Pages

Monday, June 9, 2014

පොලිස්‌ බලතල, මෝදි සහ ජයලලිතා


ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්‍ෂ සමඟ දිල්ලියේ හයිද්‍රබාද් මන්දිරයේදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම සඳහා විනාඩි 30 ක කාලයක්‌ වෙන්කර තිබිණි. නමුත් ඉකුත් 03 වැනිදා දිල්ලියට පැමිණි ජයලලිතා ජෙයරාම් මහඇමැතිනිය සමඟ සාකච්ඡාවට පැයකට ආසන්න කාලයක්‌ වෙන්කර තිබිණි. මැයි 26 වැනිදා පැවැති දිවුරුම්දීමේ උත්සවයට සහභාගි නොවූ ජයලලිතා මල්කළඹක්‌ හා සේද සළුවක්‌ රැගෙන නව අගමැතිවරයා හමුවීමට පැමිණ තිබිණි. සේද සළුව නරේන්ද්‍ර මෝඩිගේ ගෙලවට දැමූ ජයලලිතා තමා රැගෙන ආ පිටු 64 ක ඉල්ලීම් ලේඛනයද නව නායකයාට භාරදීමට අමතක නොකළාය.

ජයලලිතා මැයි 26 වැනිදා පැවැති දිවුරුම්දීමේ උත්සවයට සහභාගි නොවුණේ ශ්‍රී ලංකා ජනපතිගේ සහභාගිත්වයට විරෝධය දක්‌වමිනි. ප්‍රකට දෙමළ නළු රැජිනිකාන්ත්ද මේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූවේ "රාජපක්‍ෂ" සාධකය නිසාය. නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති සාකච්ඡාවේදී තමිල්නාඩුවේ "අම්මා" ප්‍රකාශ කළේ මොනවාද යන්න ශ්‍රී ලංකාවාසීන්ට වැදගත්ය. මන්ද "අම්මා" සිටින්නේ දැඩි සිංහල විරෝධයකින්ය. ඇය චෙන්නායි නුවරට ගිය පාසල් පාපන්දු කණ්‌ඩායම් පවා ආපසු හරවා එවන්නට සැහැසිවූ බව අප අමතක කළ යුතු නැත.

දෙමළ ඊළම වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු යෑයි යෝජනා කර ඇති ජයලලිතා, කච්චතිව් දූපත යළි පවරා ගතයුතු බවද තම යෝජනාවලියේ සඳහන් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව සිදුකළ යුද අපරාධ සම්බන්ධව එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේදී ඉන්දියාව විසින් යෝජනාවක්‌ ඉදිරිපත් කළ බවද සිය යෝජනාවලියේ පිටු 64 අතරට එක්‌කර ඇත. තමිල්නාඩුවේ වෙසෙන ජන සංඛ්‍යාව මිලියන 72 කි. ඒ මිලියන 72 වෙනුවෙන් දිල්ලි මහ ආණ්‌ඩුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඇය මේ යෝජනාවලියට ඇතුළත් කර ඇත්ද නැද්ද යන්න අප දන්නේ නැත. නමුත් රාජපක්‍ෂ රජයට රිදවීමට අවශ්‍ය යෝජනාද මේ ඉල්ලීම් ගොඩට අයත් බව නම් සහතිකය.

නරේන්ද්‍ර මෝදි සිනහමුසු මුහුණින් ජයලලිතාගේ යෝජනාවලිය භාරගත් අයුරු අප ඡායාරූපවලින් දැක ගත්තෙමු. මේ අවස්‌ථාවේදී මෝදි ජයලලිතාගේ ඉල්ලීම්වලට උනන්දුවෙන් සවන්දෙන්නේ ඇගේ සහයද භාරතීය ජනතා පක්‍ෂයට අවශ්‍ය නිසාය. ඒ ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩලයේ එනම් රාජ්‍ය සභාවේ බහුතර බලය මෝදිගේ පක්‍ෂයට නොමැති නිසා තමිල්නාඩුවේ සහය අත්‍යවශ්‍යය. තමිල්නාඩුව පුරා මෝදි සුනාමිය පැතිර ගියේ නැත. "අම්මාගේ රැල්ල" පැතිර ගියේය. එනිසා ඇයට ආසන 39 ක්‌ හිමිවිය. මෙනිසා රාජ්‍ය සභාවේ ආසන 123 ක බහුතරය ලබාගැනීමට අම්මාගේ සහය අත්‍යවශ්‍යය. ජයලලිතාගේ පක්‍ෂයට රාජ්‍ය සභාවේ ආසන 10 ක්‌ හිමිව ඇත. ජයලලිතාගේ ශ්‍රී ලංකා විරෝධී ඉල්ලීම්වලට නරේන්ද්‍ර මෝදි කවර ප්‍රතිචාරයක්‌ දක්‌වයිද යන්න ගැන අපට දැන්ම අනාවැකි කීමට නොහැකිය. ජයලලිතාගේ ඉල්ලීම් ගැන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ බ්‍රාහ්මණවංශික නිලධාරින් හොඳින් සලකා බලා ඒ ගැන ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න ගැන අගමැතිවරයා දැනුවත් කරනු ඇත. මෙවර මානව හිමිකම් සැසිවාරයේදී නම් ඉන්දීය තානාපති දිලිප් සින්හා ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් වැලකී සිටීම කොළඹ රජයට සැඟවුණු ආශිර්වාදයක්‌ විය.

ශ්‍රී ලංකා ජනපති හා පැවැති පළමු සාකච්ඡාවේදීම ඉන්දීය අගමැතිවරයා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්‌ දීම රාජපක්‍ෂ රජයේ සතුටට හේතුවූයේ නැත. පළමු ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීම මෙවැනි ඉල්ලීමක්‌ ඉදිරිපත් වනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ පාර්ශවය බලාපොරොත්තු වූයේ නැත. නමුත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සුජාතා සින් ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල පවරා දිය යුතු බව අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට දැනුම්දුන් බවයි. පළාත් සභාවලට පූර්ණ වශයෙන් බලතල පවරා නොදීම පිළිබඳව ඉන්දියාවේ බලවත් කණස්‌සල්ලක්‌ පැවැති බව රහසක්‌ නොවේ. මන්මෝහන් සින්ගේ කොංග්‍රස්‌ ආණ්‌ඩුව පවා රාජපක්‍ෂ රජය සමඟ කණස්‌සල්ලෙන් සිටියේ උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල නොදීම සම්බන්ධයෙනි. ඉන්දියාවේ උවමනාවට පොලිස්‌ හා ඉඩම් බලතල ලබාදීම කිසිසේත් කළ නොහැකිය.

දෙමළ ජාතික සන්ධානය නම් උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල අත්‍යවශ්‍ය බව කියයි. එහි මන්ත්‍රීවරයකු වන ප්‍රීමස්‌ සිරයිමා රොයිටර් ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර සිටියේ පළාත් සභාව පාලනය සඳහා පොලිස්‌ බලය අත්‍යවශ්‍ය බවයි. එහෙත් රජය ඉන්දියාවට දන්වා ඇත්තේ පොලිස්‌ බලතල උතුරු පළාත් සභාවට පවරා දිය නොහැකි බවයි. 2009 දී අවසන් කර දැමූ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය නැවත පාරාවළල්ලක්‌ වීම වැළැක්‌වීම සඳහා පොලිස්‌ බලතල උතුරු පළාත් සභාවට ලබානොදිය යුතු බව බහුතර ජනතා මතය බව සැක නැත.

ඉන්දියාවේ හදිසියට ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූ පළාත් සභා නිසා මෙරටට විශේෂ වාසියක්‌ අත්වූයේ නැත. දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලෙස ගෙන ආ පළාත් සභා ක්‍රමය ප්‍රභාකරන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද අතර ඔහු කිසිවිටක ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්නට කැමැතිවූ පුද්ගලයකු නොවීය. පළාත් සභා ඇති කිරීම හේතුවෙන් උතුර මෙන්ම දකුණද අස්‌ථාවර විය. ජනතා විමුක්‌ති පෙරමුණ දකුණේ ඇති කළ කැරැල්ල නිසා හැටදහසක්‌ ඝාතනයට ලක්‌විය. එනිසා පළාත් සභා වෙනුවෙන් උතුරේත් දකුණේත් දහස්‌ ගණනක්‌ තම ජීවිත පූජා කර ඇති බව නම් සත්‍යය. මේ ජීවිතවලට වගකිව යුත්තේ කවුද? පළාත් සභා අප මත බලෙන් පැටවූ රජීව් ගාන්ධිද? ඡේ. එන්. ඩික්‌සිත්ද? කවර පුද්ගලයකු වේවා ඉන්දීය රාජ්‍යය පළාත් සභා නිසා මියගිය ජීවිත වලට වක්‍රාකාරයෙන් හෝ වගකිව යුතුවේ.

එසේ නම් යළිත් ඉන්දියාවේ උවමනාවට පොලිස්‌ බලතල පවරාදීම කොහෙත්ම කළ නොහැකිය. එය උතුර මෙන්ම දකුණද අස්‌ථාවර කරන වෑයමක්‌ වනු ඇත. රට තුළ යළිත් සිවිල් අර්බුදයක්‌ ඇතිවීමටද මේ බලතල බෙදීම හේතුවන නිසා දිල්ලියේ භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුව මේ අවුල හොඳින් හඳුනාගත යුතුය.

ඉන්දීය ගැති සමහර විචාරකයන් පවසන්නේ පොලිස්‌ හා ඉඩම් බලතල ලබානොදුනහොත් නරේන්ද්‍ර මෝදි ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ කරනු ඇති බවයි. අපට නම් මෙය පිළිගත නොහැකිය. නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව දෙස බලන්නේ ඉන්දීය ව්‍යාපාරික පන්තිය බලන කෝණයෙනි. එනම් ඉන්දීය ව්‍යාපාර ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සිදුකරන්නේ කෙසේද යන මතයෙනි. ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමට නම් ලංකාවට තරවටු කිරීමෙන් වැලකී සිටීමට දිල්ලි පාලනය වගබලා ගත යුතුය.

මන්මෝහන් සින්ගේ ආණ්‌ඩුවට වඩා නරේන්ද්‍ර මෝදිගේ ආණ්‌ඩුව බලපෑම් කරයිද යන උභතෝකෝටිකය සැවොම තුළ මතුව තිබේ. බලපෑම් අඩුවූවද වැඩිවූවද පොලිස්‌ බලතල උතුරට පවරාදීම කොහෙත්ම කළ නොහැක. එසේ වන්නේ නම් 2009 දී ලබාගත් යුද ජයග්‍රහණයන්ගේ වැදගත්කමද සේදී යනු ඇත. ඉන්දීය ආණ්‌ඩුව කිසිම දිනක කාශ්මීරයෙන් හමුදා ඉවත් කරගන්නේද? නැත. එලෙසම ශ්‍රී ලංකා රජයත් උතුරෙන් හමුදා ඉවත්කර ගන්නේ නැත. උතුර මෙන්ම දකුණද පාලනය විය යුත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් මිස ප්‍රාන්ත පොලිසියකින් නම් නොවේ. එය රට අවුලට ඇද දමන උගුලකි.

චතුර පමුණුව
http://www.divaina.com/2014/06/07/feature01.html

Pic Source

0 comments: