Pages

Sunday, June 15, 2014

ප්‍රභාකරන් මළේ නෑ?

ප්‍රභාකරන් මියගිය බව තමන් ඇතුළු ප්‍රාදේශීය දෙමළ ජනතාව විශ්වාස නොකරන බව යාපනය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. රාසකුමාරන් මහතා පවසා තිබේ.

මේ උගත් මහතා මේ බව ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සහාය පළ කිරීම සඳහා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

ම්ලේච්ඡ මිනිස්‌ සංහාර මගින් 40 දශකයේ මුල ලෝකයම බියෙන් සලිත කළ හිට්‌ලර් අවසානයේදී සියදිවි නසා ගත් බව සත්‍යයක්‌ නමුදු, ඔහු තවමත් ජීවත්වන්නේ යෑයි විශ්වාස කළ මිනිස්‌සු 50 - 60 දශකවල පමණක්‌ නොව 2000 දශකයේදී ද සිටියහ.

හැබැයි ඒ ජර්මනියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්වල නොවේ. එක්‌කෝ ඒ ඕනෑම අද්භූත දෙයක්‌ විශ්වාස කිරීමට සැදී පැහැදී සිටින සමහර නූගත් මිනිසුන් අතරය. නැතහොත් හිට්‌ලර් නැතත් වෙන ඒ ජාතියේ මොකෙක්‌ හරි එකකු පහළවීම අපේක්‍ෂාවෙන් සිටින නාසිලෝලයන් අතර ය.

ප්‍රභාකරන් සහ හිට්‌ලර් අතර වෙනස හිට්‌ලර්ට නහයට පහලින් රැවුල් කොටසක්‌ තිබීමත්, ප්‍රභාකරන්ට මුව දෙපසට විහිදී ගිය රැවුලක්‌ තිබීමත් පමණක්‌ නොවේ. තමා පිළිබඳව හිට්‌ලර්ට තිබූ අධි තක්‌සේරුවට වඩා වැඩි අධිතක්‌සේරුවක්‌ ප්‍රභාකරන්ට තිබුණු නිසා ද නොවේ. බර්ලිනයේ නැවත නැගිටීම සිහිනයක්‌ බවට පත්වන විට හිසට වෙඩි තබා ගෙන මියයැමේ ධෛර්යයවත් හිට්‌ලර්ට තිබුණේ ය. තමන් තම සගයන්ට ඉගැන්වූ සයනයිඩ් කරල් පාඩමේවත් නොසිටි ප්‍රභාකරන් අවසානයේදී මිය යන්නේ සතුරු වෙඩි පහර වලිනි.

ප්‍රභාකරන් යනු වෙනත් ජාතියක්‌ විනාශ කරන්නට ගොස්‌ තමන්ගේ ජාතියට විනාශය කැඳවූ ත්‍රස්‌තවාදී නායකයකු බව නො පිළිගන්නා ප්‍රාදේශීය දෙමළ ජනතාවක්‌ මේ රටේ නැත. ඔහුට ගෞරව කරන්නන් සහ ඔහු පුදන්නන් තමිල්නාඩුවේ ඇතැම් බයිස්‌කෝප්කාරයන් අතර සහ දේශපාලනඥයන් අතර තවමත් සිටින බවට සැකයක්‌ නැත. (පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී දකුණු ඉන්දීය ජනතාව විසින් මේ කබ්බන් ලෙල්ලටම පරාජය කරනු ලැබුවේය.) ලොව පුරා විසිර සිටින දෙමළ ඩයස්‌පෝරාව අතර ද එබන්දන් සිටින බවට ද සැකයක්‌ නැත. ඒ හැර ප්‍රභාකරන් යනු දැන් අතීතයට එක්‌ වූ එක්‌තරා නපුරක නමක්‌ මිස වැදගැම්මකට ඇති දෙයක නමක්‌ නොවේ.

එසේ වුවද ප්‍රභාකරන් යළි ගොඩනැගීමේ ක්‍රියාවලියක්‌ දැන් උතුර - නැඟෙනහිර පමණක්‌ නොව ඇතැම් යුරෝපා රටවල් තුළ පවා ක්‍රියාත්මක ය. ඒ සඳහා නිරත වන නව ත්‍රස්‌තවාදී ව්‍යාපාරවලට ආයුධ සපයන්නෝ ද සුලබය හ. ඒවාට උපදේශනය සහ වෙනත් ආධාර ද සපයන්නෝත් සිටිති. ජයලලිතා ජයරාම් වැන්නියන් ශ්‍රී ලංකාවේ ඊළම පිහිටුවීමට ආධාර වන්නැයි අද කෙළින්ම ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ ය. ප්‍රභාකරන් මියගිය බව තමන් ඇතුළු ප්‍රාදේශීය දෙමළ ජනතාව විශ්වාස නො කරන්නේ යෑයි යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති පවසන්නේ තතු එසේ තිබියදී ය.

මෙම අන්ධ විශ්වාසය හෝ ඒ පිටුපස පවත්නා 'අන්ධ ප්‍රාර්ථනා' හෝ සමස්‌ත යාපන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් තුළ පවත්නා දෙයකැයි අපි විශ්වාස නොකරමු. එහෙත් ප්‍රභාකරන් මිය නොගිය බවට රාසකුමාරන් මහතා දරන මතය පොදු මතය දැයි මේ මොහොතේ එකම වේදිකාවක ඔහු සමඟ සිටින බහුජන සංවිධානවල නියෝජිතයන්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට ඔවුන් ඊට 'වහෙන් ඔරෝ' මට්‌ටමේ පිළිතුරු සැපයීම අපට නම් ප්‍රශ්නයක්‌ බව කිව යුතුම ය.

ප්‍රාදේශීය දෙමළ ජනතාවත් ගාවාගෙන රාසකුමාරන් මහතා ප්‍රකාශ කරන්නේ ඒ මහතාගේ ආශාව විය හැකිය. එහෙත් එය බහුජන සංවිධාන නමින් අප හඳුනාගන්නා ඒවායේද ආශාව නම් එතැන ප්‍රශ්නයක්‌ තිබේ.

බහුජන සංවිධානවලට ආණ්‌ඩුව සමඟ පවත්නා ගනුදෙනු කොහොම බේරා ගත්තත් අපට ඇති රුදාවක්‌ නැත. එහෙත් ඔවුන් ඒ අරභයා තොලොංචි වූ ත්‍රස්‌තවාදයක මතු ප්‍රාර්ථනා ද රැගෙන පැමිණෙන්නේ නම් ඊට විරුද්ධ වන්නේ සකල ජනතාව ම බව දැන ගත යුතු ය.

http://www.divaina.com/2014/06/14/editor.html

Pic Source

0 comments: