Pages

Saturday, June 28, 2014

ලේ, මස්, ඇට, නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය

බෞද්ධයින් වන්නට පෙර වුවද සිංහලයෝ කිසිදු ඇදහීමකට, කිසිදු ජන කොටසකට එරෙහි නොවූහ. ඒ පිළිබඳ හොඳම උදාහරණය ප්‍රාග් බෞද්ධ අනුරපුර යුගය ආලෝකවත් කළ පණ්‌ඩුකාභය රජතුමාගේ කාලයයි. සැත්තෑ වසක තම රාජ්‍ය කාලය තුළ පණ්‌ඩුකාභය රජතුමා සියලු ඇදහීම්වලට හා සියලු විශ්වාසයන්ට ගරු කළ බවත් විවිධ විශ්වාසයන් හා ඇදහීම් සමග බැඳී සිටි සෑම ජනකොටසකටම එකසේ ආධාර අනුග්‍රහ කළ බවත් ඓතිහාසික සත්‍යයකි.

වැව් ඇළවේලී තනවමින් ථූපාරාමය, මහාවිහාරය, මිහින්තලේ, අම්බස්‌ථල චෛත්‍යය, යාපනේ තිස්‌ස විහාරය, පාචීන විහාරය හා පලග්ග පිරිවෙන වැනි විහාර දාගැබ් පිරිවෙන් කරවමින් ආර්ථික සමෘද්ධිය හා බෞද්ධ සංස්‌කෘතිය උපයෝගී කරගෙන ජාතික සමගිය තහවුරු කළ දේවානම්පියතිස්‌ස රජතුමාගෙන් පසු රජ වූ උත්තිය රජතුමාත් ඔහුගෙන් පසු රජ වූ සුරතිස්‌ස රජතුමාත් ප්‍රමුඛතාවය දුන්නේ සාමකාමී සහජීවන පිළිවෙතටයි. බුදුදහම අනුව යමින් සාමකාමී සහජීවන පිළිවෙතක්‌ අනුගමනය කළ උත්තිය හා සුරතිස්‌ස රජුන් හමුදා සංවිධාන මගින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ ක්‍රියා මාර්ගයක්‌ අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලය වූයේ ලංකාවේ වෙළෙඳාමේ අස්‌නැවියන් වූ සේන ගුත්තික දෙදෙනා ප්‍රමුඛ සතුරු පිරිසක්‌ සුරතිස්‌ස රජු මරා අනුරපුර රජදහන අල්ලා ගැනීමයි. දේවානම්පියතිස්‌ස රජුගේ බාලම සොහොයුරු වූ අසේල කුමරුන්ගේ නායකත්වයෙන් විමුක්‌තිකාමීව නැගී සිටි දේශප්‍රේමී ජනතාව සේන, ගුත්තික ප්‍රමුඛ සතුරන් පරදවා අනුරපුර රජදහන මුදාගත්තද අන්‍ය ජන කොටස්‌වලට හිරිහැර පීඩා නොකළහ. එසේ වුවත් යළිත් වරක්‌ බලවත් සේනාවක්‌ ගෙනා එළාරයන්ට අසේල රජු මරා අනුරපුර රජදහනේ බලය අල්ලාගත හැකි විය. බලවතෙකු වූ එළාරද ප්‍රජා පීඩකයෙක්‌ වූයේ නැත. එහෙත් ඔහුගේ හමුදාවේ ඇතැම් කොටස්‌ බෞද්ධ පුදබිම් කෙළෙසමින් දුර්දාන්ත ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ නන්දිමිත්‍ර වැනි දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක විරුවන් රුහුණට ගොස්‌ කාවන්තිස්‌ස රජතුමා සමග එක්‌වීමයි.

අනුරාධපුර රාජධනිය එළාර යටතේ පවතිද්දී රුහුණේ නායකත්වය දැරූ කාවන්තිස්‌ස රජතුමා දුරදක්‌නා නුවනින් යුතු ජනහිතකාමී බුද්ධිමත් නායකයෙකු විය. ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට දසමහා යෝධයින් වැනි නායකයින් මුල්කරගෙන විධිමත් සංවිධානාත්මක දක්‍ෂ සේනාවක්‌ ගොඩනැඟූ කාවන්තිස්‌ස රජතුමා හින්දු බ්‍රාහ්මණයින්, නිගණ්‌ඨයින්, පරිබ්‍රාජිකයින්, ආජීවකයින් ආදී කිසිදු ආගමික කොටසකට බාධක හිරිහැර කළේ නැත. ඒ බව එතුමාගේ මුණුබුරු වලගම්බා අනුරාධපුරයේ රජ වූ අවස්‌ථාවේ තිස්‌ස බමුණාගේ ප්‍රධානත්වයෙන් රුහුණෙන් මහා කැරැල්ලක්‌ ඇති වීමෙන් පැහැදිලි වේ. එළාර පරදවා ජයගත් දුටුගැමුණු රජතුමාගේ කාලයේ බුදු සසුන නඟා සිටුවන්නට සෑම උත්සාහයක්‌ම දැරුවද බ්‍රාහ්මණ, නිගණ්‌ඨ, පරිබ්‍රාජික ආදී කිසිදු ආගමික කොට්‌ඨාසයකට බාධක හිරිහැර වන අන්දමින් කටයුතු කළේ නැත. ඒ බව පැහැදිලි වන්නේ වළගම්බා රජු සිංහාසනාරූඪව වසරක්‌ ගත වන්නට කලින් මහා කැරැල්ලක්‌ ඇති කිරීමට තිස්‌ස බමුණා වැනි බ්‍රාහ්මණයින්ට හැකි වූ නිසා පමණක්‌ නොවේ. වළගම්බා රජු දෙමළ සතුරන් අතින් පැරදි පසුබසිද්දී සතුරන්ට අනුග්‍රහ දක්‌වන අන්දමින් රජුට නිග්‍රහ කළ ගිරිනම් නිගණ්‌ඨයාගේ ක්‍රියාවෙන්ද ඒ බව පැහැදිලි වේ. අන්‍යාගමිකයින්ට පීඩාවක්‌ නොකළ සද්ධාතිස්‌ස රජතුමන්ගේ බාල පුතුණුවන් වූ වළගම්බා රජතුමන් ගිරි නම් නිගණ්‌ඨයාගේ ආශ්‍රමය බිඳ අභයගිරිය කරවූයේ පරාජයේදී තමාට නින්දා කරමින් සතුරන්ට ආවැඩූ නිගණ්‌ඨයනට දඬුවමක්‌ ලෙස මෙන්ම දුෂ්කර අවස්‌ථාවේ සහය වූ කුපික්‌කල තිස්‌ස හිමියන්ට කරන උපහාරයක්‌ ලෙසිනි. මහසෙන් රජු හා වෝහාරික තිස්‌ස රජු දවස බෞද්ධයින් අතරම අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති වුවද එය දීප ව්‍යාප්ත වූයේ නැත.

රාජ රාජ ප්‍රමුඛ මුන්මඩි චෝල මණ්‌ඩල හමුදාවන් ලංකාව යටත්කර වසර පනහක්‌ තරම් කාලයක්‌ පාලනය කළද රට මුදා ගැනීමට නායකත්වය දුන් කීර්ති කුමාරයා විජයබා නමින් රජ වී අවුරුදු පනස්‌ ගණනක්‌ ධාර්මිකව රට කරවූවා මිස අන්‍ය ජාතික, අන්‍ය ආගමික කොටස්‌වලට හිංසා පීඩා කරවූයේ නැත. 

කාලිංග මාඝ ප්‍රමුඛ ආක්‍රමණිකයන් පොළොන්නරුව ලේ විලක්‌ බවට පත්කරමින් රජරට යකුන් නැටූ පිටියක්‌ බවට පත් කළ පසු දඹදෙණියේ රජ වී පරසතුරන් පරදවා රට එක්‌සේසත් කළ මහා උගතෙකු වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත දෙවැනි පැරකුම්බා රජුගේ පාලන සමයේදී ද රට සමෘද්ධිමත් කරවා රටේ බස්‌නාහිර හා දකුණු වෙරළ දිගට පොල් උයන් වගා කළද අන්‍ය ජාතික අන්‍ය ආගමික කිසිදු ජන කොටසකට හිංසා පීඩා කරවූයේ නැත. ආර්ය චක්‍රවර්තිවරුන්ගේ ප්‍රහාර නිසා දඔදෙණිය අතහැර කුරුණෑගල අගනුවර කරගන්නට සිදු වුවද ධාර්මික උගතෙකු වූ හතරවැනි පැරකුම්බා (දෙවැනි පණ්‌ඩිත පැරකුම්බා) රජ සමයේ හෝ ඉන්පසුව හෝ කිසිදු ජන කොට්‌ඨාසයකට හිංසා පීඩා නොකළ බවට ඇති හොඳම සාක්‍ෂිය වන්නේ සත්කෝරළයේත් වයඹ පළාතේත් වෙසෙන සුළු ජාතික ජන කොටස්‌ අද දක්‌වා සුරක්‍ෂිතව සිටීමයි. හතරවැනි පැරකුම්බාවන් ධර්මධර උගතෙකු වීම සත්කෝරළ ජනතාවට ආදර්ශයක්‌ වූ බව නිසැකය. දිගින් දිගට එල්ලවූ දකුණු ඉන්දීය හා අනෙකුත් විදේශාක්‍රමණ නිසා කුරුණෑගල රාජධානිය අතහැර රටේ මධ්‍ය කඳුකරයේ වඩා සුරක්‍ෂිත ගම්පල අගනුවර කරගෙන රට කරවූ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ කාලයේ ගඩලාදෙණිය ඇම්බැක්‌ක හා ලංකාතිලක ආදී විහාර කර්මාන්ත කර බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති කිරීමට ඉන්දියාවෙන් පවා කලා ශිල්පීන් ගෙන්වූවා මිස කිසිදු සුළු ජාතික හෝ සුළු ආගමික ජන කොටසකට හිංසා පීඩා සිදුවූයේ නැත.

සිංහල රාජධානිය ගම්පලින් දැදිගමටත් කෝට්‌ටෙටත් මාරු වුවද සිංහලයන් ආගමික සමගිය හා ජනවාර්ගික කොටස්‌ අතර සහජීවනය සඳහා වන පිළිවෙතක්‌ අනුගමනය කළ බව ඓතිහාසික සත්‍යයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන සමෘද්ධිමත් සමය වු ජයවර්ධනපුර කෝට්‌ටේ යුගයේදී අවසන් වරට රට එක්‌සේසත් කිරීමෙහිලා නායකත්වය දුන් හයවැනි පැරකුම්බාවන්ගේ පනස්‌ වසක්‌ ඉක්‌ම වූ රාජ්‍ය පාලනයෙන් ඒ බව මනාව පැහැදිලිවේ.

වසර දෙදහසක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ අන්‍ය ජාතික හා අන්‍යාගමික ජන කොටස්‌ සමග සමගියෙන් සහජීවනයෙන් කටයුතු කළ සිංහලයෝ පෘතුගී්‍රසි ආක්‍රමණිකයන්ගේ පීඩනයට ලක්‌ වූ මුස්‌ලිම් ජනතාව රට මැද හාරිස්‌පත්තුවෙත් උඩරට සිංහල රාජධානියට අයත්ව තිබූ නැගෙනහිරත් පදිංචි කරවා ආරක්‍ෂා කරන්නට තරම් පුළුල් දැක්‌මකින් යුත් ජනහිතකාමීන් වූහ. පෘතුගී්‍රසින් සමග එක්‌වී කෙමෙන් බෞද්ධයන්ට විරුද්ධ වීමට තරම් අන්තවාදීන් බවට පත්වූ කතෝලිකයන් පෘතුගී්‍රසි විරෝධී ලන්දේසීන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ අවස්‌ථාවේ කතෝලික බැතිමතුන්ට රට අභ්‍යන්තරයේ වහකෝට්‌ටේ හා මහනුවර හා අම්පිටිය වැනි ප්‍රදේශවල පවා රැකවරණ ලබාදෙන්නට තරම් සිංහල රජුන් සිංහල බෞද්ධයින් ආගමික සහජීවනවාදී වූහ. යුරෝපීය ආක්‍රමණික බලවතුන්ගේ තර්ජනයට මුහුණපා සිටි අතිශය දුෂ්කර අවධියක පවා අන්‍ය ජාතික, අන්‍යාගමික ජන කොටස්‌ ආරක්‍ෂා කරන පිළිවෙතක්‌ අනුගමනය කළ සිංහලයන් පළමුවරට 1915 දී මුස්‌ලිම්වරුන්ට එරෙහි වූයේ යටත් වැසියන් බේදකර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය උපාය මාර්ගයට අනුගතවී බෞද්ධ පෙරහැරකට පහර දෙන්නට මුස්‌ලිම්වරුන් අන්තවාදීව ක්‍රියාකළ අවස්‌ථාවකදී පමණි. ගැටුම සමථයකට පත් වූ පසු යළි සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් සියල්ලන් ජාතික සංගමය තුළ එක්‌වී රටේ නිදහස සඳහා කටයුතු කළ බව මෑත ඉතිහාසයට අයත් සත්‍යයකි.

ඉස්‌ලාම් ආගමික නායකයින් වන උලේමාවරුන් හලාල් ලාංඡනය, මස්‌ මාංශ නොවන ආහාරපාන ඇතුළු වෙනත් නිෂ්පාදනවලටත් යොදා ගනිමින් බෞද්ධ හා හින්දු ක්‍රිස්‌තියානි සියලු ජන කොටස්‌ මත තමන්ගේ පිළිවෙත් උපායශීලී ලෙස පටවන්නට යාමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉතාම මෑතකදී හැර සිංහලයෝ කිසි විටෙකත් මුස්‌ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය නොකළහ. මේ ලිපිය මාත් මා ඇසුරු කළ අද වන විට හැටවිය ඉක්‌මවා සිටින බේරුවල, අලුත්ගම, දර්ගා නගරවාසී මුස්‌ලිම් ජනතාවත් අතර ඇත්තේ නොබිඳෙන මිත්‍රත්වයකි. එසේ වූවත් ජාත්‍යන්තර අන්තවාදී ඉස්‌ලාම් සංවිධානවල බලපෑමට අසු වූ මුස්‌ලිම් තරුණයින් අතරින් ජිහාඩ් කැරලි බිහි වී ඇති බව රහසක්‌ නොවේ. අවිචාරවත් ලෙස ජිහාඩ් කල්ලිවලට එක්‌වන මුස්‌ලිම් තරුණයන්, අල්කයිඩා හා තලේබාන් වැනි ත්‍රස්‌තවාදී ක්‍රියා මාර්ග අනුගමනය කරන කොටස්‌වල ආභාෂය ලබා කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර අධිපතිවාදී බලවේගවල ගොදුරු බවට පත්විය හැකි බැවින් බුද්ධිමත් මුස්‌ලිම් වැඩිහිටියන් සිය තරුණ දූ පුතුන් නිවැරදි මගට හරවාගත යුතුව තිබේ. ජාතික ආරක්‍ෂාවට පවා තර්ජනයක්‌ වන අන්දමින් මුස්‌ලිම් තරුණියන් මුහුණ වසාගෙන යාම අන්තවාදී ප්‍රවණතාවන්ගේ අඳුරු සංකේතයක්‌ වී තිබෙන බව රහසක්‌ නොවේ.

අපේ ළමා හා තරුණ අවධියේ මුස්‌ලිම් කාන්තාවන් අපේ ගමේ අපේ ළිං වලට නාන්නට ආවේ එදා කහදිය වත්ත නමින් හැඳින්වුණු වත්මන් දර්ගා නගරයේ ජලය බීමට තබා ස්‌නානයටවත් නුසුදුසු නිසාය. නළ මගින් ජලය නොසැපයූ අපේ තරුණ අවධියේ දර්ගා නගරයට පානීය ජලය ගෙන ගියේ අපේ ගම්වල ළිං වලින් වතුර කරත්ත මගිනි. කලබල ඇතිවන්නට සති කීපයකට පෙර පවා බේරුවල අල් හුමයිසාරා පාසලේ සේවය කරන මගේ සොහොයුරාගේ දියණියගේ මිතුරු ගුරුවරියෝ දිය නෑම සඳහා අපේ මහගෙදර වත්තට පැමිණියහ. ඒ කිසිවකු මුහුණ වසාගෙන ආවේ නැත. ලක්‌වැසි සියල්ලන් සියලු ආකාරයේ අන්තවාදයන් අත්හළ යුතුව තිබේ. මහා කාරුණික ගෞතම බුදුන්වහන්සේගේ ධර්මය අනුව යන සිංහල බෞද්ධයින් අතීතයේ ධර්මද්වීපවාසීන් ලොවටම ආදර්ශයක්‌ වූවාසේ අනෙක්‌ ජන කොටස්‌වලට ආදර්ශයක්‌ වන අයුරින් කටයුතු කරමින් අධිපතිවාදී කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර බලවේගයන් පරාජය කළ යුතුය.

අනගාරික ධර්මසේකරතුමා
http://www.divaina.com/2014/06/28/feature01.html

Pic Source

සබැඳි ලිපි -[සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: