Pages

Thursday, June 12, 2014

ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස්‌ කළ මහින්දාගමනය

ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස්‌ කරමින් ක්‍රි. පූ. 236 දී සිදු වූ මහින්දාගමනයට, මෙම පොසොන් පුන් පොහෝ දිනට වසර 2250 ක්‌ සම්පූර්ණ වේ. මහින්දාගමනය නිසා නිර්මල ථෙරවාදී බුදුදහම නම් වූ ශ්‍රේෂ්ඨ දායාදය අපට ලැබිණි. සිංහල බෞද්ධ සංස්‌කෘතිය එහි අනගි ඵලයකි. එම සංස්‌කෘතියේ කැපී පෙනෙන කරුණු දෙකක්‌ දැක ගත හැකිය.තමා පිළිබඳ වගකීම ඇත්තේ තමාටම පමණකි. බැහැරින් සිටින දෙවියෙකුට, බඹෙකුට හෝ ගැලවුම්කරුවෙකුට ඒ සඳහා කළ හැකි දෙයක්‌ නැත යන්න ඉන් එකකි. කරුණාව, අවිහිංසාව, සමානාත්මතාව, වීර්යය, අධිෂ්ඨානය, කැපවීම ආදිය අනික්‌ කරුණයි. එයින් පිරිපුන් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ප්‍රායෝගිකවම ජීවත් වීමේ ඵලයක්‌ ලෙස ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද සංතුෂ්ටිමත් පුද්ගලයෙකු බිහිවීම මහින්දාගමනයෙන් අප ලද උත්තම ඵලයයි. එවන් ශ්‍රේෂ්ඨ සමාජයක උරුමකරුවන් වන අපගේ වර්තමාන තත්ත්වය කුමක්‌ද?

නිමක්‌ නැති බලාපොරොත්තු කඩවීම නිසා අපි අද කොතරම් අපේක්‍ෂා භංගත්වයට පත් වී සිටිමු ද? තමාගේ වගකීම නොපෙනෙන බලවේගවලට පවරමින් අන්ධයන් ලෙස මෙලෙසින් දෙවියන්, භූතයන් පසුපස යන කාලයක්‌ තවත් තිබුණි ද? අප මේ තරම් කායික සහ මානසිකව අසරණ වී සිටින්නේ ඇයි?

අපගේ අපේක්‍ෂා භංගත්වයට ප්‍රධාන හේතුව එදා අප සතු වූ අල්පේච්ඡතාව අපගෙන් ගිලිහී යැමයි. අද අප පුරවාගෙන සිටින්නේ ජීවත්වීමට අවශ්‍ය පමණට වූ බලාපොරොත්තු නොවේ. තෘෂ්ණාවෙන් බරිතව තුරුලු කරගෙන සිටින අසීමිත බලාපොරොත්තු කන්දරාවකි. අනිත්‍ය ලෝකයක ඒවා බිදී යැම ලෝක ස්‌වභාවයයි. එය පුහුදුන් අපට දරා ගත නොහැකි දුකකි. අපේ වගකීම අප සතු නම් අප කළ යුත්තේ නොපමාව කුසල්හි යෙදීමයි. එය අමතක කර අපි අද කරන්නේ කුමක්‌ද? බිඳී යන අපගේ බලාපොරොත්තු ඉටු කරවා ගැනීමට නොපෙනෙන බලවේගවලට පිහිට යදියන් සේ යෑදීමයි. මෙය ආලෝකය තිබිය දී අන්ධයන් සේ කටයුතු කිරීමක්‌ නොවේද? මේ ගමනේ අවසාන ප්‍රතිඵලය, සංතුෂ්ටිය අප වෙතින් තවදුරටත් පලා යැමයි. නැවත ගොඩනොඑන ලෙස අප දුකෙහි පතුළටම ඇද වැටීමයි.

මේ යථාර්ථය නුවණින් යුතුව වටහා ගැනීමට මෙවර පොසොන් පොහොය ඉතා අගනා අවස්‌ථාවකි. එබැවින් අප තුළින් කායික හා මානසික නීරෝගීතාවකින් පිරි සන්තුෂ්ටිමත් පුද්ගලයෙකු බිහි කර ගැනීමට ප්‍රායෝගිකවම කටයුතු කිරීමට අපි අදිටන් කර ගනිමු.

සියලු දෙනාටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.

අටමස්‌ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි 
http://www.divaina.com/2014/06/12/news07.html

Pic Source

0 comments: