Pages

Friday, June 13, 2014

පොසොන් සැමරීමට රජරටට ජන ගඟක්‌

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සැමරෙන පොසොන් පුන් පෝය නිමිත්තෙන් ඊයේ (12 දා) අනුරාධපුර, ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්‌ථානය, මිහින්තලා රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කොට ගෙන පැවැති පිංකම් සඳහා ලක්‍ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක්‌ සහභාගි වූහ.

"කළ ගුණ සලකමු - මිහිඳු හිමි සමරමු" යන තේමාව කර ගනිමින් එම සියලු පිංකම් සංවිධානය කොට තිබිණි.

අනුරාධපුර අටමස්‌ථානාධිපති, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්‌වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පල්ලේගම හේමරතන, මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත එම පිංකම් පැවැත්විණි.

එම සිද්ධස්‌ථානවල පැවැති ශීල ව්‍යාපාරවලට දිවයිනේ නන් දෙසින් උවසු උවැසියන් විශාල පිරිසක්‌ එක්‌ව සිටීම කැපී පෙනෙන සිදුවීමක්‌ විය.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද අනුරාධපුර පූජා භූමියේ පැවැති පිංකම් කීපයකට සහභාගි විය. ඉන් ප්‍රධාන තැනක්‌ ගනු ලැබුවේ පුරා තිස්‌ වසරකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැති කුරිරු යුද්ධය නිමා කොට රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහි කිරීම පිණිස අනුරාධපුර ප්‍රජා භූමියේ ඉදිකරනු ලබන සඳහිරු සෑයේ ගර්භ මූලයෙහි සිදු කෙරුණු නිධන් වස්‌තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ජනාධිපතිතුමා සහභාගි වීමයි.

එහිදී පැවැති කේශධාතු ප්‍රදර්ශනය ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී.

අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පැවැති ධර්ම දේශනයකටද ජනාධිපතිවරයා සහභාගි විය.

අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ පූජනීය ස්‌ථාන ආශ්‍රිත ප්‍රදේශවල බැතිමතුන්ට සංග්‍රහ කිරීම සඳහා දන්සල් දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ සංවිධානය කොට තිබිණි.

අනුරාධපුර නගරයේ පොසොන් තොරණ දෙකක්‌ හා පහන් කූඩු ප්‍රදර්ශන ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි.

තවද අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල බැති ගී සංදර්ශන බෞද්ධ නාට්‍ය ඇතුළු සංස්‌කෘතික අංග රැසක්‌ පැවැත්විණි.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු, ඡායාරූපය - මිහින්තලය රංගචතු
http://www.divaina.com/2014/06/13/news04.html

0 comments: