‌ පැවැත්වෙන ලොව අග්‍රගන්‍ය ක්‍රීඩා මංගල්‍යය හෙවත් ජගත් පාපන්දු කුසලාන තරගාවලිය ලබන බ්‍රහස්‌තින්දා හෙවත් 12 වැනිදා බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර සාවෝ -පෝලෝහි පැවැත්වෙන තරගයෙන් ඇරඹේ. ජූලි 13 වැනිදා දක්‌වා පුරා මාසයක්‌ ක්‍රියාත්මක වන මෙම ජගත් පාපන්දු වසන්තය විසින් සමස්‌ත ක්‍රීඩා ලෝකය පමණක්‌ නොව ඉන් පරිබාහිර සමස්‌ත ලෝකයටමද අංක එකේ මාතෘකාවකි. ඉසව්වකි. තේමාවකි. නිමිත්තකි.

1930 වසරේදී ඇරඹි ජගත් පාපන්දු කුසලාන 'රජ මගුල' දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් 1942 සහ 1946 යන අවස්‌ථා දෙකේදී පැවැත්වීමට නොහැකි වුණු නමුත් එ හැර සෑම වසර 4 කට වරක්‌ පැවැත්වුණි. බ්‍රසීලය විසින් මේ දැවැන්ත සත්කාරකත්වය දරන දෙවැනි අවස්‌ථාව මෙය වෙයි. 1950 දී සිය පළමු ලෝක කුසලාන සත්කාරකත්වයෙන් වසර 64 කට පසු බ්‍රසීලයට ලද මෙම අවස්‌ථාවේදී ක්‍රීඩාංගණ 12 ක්‌ තරග පැවැත්වීම සඳහා යොදාගනී. සමස්‌ත රටටම පාපන්දුවේ උණුසුම දැනෙන පරිදි රට පුරා විහිදෙන ලෙස මෙම ක්‍රීඩාංගණ සූදානම් කළ සංවිධායකයෝ දහසකුත් එකක්‌ බාධක මෙන්ම විටෙක ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රතු එළි මධ්‍යයේ වුව මේ වන විට තරග පැවැත්වීමට අවශ්‍ය ක්‍රීඩාංගණ සූදානම් කර තිබේ. 

1958, 1962, 1970, 1994 සහ 2002 ලෙසින් මෙතෙක්‌ පැවැති ජගත් පාපන්දු කුසලාන අවස්‌ථා 20න් 5 ක්‌ම ජයගනිමින් ලොව මෙතෙක්‌ වැඩිම එම කුසලාන දිනාගත් රට බවට පත්ව සිටින බ්‍රසීලය මෙවර හුදු සත්කාරකත්වයකින් ඔබ්බට ගොස්‌ එය ජයග්‍රාහී සත්කාරකත්වයක්‌ හෙවත් මෙවර ශූරයන් බවට පත්වීමේ දැඩි අදිටනින් සටනට පැමිණේ. මෙතෙක්‌ දකුණු ඇමරිකානු කලාපයේ පවත්වා ඇති ලෝක කුසලාන තරග අවස්‌ථා 4 ම එම කලාපීය කණ්‌ඩායමක්‌ විසින් ජයගෙන සිටීමේ අතීත සාධකයද බ්‍රසීලයේ බලාපොරොත්තු ඉහළ නංවනු ඇත.

වැඩි බලාපොරොත්තු සහිත රටවල්

කණ්‌ඩායම් වල දක්‍ෂතා, කණ්‌ඩායම් සම්ප්‍රදාය සහ නරඹන්නන්ගෙන් ලැබෙන සහය යන කරුණු 3 මත පදනම්ව මෙවර ජගත් පාපන්දු කුසලානයට පෙරට එන කණ්‌ඩායම් පිළිබඳව කර ඇති පූර්ව නිගමන වලදී බ්‍රසීලය අනිවාර්යයෙන්ම අවසන් පූර්ව වටය දක්‌වා පැමිණෙනු ඇතැයි කියවේ.

1994 සිට පාපන්දු ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් කරන ලද එම පූර්ව නිගමනයේදී සිව් වරක්‌ ජගත් පාපන්දු කුසලාන දිනා සිටින ඉතාලියද අවසන් සිව්දෙනා අතරට එන කණ්‌ඩායමක්‌ ලෙසින් පිළිගැනේ. මේ වන විට ලෝක ශේ්‍රණිගත කිරීම්හී පළමු ස්‌ථානයේ පසුවන සහ ඉකුත් ලෝක ශූරයන් වන ස්‌පාඤ්ඤයද ජයග්‍රහණය සඳහා වැඩිම සම්භාවිතාවක්‌ ඇති රටවල් අතර වේ. 2012 යුරෝපා පාපන්දු කුසලාන අවසන් මහා තරගයේදී ඉතාලිය ගෝල 4-0 ක්‌ ලෙසින් පරාජයට පත්කිරීමට ස්‌පාඤ්ඤයට හැකිවීම මෙන්ම එම ජයග්‍රාහී කණ්‌ඩායමේ සංයුතියට බොහෝ සෙයින් සමාන සංයුතියක්‌ මෙම ලෝක කුසලානට ඉදිරිපත්වන කණ්‌ඩායමේ සිටීමද ඔවුන් පිළිබඳ බලාපොරොත්තු පළ වීමට හේතුවකි. අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇතැයි සැලකෙන අනෙක්‌ කණ්‌ඩායම බවට පත්ව සිටිනුයේ ආර්ජන්ටිනාවයි. 


නොයෙකුත් ආකාරයේ දත්ත විශ්ලේශණය කිරීමෙන් අනතුරුව බ්‍රසීලය සහ ජර්මනිය අතරත් ස්‌පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතරත් අවසන් පූර්ව තරග යෙදෙනු ඇතැයි කියවේ. 


ලොව දැවැන්තම රූපවාහිනී නැරඹුම

මෙවර ජගත් පාපන්දු ශූරතාව ලොව ඉහළම තාක්‍ෂණය සහ පාපන්දු ලෝලීන්ට වඩාත් පහසු තරග කාලසටහනකට අනුව පැවැත්වීම මත රූපවාහිනී පේක්‍ෂක වාර්තා බිඳ හෙලනු ඇතැයි කියවේ.

ඉතිහාසයේ පළමු වරට 'අල්ට්‍රා හයි ඩෙෆිනීශන්' තාක්‍ෂණය ඔස්‌සේ විසුරුවා හැරෙන ලෝක කුසලාන තරගාවලියේ සජීවි දර්ශන ගෙනඒම සඳහා සෑම තරගයක්‌ම රූපවාහිනී කැමරා 34 ක්‌ බැගින් යොදවා ලොව රටවල් 48 ක සාමාජිකයන්ගෙන් යුත් 3000 ක කාර්ය මණ්‌ඩලයක්‌ ක්‍රියා කරයි. 

2010 වසරේදී ලොවපුරා මිලියන 909.6 ක්‌ අවම වශයෙන් මිනිත්තුවක්‌ හෝ එය නරඹා තිබූ අතර මෙවර එම වාර්තා බිඳවැටෙනු ඇත. 

තෑගි මුදල

මෙවර ජගත් පාපන්දු කුසලානයේදී පිරිනැමෙන සමස්‌ත ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 576 කි. ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 7488 කි. මෙය ඉකුත් 2010 තරගාවලියට වඩා 37%ක වැඩිවීමකි. 2014 ජගත් පාපන්දු කුසලාන ජයගන්නා කණ්‌ඩායමට හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 35 කි. එය රුපියල් වලින් නම් කෝටි 455 කි. අනුශූරයන්ට රුපියල් වලින් නම් කෝටි 325 ක දැවැන්ත ත්‍යාග මුදලක්‌ හිමිවේ. 

ගෝල නිරීක්‍ෂණ තාක්‍ෂණය

2014 ජගත් පාපන්දු කුසලාන සඳහා යොදාගන්නා පන්දුව 'ගොල්-ලයින්' තාක්‍ෂණයෙන් යුක්‌ත වූවකි. ගෝල් ලයින් තාක්‍ෂණය යනු එල්ල කරන ලද පහර සැබැවින්ම ගෝල කණු සාර්ථකව ආක්‍රමණය කළේද හෙවත් එය සැබැවින්ම ගෝලයක්‌ වීද යන්න සැකහැර දැනගත හැකි තාක්‍ෂණයකි. එංගලන්තය සහ ජර්මනිය අතර ඉකුත් ජගත් පාපන්දු කුසලානේදී පැවැති තරගයකදී ගෝලයක නිරවද්‍යතාව සම්බන්ධයෙන් හටගත් ගැටලුවක්‌ මෙම තාක්‍ෂණය පාපන්දු පිටියට ගෙන ඒම සඳහා හේතු විය. මෙයට ප්‍රථම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවූ තරගාවලි 3 කදී මෙම ක්‍රමය සාර්ථකව අත්හදා බැලීමට හැකිවීම නිසා මෙවර ඉතිහාසයේ පළමු වරට ජගත් පාපන්දු කුසලානයකදී මෙම තාක්‍ෂණය යොදැගැනීමට හැකිව තිබේ. 

ප්‍රවේශ පත්‍ර

මෙම දැවැන්ත ඉසව්වේදී පියවි ඇසින් ක්‍රීඩක දක්‍ෂතා නැරඹීම පිණිස ප්‍රවේශපත්‍ර 33,34,524 ක්‌ අලෙවි වනු ඇතැයි ජගත් පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වේ. මේ අතුරින් වැඩි සංඛ්‍යාවක්‌ සංවිධාන, සංගම් සහ ආයතන වශයෙන් වෙන්කරගෙන ඇති අතර සාමාන්‍ය මහජනතාව විසින් ප්‍රවේශ පත්‍ර ලක්‍ෂ 11 ක්‌ මිලට ගනු ඇතැයි සැලකේ. ඒ අතුරින් බ්‍රසීල ජාතිකයන් විසින් ප්‍රවේශ පත් ලක්‍ෂ 4 ක්‌ මිලට ගනිද්දී විදේශිකයන් ප්‍රවේශපත් ලක්‍ෂ 7 ක්‌ මිලට ගනු ඇතැයිද මත පළවේ. මේ අතුරින් ප්‍රවේශ පතක අවම මිල රුපියල් වලින් නම් 1625 ක්‌ පමණ වන අතර වැඩිම මිලෙන් යුතු ප්‍රවේශ පත්‍රයක්‌ රුපියල් 128,700 ක පමණ අගයක්‌ ගනියි. 

කණ්‌ඩායම් කාණ්‌ඩ ගත වීම

සුපුරුදු පරිදි මෙවරත් අදාළ කණ්‌ඩායම් 32 මූලික වටයේදී එක්‌ කාණ්‌ඩයකට 4 බැගින් කාණ්‌ඩ 8 කට බෙදා තිබේ.

ඉන්ද්‍රජිත් - විදෙස්‌ වාර්තා ඇසුරිනි.
http://www.divaina.com/2014/06/06/sports01.html

Pic Source

0 comments: