Pages

Friday, June 27, 2014

"වටරැක නාටක" තිරරචනයට... අධ්‍යක්‍ෂණයට සහ ප්‍රධාන නළුවාට හිමි සම්මාන - සියල්ල වටරැක විජිත හිමිට...!

මෑත කාලයක සිට "පුවත් මවන තරුවක්‌" බවට පත්වී සිටින වටරැක විජිත හිමියන් පිළිබඳව බෞද්ධ ජනතාව කිනම් මතයක්‌ දැරුවද, මේ සතිය පටන් ගත්තේ වටරැක හිමියන් පිළිබඳව බොදු දනන්ගේ සිත් සතන් ඉමහත් කම්පාවට පත් කළ සිද්ධියකින්. පානදුරේ හිරණ නම් ගම් ප්‍රදේශයෙන් තමයි ඒ කතාව උපත ලැබුවේ. වටරැක විජිත හිමියන්ට බලවත්සේ හිරිහැර පීඩා කොට, උන්වහන්සේගේ සිරුරේ තැනින් තැනට බරපතළ ලෙස තුවාල කොට, උන්වහන්සේගේම සිවුරෙන් කොටසක්‌ ඉරා උන්වහන්සේගේ පාද බැඳ දමා, කැලෑබද ප්‍රදේශයක දමා ගිහින් තිබූ බවත්, පසුව පොලිසිය එතැනට පැමිණ උන්වහන්සේ රෝහල් ගත කළ බවත් තමයි, ඒ පුවතින් කියෑවුණේ. ඒ අවස්‌ථාවේදී විජිත හිමියන් ලේ ගංගාවක්‌ මැද වැටී සිටි බවත් පුවත්පත්වල පළවී තිබෙනු දුටු බොහෝ දෙනා කම්පාවට පත්වීම, ආයිත් ඉතින් කියන්න දෙයක්‌ නැහැනේ...

ඊළඟට මේ සතියේ වාර්තා වූ තවත් පුදුම දෙයක්‌ වුණේ මහජනතාවගේ ආරක්‍ෂාවට සිටින පොලිසියේම කොස්‌තාපල්වරුන් දෙදෙනකු වෙළෙඳ ව්‍යාපාරිකයකුගෙන් ලක්‍ෂ 13 කට වැඩි මුදලක්‌ කොල්ලකෑම... කොහොම හරි පොලිසියටම ලැබුණු ඔත්තුවක්‌ අනුව, ඒ දෙදෙනාට වැඩි වේලාවක්‌ ලක්‍ෂ 13 බදාගෙන ඒ ජොලිය විඳින්නට හම්බවුණේ නැහැ... දෙන්නාටම පොලිස්‌ කූඩුවේ ලගින්නට සිද්ධ වුණා.. අනුන්ගේ දේ අනුන්ගේම නේ...

පොලිසියේ එකෙක්‌ දෙන්නෙක්‌ මෙහෙම වැඩ කළාට පොලිසියේ වැඩි හරියක්‌ම ඉන්නේ හොඳ වැදගත් මහත්වරු. ඒ අතර එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ කරන වැඩ නිසා... අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ලක්‍ෂ 13 ක්‌ කොල්ල කෑ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කූඩුවට දමද්දී 'මුන්ට වතුර ටිකක්‌වත් දෙන්න එපා' කියා පොලිස්‌ ලොකු මහත්තයෙක්‌ කිව් බව සිටිසන් පෙරේරාට කිව්වේත් පොලිසියේම කෙනෙක්‌. ඒ මිනිස්‌සුන්ට ඉතින් තමන්ගේම වරිගේ කට්‌ටිය කරන වැඩ දැක්‌කාම කේන්ති යන එකත් අහන්න දෙයක්‌ යෑ? ලැඡ්ජාව මුළු සනුහරේටමනේ...

ඒ අතර තවත් තරුණයෙක්‌ද පොලිස්‌ වෙඩි පහරකින් මිය ගිය බවත් ඊයේ පෙරේදා අසන්නට ලැබුණා. ඒ කතාව පත්තරවල පළවුණේ ඒ තරුණයා පොලිස්‌ නිලධාරියාගේ ජීවිතයට තර්ජනයක්‌ වන්නට ගිය අවස්‌ථාවේදී පොලිසිය තැබූ වෙඩි පහරකින්, තරුණයා මළා කියලා... ඊට දින කීපයකට පෙරත් පොලිස්‌ වෙඩි පහරකින් තරුණයෙක්‌ මිය ගියා... මේවා අහපු දැකපු හුඟදෙනෙක්‌ කතා කළේ "මිනිහෙක්‌ මෙල්ල කරන්නට නම් පොලිසිය ඒ මිනිහට මැරෙන්නම වෙඩි තියන්න ඕනෑ ද" කියලයි. දණ හිසෙන් පහළට වෙඩි තියලා මිනිසුන් මෙල්ල කරන්න පුළුවන් කියලනේ ඉස්‌සර කිව්වේ... ඒ නිසා වෙන්නැති මිනිස්‌සු මේ වගේ ප්‍රශ්න අසන්නේ...·

ඉතින් වටරැක හාමුදුරුවන් රෝහල් ගත කරලා දවසක්‌ දෙකක්‌ යන කොට දැන ගන්නට ලැබුණේ හරිම පුදුම කතාවක්‌. ඒ කතාව රටට හෙළි කළේ හාමුදුරුවන්ගේම සහෝදරයා. ඒ සහෝදරයා කිව්වේ හාමුදුරුවන්ට සිදුවී ඇති තුවාල හාමුදුරුවන් විසින්ම කර ගන්නා ලද ඒවා බවයි. හිතන්නත් පුළුවන්ද...?

ඊට පස්‌සේ ඒ කතාවට උත්තර බැන්ද වටරැක හාමුදුරුවෝ කිව්වේ, තමන්ට කලින් ලබා දී තිබූ පොලිස්‌ ආරක්‍ෂාව පසුව ඉවත් කළ නිසා, යළිත් පොලිස්‌ ආරක්‍ෂාව ලබා ගැනීමේ අදහසින් මේ 'රඟපෑම' කෙරුවා කියලයි.

මේ අතර ගිය අඟහරුවාදා ප්‍රසිද්ධ ජාතික පුවත්පතක පළමුවැනි පිටුවේ තිබූ සිරස්‌තලයක මෙහෙම තිබුණා.

"අනේ මොකද මේ ශාසනයට වෙන්නේ?"

අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි හිමියෝ අසති. ඒ සිරස්‌තලය තිබුණේ එහෙමයි.

ඊළඟට එම ප්‍රවෘත්තියේ පළවූ ඡේදයක්‌ කියවා බලන්නකො.

ඒක මෙහෙමයි.

"රූපවාහිනිය බලන විට අපි දකිනවා අපේ සංඝයාවහන්සේලා පාරට බැහැල උද්ඝෝෂණ පිකටින් කරන හැටි. යකඩ වැටවල් පෙරළගෙන එක එක ඉල්ලීම් දිනා ගන්න කොච්චර පෙරළි කරනව ද? අපි මහණ වුණේ සියල්ල අත හැර සියලු දුක්‌ නැති කිරීමටයි. එහෙම පොරොන්දු වී ගත් මහණකමේ අර්ථය අවුරුදු කීපයක දී අමතක කරනවා. සමහර හිමිවරුන් පැදුරු- කොට්‌ට අරගෙන අමාත්‍යාංශවලට යනවා. අනේ මොකද මේ ශාසනයට වෙන්නේ යෑයි" අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහානායක හිමියෝ පසුගියදා (22 දා) කොස්‌ගොඩ දී ප්‍රශ්න කළහ. 

මීළඟට තවත් ජාතික පුවත්පතක ඇතුළු පිටුවක ප්‍රධාන සිරස්‌තලයක්‌ යොදා තිබුණේ මේ විදියට.

"වටරැක හිමියන් නැටූ නාඩගමේ පිටපත හා අධ්‍යක්‍ෂණය කාගෙද?"

කොහොමින් කොහොම හරි පසුගිය බදාදා උදේ වටරැක හිමියන්ගේ "ටිකට්‌ එක" රෝහලෙන් කැපුවත් උන්වහන්සේට ආයිත් පන්සලට යන්නට ලැබුණේ නැහැ... එතැන බලා සිටි පොලිසිය, "බොරු පැමිණිල්ලක්‌ කර පොලිසිය මුළා කිරීමේ වරදට" "විජිත හිමි අත්අඩංගුවට ගත්තා. දැන් ඉතින් උන්වහන්සේ රිමාන්ඩ්. මුසාවාදා වේරමණී සික්‌ඛා පදං හාමුදුරුවරුන්ටත් වලංගුයිනේa·

මෙහෙම බලනකොට අපිට පේන්නේ වටරැක විජිත හිමියන්ගේ නාටකයේ තිර රචනයත්, පිටපතත්, උන්නාන්සේම ලියාගෙන උන්නාන්සේම ඒ නාටකයේ ප්‍රධාන චරිතයත් රඟපා ඇති බවයි.

"අනේ මොකද මේ ශාසනයට වෙන්නේ?" කියා සීලවිසුද්ධි නාහිමියන් විමසූ ප්‍රශ්නයට ගරුතර මහා සංඝරත්නයම පිළිතුරු දෙනු ඇතැයි කියලා අපි බලාගෙන ඉන්නවා.

සිටිසන් පෙරේරා
http://www.divaina.com/2014/06/27/feature03.html

Pic Source

0 comments: