Pages

Wednesday, June 4, 2014

මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජීවත්වී සිටියේනම් අදට වසර සීයයි

සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනයට අද්විතීය සේවාවක්‌ ඉටුකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කලාත්මක දේශීය නාට්‍ය කලාවේ පීතෘවරයා ලෙස හැඳින්වීම නිවැරදිය. එපමණක්‌ නොව එතුමා අපගේ නූතන සාහිත්‍ය වංශය ප්‍රභාවත් කිරීමටත් අපගේ සංස්‌කෘතික ජීවිතය උසස්‌ තලයකට එසවීමට සිය නිර්මාණ ශක්‌තියෙන් හා බුද්ධියෙන් අතිවිශිෂ්ට කාර්යභාරයක්‌ ඉටුකළ ප්‍රාග්ඥයෙකි. මේ ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනිතවූ මහා ප්‍රාඥයන් අතර යුගයක්‌ නිර්මාණය කළ යුග පුරුෂයෙකි.

ළමාවියේ සිටම මහත්මාගාන්ධි, තාගෝර් වැනි භාරතීය නායකයන්ගේ චරිතාප්‍රදාන කියෑවීමෙන් පන්නරය ලැබූ සරච්චන්ද්‍ර සිසුවා ගාන්ධිතුමාගේ චරිතය කියෑවීමෙන් කොතරම් ආකර්ශනයකට පත්වුවද යත් තමා දහහතර වැනි වියේදී ගාන්ධිතුමා විසින් චරිත සංවර්ධනය උදෙසා නිර්දේශ කරන ලද ප්‍රායෝගික අභ්‍යාස අත්හදා බලා තිබේ. සාන්ත පීතර විද්‍යාලයේ කලක්‌ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ සරච්චන්ද්‍රයන් රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ලංකා ගමනයත්, උදය ශංකර්ගේ සම්ප්‍රාප්තියත් පසුකාලීන ජීවිතය කෙරේ ඉමහත් බලපෑමක්‌ ඇතිකළ සිද්ධීන් බව ප්‍රකටය.

උපාධිය ලැබීමෙන් අනතුරුව භාරතයේ ශාන්ති නිකේතනය ආශ්‍රමය වෙතගිය සරච්චන්ද්‍රයන් එහිදී ගුරුදේව තාගෝර් යටතේ සංගීතය, සිතාර් වාදනය උගත්තේය. ප්‍රකට ඉන්දීය මහාචාර්යවරුන් සෙවනෙහි ඉන්දීය දර්ශනය උගත්තේය. ඒ 1939 දීය. 1941 දී විශිෂ්ට සාමාර්ථයක්‌ සහිතව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සංස්‌කෘත සාහිත්‍ය පිළිබඳ ඇම්.ඒ. ශාස්‌ත්‍රපති උපාධිය ලබා ගත්තේය. ඊට අමතරව 1942 - 1944 දක්‌වා සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘවරයකු වශයෙන්ද කටයුතු කළේය. 1949 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනවාදය, බෞද්ධ දර්ශනවාදය ආදී විෂයයන් පිළිබඳව තවත් ශාස්‌ත්‍රපති උපාධියක්‌ දිනාගත්තේය. සරච්චන්ද්‍රයන් අභිධර්මයෙහි එන චිත්ත චෛතසික විභාගය පිළිබඳ පර්යේෂණ පවත්වා බෞද්ධ දර්ශනයේ එන "භාවංග චිත්ත සංකල්පය" පිළිබඳව පර්යේෂණ කෘතිය උදෙසා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් දාර්ශනිකයෙකු වශයෙන් පරිනතභාවයට පත්විය.

අවුරුදු 35 වනවිට එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් ආචාර්ය උපාධිය ලබා සිටි අතර කොළඹ හා පේරාදෙණිය සරසවිවල පාලි හා බෞද්ධ විෂයයන් ඉගැන්වීමේ කථිකාචාර්යවරයකු ලෙස ද සේවයකර ඇත. 1952 දී විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යැමෙන් පසු ඔහු සිංහල අධ්‍යයනාංශයට බැඳුණේය.

උපතින් ගෙනා වාසනා මහිමයට සිය උත්සාහයද කැඳවා ගත් සරච්චන්ද්‍රයන් ඉඩකඩලත් සැමවිටම පොත පත කියෙව්වේය. කාලය නිකම් ගෙවනු බලා නොසිටියේය. ඔහු ඒ බව කීවේ මෙසේය.

"අපි හොඳම පොත පත කියෙව්වා. අද තරුණයන් පොත පත කියවීමට ඒ තරම් උනන්දුවක්‌ නැහැ. එය ජීවිතයට කරගන්න ලොකු පාඩුවකි."

1955 - 1956 කාලයේ නාට්‍ය කලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක්‌ ලැබ ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව යන රටවල විශ්වවිද්‍යාල හා නාට්‍ය කලා ආයතනවල නාට්‍ය කලාව හැදෑරීය.

ඔහු එයින් 1956 දී ප්‍රථම වරට රංග ගතකළ මනමේ නාටකය දේශීය නාට්‍ය කලාවේ අමරණීය සන්ධිස්‌ථානයක්‌සේ සැලකේ. වර්තමාන සිංහල සාහිතයයේ ගැමි කලාවන් පිළිබඳව කරන ලද පර්යේෂණවල වැදගත්කම සලකා 1958 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ඔහුට සිංහල මහාචාර්ය ධුරය පිරිනමන ලදී. ඉන්පසු කොළඹ සරසවියේ කලා අංශයේ පීඨාධිපති ධුරයද හිමිවිය.

1966 - 1967 දී ආරාධනාවක්‌ ලැබ ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ බෙනියන් විශ්වවිද්‍යාලයේද, ඉන්දියානා ජනපදයේ අර්ල්ගුම් කොලීජියේද ආචාර්යවරයකු ලෙස සේවය කළේය. රොක්‌සෙරල් ශිෂ්‍යත්වයක ආධාරයෙන් ඔහු කලක්‌ ජපානයේ වාසය කරමින් ජපන් නාට්‍ය හැදෑරුවේය. 1974 - 77 දක්‌වා ප්‍රංශයෙහි ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කල හෙතෙම අනතුරුව හවායිවල පිහිටි ඊස්‌ට්‌ වෙස්‌ට්‌ සෙන්ටර් නම් ආයතනයෙහි පර්යේෂණ සහකාර ධුරය දැරුවේය.

ජපානය, ඉන්දියාව වැනි පෙරදිග රටක විසුවද, එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය හෝ ජර්මනිය වැනි අපරදිග රටක සිටියද සරච්චන්ද්‍රයන් තුළ දක්‌නට ලැබුණේ ස්‌වකීය ජාතික උරුමය පිළිබඳ අපුර්ව භක්‌තියකි. ආදරයෙකි. තරුණ සරච්චන්ද්‍රයන් තුළ තිබූ එම බැඳියාව මැදිවියේදි ශුද්ධෝත්තම පාප් වහන්සේට අක්‌තපත්‍ර බාරදීමට ගිය නිල ගමන සඳහා පෙරදිගට ආවේණික වූ ලක්‌ෂණවලින්යුත් ඇඳුමක්‌ අමුතුවෙන්ම නිර්මාණය කොට එයින් සැරසී යැමට එදා එතුමා පසුබට වූයේ නැත.

මෙසේ ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති මහාචාර්ය සරච්චන්ද්‍ර විවිධ සමාජවල විසීමෙන් ලත් අත්දැකීම් අනුසාරයෙන් සිංහල සාහිත්‍ය පෝෂණයෙහිලා ශාස්‌ත්‍රීය ග්‍රන්ථ 12ක්‌ ද, නවකතා 9 ක්‌ද, කෙටිකථා 4 ක්‌ද ලියා ඇත. නාට්‍ය කෘතීන් තිහකට ආසන්න සංඛ්‍යාවක්‌ එළිදක්‌වා තිබේ. මේ හැර පරිවර්තන කෘතීන් සහ වෙනත් කෘතීන්ද ඒ අතර වෙති. මනමේ, සිංහබාහු, නාට්‍යයන් යුගයෙන් යුගය මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත කලාකාමී හදවත් රසවත් කරනු ඇත. සිංහල නවකථා ඉතිහාසය හා විචාරය කල්පනා ලෝකය පරම්පරා ගණනාවක්‌ යනතුරු සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ රස කල්පනා පුබුදු කරමින් විචාරකයන් පෝෂණය කරනු ඇත.

වයස 24 දී අයිලින් බෙලන් මෙනවිය සමඟ සිදුවූ ඔහුගේ පළමු විවාහයෙන් ප්‍රවීණ ටෙලි නාටය හා වේදිකා නිළි සුනේත්‍රා හා නන්දිකා යන දියණිවරුන් දෙදෙනෙකි. පසුව දෙදෙනාගේ කැමැත්තෙන් එම විවාහය අවසන් වුණි. එක්‌ දහස්‌ aනවසිය හැට ගණන්වලදී ප්‍රේම රංජිත් තිලකරත්නගේ "වහලක්‌ නැති ගෙයක්‌" නාට්‍යයේ රඟ පෑ කෝට්‌ටේ එපිටමුල්ලේ ලලිතා පෙරේdගේ රඟපෑමට වශීවූ ඔහු "පබාවති" නාටකය නාඩගම් ශෛලියෙන් යළි කරලියට ගෙන එද්දී පබාවතිය ලෙස තෝරා ගනු ලැබුවේ ලලිතාය. ඒ රඟපෑම තවත් රඟපෑමක ආරම්භය විය. ඇය හා පෙමින් වෙලී 1965 දී ඔවුහු අතිනත ගත්හ. සාර්ථක විවාහ ජිවිතයක්‌ ගත කළ දෙපළට දරුවන් තිදෙනකු ලැබී ඇත. සෝබෝන් සරසවියේ උගත් කිසාගෝතමී හා විදෙස්‌ සරසවියේ උගත් යශෝධරා හා රන්සි, දීපංකර පියාගේ හෙළබස, හෙළ උරුමය රැකගැනීමට ආශිර්වාද ලබා සිටිති.

1983 දී ඉන්දියාවේ කේරල ප්‍රාන්ත රාජ්‍ය විසින් මහාකළු කුමාරන් අසාන් ජාත්‍යන්තර සම්මානය හා 1989 දී මැග්සේසේ එතුමන් ලැබූ ජාත්‍යන්තර සම්මාන වේ. භාෂා සාහිත්‍යයේ පෝෂණයට ස්‌වකීය ජීවන ගමන්මග මෙහෙයවූ මේ මහා විද්වතාගේ උත්තරීතර සේවය අගයා තිළිණ කළ ගෞරව උපාධි ද රැසකි. 1983 දී යාපනය විශ්වවිද්‍යාලය මගින් "සාහිත්‍යශූරී" ගෞරව උපාධිය පිරිනමා ඇත්තේය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියද 1991 වසරේදී "සාහිත්‍යශූරී" සම්මානය පිරිනමා තිබේ. 1960 දී හොඳම නවකතාවට (මළගිය ඇත්තෝ) හිමි සම්මානයත් 1968 දී හොඳම නාට්‍යයට (මහාසාර) හිමි සම්මානයත් ඔහු සොයා ආවේය.

දේව නම් ප්‍රතිරාජයා රතුගමැවිමනගල වැජඹුන බව සිදත් සඟරා තතු පවසයි. 1996 අගෝස්‌තු මස 16 වැනි දින අභාවප්‍රාප්ත වූ රඡ්ගම එදිරිවිර සරච්චන්ද්‍රයන් වැනි දුර්ලභ ගණයේ පුද්ගලයකු සිංහල මිනිසුන් අතර බිහිව සිටීම ජාතියේ වාසනාවකි. "ඔහු ලෝක සාහිත්‍යයට සුදුසු පුද්ගලයකුයි" මහාචාර්ය පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල පවසයි. සිංහල කාව්‍ය වංශයම ගැන සලකා බලනවිට සරච්චන්ද්‍රයන්ට සමකල හැක්‌කේ රහල් හිමියෝ වැනි කවියකු බව ගුණදාස අමරසේකරයන්ගේ නිගමනයයි.

ඔහු ගැන විවිධ මත පළකරන විද්වතුන් අතර ඔහුගේ ගුණ සුවඳ අගයන සරසවි දියණියක වශයෙන් රඡ්ගමින් මුළු ලොවට දුන් අගනා දායාදයක්‌ ලෙස මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන් හඳුන්වා දෙන්නේ මහත් ආඩම්බරයෙනි.

ශාස්‌ත්‍රපති ලීලා පෙරුමාදුර
http://www.divaina.com/2014/06/03/feature01.html

0 comments: