Pages

Wednesday, June 11, 2014

පැවිදි දිවියේ අඩසියවස සපුරන ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ

සියම් මහ නිකායේ දඹුලු පාර්ශ්වයේ මහා නායක සහ රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අති පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියට සපැමිණ අදට (11 දා) අඩ සියවසක්‌ සපිරේ. එසේම, උන්වහන්සේ රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ධුරයට පත්ව වසර 35 ක්‌ සපිරීම සිදුවන්නේද අදට (11 දා) ය. මේ නිමිත්තෙන් අද රංගිරි දඹුලු රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් වැදගත් ආගමික කටයුතු රාශියක්‌ සිදු කෙරෙන්නේ දඹුල්ල පූජා භූමිය එකම උත්සවශ්‍රීයකින් ඇලලෙන අතිශය චමත්කාරජනක හා බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරන වටපිටාවකය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී සුමංගල නාහිමියෝ පසුගිය වසර 35 ක්‌ තුළ දඹුල්ල රජමහා විහාර පරිශ්‍රය ප්‍රමුඛ පූජාභූමිය සංවර්ධනය කර වැඩිදියුණුවට ලක්‌කරන ලද අතර දඹුල්ලේ පමණක්‌ නොව, සමස්‌ත ශ්‍රී ලංකා දේශයම ඒකාලෝක කරමින් බොදු හඬ, බොදුනද සමස්‌ත විශ්වය පුරා පතුරාහරින්නට කටයුතු සම්පාදනය කළහ. රටේ අනිකුත් පූජා නගරවලට නොදෙවැනිව දඹුල්ල සංවර්ධනය කර, එය බොදු ජනතාවගේ උරුමයක්‌ බවට පත්කරන්නට කටයුතු කළා නම්, ඒ කවරකදු නොව, ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බවට පිළිගන්නට කාහට වුවද සිදුවේ. එදා අඳුරු මුහුණුවරකින් යුක්‌තව බොදු ජනතාව මහත් අඩුපාඩු සමූහයකින් සමන්විත, නෙතට කටුක බවක්‌ ඉසිලූ දඹුල්ල පරිසර හිතකාමීව සංවර්ධනය කරමින් නෙත් පිනන හදවතට සුවය, සැනසුම ලබාදෙන අධ්‍යාත්මයේ තෝතැන්නක්‌ බවට පත්කරන්නට උන්වහන්සේ ගත් මහත් උත්සාහය අද මල්ඵල දර ඇත. දඹුල්ල යනු අද නිතිපතා, දිනපතා බෞද්ධයන් ඇතුළු සෑම සියලු ආගමික ජාතිකයන් සිය දහස්‌ ගණන් ගැවසෙන සොඳුරු පූජා භූමියක්‌ බවට පත්ව ඇත්තේ සුමංගල හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

දඹුල්ල ඓතිහාසික ලෙන්විහාර පරිශ්‍රය ඇතුළු රජමහා විහාරය හුදෙක්‌ "ලෝක උරුම" නම් සිපිරිගෙය තුළ සිරකර නොතැබූ උන්වහන්සේ දඹුල්ල බොදු ජනතාව වඳින පුදන, ආධ්‍යාත්මික සුවයක්‌ ලබන උතුම් පූජාබිමක්‌ බවට පත් කළේය.

දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය ලෙස, අද ඒ-9 මාර්ගයේ දඹුල්ලේ සිට මහනුවර මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම බෞද්ධයකුගේ අති ගෞරවාදරයට පත්වන හා මනස ආධ්‍යාත්මික සුවයෙන් සුවපත් කරවන විසල් පිළිමවහන්සේ ඇතුළු විහාර සංකීර්ණය ඉදිකරවා රංගිරි දඹුල්ල බොදු දහමේ උතුම් මුදුන්මල්කඩක්‌ බවට පත් කරන ලද්දේ සුමංගල හිමියන්ගේ ධෛර්යේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

එසේම, මෙතෙක්‌ ගිහි බෞද්ධයන්ට රජයට හෝ වෙනත් බෞද්ධ රාජ්‍යයන්ට කරන්නට නොහැකි වූ විශ්වීය, විශ්වකර්ම සේවාවක්‌ බෞද්ධයන්ට ලබා දෙමින් උන්වහන්සේ ලොව ප්‍රථම බෞද්ධ ගුවන් විදුලි නාලිකාව "රංගිරි ශ්‍රී ලංකා එෆ්. එම්. නමින් විශ්වීය සේවාවක්‌ දඹුල්ලේ සිට විකාශනය කිරීම ආරම්භ කරන ලද්දේ රංගිරි ශ්‍රී ලංකා නම් බෞද්ධ පුවත්පතට සමගාමීවය. අනතුරුව උන්වහන්සේ බෞද්ධ රූපවාහිනී නාලිකාවද රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය නමින් ආරම්භ කරමින් දැන් විකාශන කටයුතු සිදුකරගෙන යි.

මෙය උන්වහන්සේගේ සුරතින් බෞද්ධාගමට ලොව පුරා බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදුවූ විශ්වීය සේවාවකි. අද රංගිරි ශ්‍රී ලංකා එෆ්. එම්. ගුවන් විදුලිය සමකරන්නට හරබර යහපත් ආධ්‍යාත්මික සුවය ලබාදෙන එකම බෞද්ධ ගුවන් විදුලියක්‌ හෝ වෙනත් ජාතික ගුවන් විදුලියක්‌ නැත. එය එතරම්ම ජනතා ප්‍රසාදය දිනා ඇත. ආගමික, සමාජයීය, පාරිසරික වැඩසටහන් මෙන්ම බොදු හා ආධ්‍යාත්මික ගීත ප්‍රචාරය කරමින් රැය පහන්වනතුරු පිරිත් සජ්ධායනයට එහි පූර්ණ ඉඩකඩ වෙන්කර ඇත.

පෙර දැක්‌වූයේ වසර 35 ක විහාරාධිපති ධුරයෙන් හා වසර 50 ක පමණ දිවියෙන් උන්වහන්සේ රංගිරි දඹුල්ලට, රටට, ජාතියට, ආගමට හා බොදු ලෝකයට සැලසූ සේවාවෙන් බිඳකි. අනූව දශකයේ සිට දඹුල්ල විහාර පරිශ්‍රය ලෝක උරුමයක්‌ බවට පත්ව තිබුණද, ගඩොල් කැටයක තරමේ සංවර්ධනයක්‌ සිදුනොවූ බව පවසන සුමංගල නාහිමියන් අද තම දිවි මගේ සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරන මේ මොහොතේ විහාරයේ අරමුදලින් නොහොත් දඹුල්ල පුණ්‍යාධාර අරමුදලින් පමණක්‌ විහාරයට ඉටුකළ සුවිසල් සංවර්ධන කටයුතු රැසක්‌ද බොදු ජනතාව වෙත උන්වහන්සේ තම සුරතින් තිළිණ කරයි. සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතු උත්සවයේදී බුහුමන් ලබන ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මෙවන් සංවර්ධන කටයුතු රැසක්‌ ජාතියට දායාද කරති.

අංග සම්පූර්ණව සැකසූ ආදාහනමළුව, විහාරමළුව සහිත අක්‌කර 9 ක ඖෂධ උද්‍යානය, මකර තොරණ සිට ලෙන් විහාර මාර්ගයේ සැරසුම්ගල දක්‌වා කලුගල් අතුරා සංවර්ධනය කළ මාර්ගය, එතැන් සිට ලෙන් විහාරය දක්‌වා කැටයම් සහිතව තැනූ විදුලි පහන් කණු සහිත විදුලි පද්ධතිය, වැඩ අවසන් කරන ලද සීමා මාලකය, පූජා භූමියේ දකුණු මායිමේ සිට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ දිවෙන වළාකුළු බැම්ම සහ පන්සලේ වැව නමින් ප්‍රතිසංස්‌කරණය කර ජලය පිරවූ පැරැණි උස්‌වැව (කණ්‌ඩලම හන්දිය) යන සංවර්ධන කටයුතු සියල්ලම අද පැවැත්වෙන චාම් එහෙත් ගාම්භිර ආගමික උත්සවයේදී නිරාවරණය කෙරේ. රජයේ හෝ යුනෙස්‌කෝව වැනි සංවිධානවල කිසිදු දායකත්වයක්‌ නැතිව සුමංගල නාහිමියෝ මෙම කටයුතු සියල්ල සිදුකර ඇත්තේ විහාරයට බැතිමතුන්ගෙන් ලැබෙන කැට සල්ලි ඇතුළු විහාරයේ පුණ්‍යාධාර අරමුදලෙනි.

එවන් විශිෂ්ට හා ශ්‍රේෂ්ඨ සේවාවන් සිදුකරන ලද යතිවරයකු වන ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ට බොදු ජනතාවගේ භක්‌තිමත් ප්‍රණාමය අද (11 දා) පළ කෙරේ.

දඹුල්ල හා සීගිරිය නම් ඓතිහාසික ගම්මානවලට නුදුරු සොඳුරු ඉනාමළුව නම් ගම්මානයේදී 1948 වසරේදී ඉනාමළුවේ ඉහළ වලව්වේ බිසෝ කුමාරිහාමි මාතාවට හා ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්‌ඩා ඒකනායක පියාණන්ට දාව සොයුරු සොයුරියන් සය දෙනෙකුගෙන් යුතු පවුලක සිව්වැන්නා ලෙසින් උපන් ඒකනායක මුදියන්සේලාගේ සෙනවිරත්න ඒකනායක නම් කුලකුමරුවා 1964 දී දඹුලු රජමහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත්ව මෙසේ පනස්‌වසරකට පසු අද බොදු ජනතාවගේ වෙසෙස්‌ පැසසුමට ලක්‌වන්නේ ඓතිහාසික රංගිරි දඹුලු පුරවරයේ අසහාය යතිවරයාණෝ ලෙසිනි.

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/06/11/feature01.html

Pic Source

0 comments: