Pages

Sunday, June 15, 2014

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය - ජුනි 14

ජුනි 14 දා ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත. 1900 වසරේදී ඕස්‌ටේ්‍රලියානු ජාතික වෛද්‍ය රසායනාගාර විශේෂඥයකු වූ කාල් ලෑන්ඩ් ස්‌ටයිනර් විසින් ප්‍රධාන රුධිර ගණ සොයාගන්නා ලදී. මේ නිසා ලොව ලේ දන්දීම ක්‍රියාත්මක කිරීමට හැකිවිය. ඔහුගේ උපන් දිනය යෙදී තිබුණේ ජුනි 14 වැනි දිනටය. එබැවින් ඔහු විසින් එම සොයා ගැනීම සිදුකර මානව සංහතියට කළ උදාර සේවයට කළගුණ සැලකීමක්‌ ලෙස ජුනි 14 දා ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම් කර ඇත.

කිසිදු පුද්ගලික ලාභ අපේක්‌ෂාවකින් තොරව උතුම් මානව දයාව පෙරදැරි කරගෙන තමාගේ රුධිරයෙන් අනුන්ගේ ජීවිත සුවපත් කිරීමේ පිවිතුරු චේතනාවෙන් යුතුව සිය කැමැත්තෙන්ම ලේ පරිත්‍යාග කිරීමේ යෙදෙන ස්‌වෙච්ඡා රුධිර දායකයන්ගේ අගය සමාජයට නැවත සිහිපත් කිරීම ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනයේ මූලික අරමුණ වේ.

ලේ දන්දීමේ වැදගත්කම

ජාති, ආගම්, කුල, දේශපාලන ආදී භේදවලින් තොරව ජනතාව තුළ මානව දයාව හා සමානාත්මතාවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අවස්‌ථාවක්‌ ලෙස ලේ දන්දීමේ සත්ක්‍රියාව හැඳින්විය හැකිය. අද ලොව නවීන විද්‍යාවෙන් හා තාක්‌ෂණයෙන් කොතෙක්‌ දියුණු වුවත් කෘතිමව එක ලේ බින්දුවක්‌වත් නිදපවීමට නොහැකිය. එම නිසා අසාධ්‍ය රෝගියකු බේරා ගැනීමට දන් දෙන ලේ බින්දුවක වටිනාකම මිල කළ නොහැකිය. එසේම අසාධ්‍ය රෝගියකුට හා ඔහුගේ ඥති පිරිසට ලේ දන් දුන් පින්වත් පුද්ගලයා පෙනෙනුයේ තම ජීවිතය බේරාගත් මෙලොව සිටින උතුම් දෙවියකු ලෙසය.

අප රටේ කෝටි දෙකකට ආසන්න ජනතාවගේ, රෝගීවූ විට රුධිර අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ක්‍රියාකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන ලේ දන්දීමේ සේවය හා සම්බන්ධ දිවයින පුරා රෝහල්වල පිහිටි ලේ බැංකු මගිනි. මේ අනුව ලේ බැංකු මගින් වසරකට ලක්‌ෂ දෙකකට ආසන්න ලේ පැකට්‌ ප්‍රමාණයක්‌ රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගනී. ලේ පැකට්‌ එකක පයින්ට්‌ එකක්‌ හෙවත් මි.ලී. 450 ක ප්‍රමාණයක්‌ ඇත.

ජාතික ලේ දන්දීමේ සේවය

අප රටේ ලේ දන්දීමේ සේවය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය කෙරේ. මෙහි මූලස්‌ථානය කොළඹ 5 ඇල්විටිගල මාවතේ නාරාහේන්පිට අංක 555/5 දරණ ස්‌ථානයේ පිහිටා ඇත. ලේ දන්දීමේදී එකතුවන රුධිර පැකට්‌ ගබඩා කිරීම, රසායනාගාර පරීක්‌ෂණ සඳහා අති නවීන තාක්‌ෂණික උපකරණවලින් මෙම මූලස්‌ථානය සමන්විතය.

මීට අමතරව මෙම ලේ දන්දීමේ සේවයේ මූලස්‌ථානය හා සම්බන්ධ රෝහල්වල අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ලේ සැපයීම සඳහා දිවයිනේ ප්‍රධාන හා ප්‍රාදේශීය රෝහල් 75 ක ලේ බැංකු පිහිටා ඇත. මෙම රෝහල්වලට අමතරව කඹුරුගමුව වැනි ස්‌ථානවල ප්‍රාදේශීය ලේ දන්දීමේ මධ්‍යස්‌ථාන පිහිටා ඇත.

ලේ බැංකුවල කාර්යභාරය

රෝහල්වල පිහිටි ලේ බැංකු මගින් එම රෝහලේ රෝගීන්ට අවශ්‍ය ලේ ලබාදෙනු ලැබේ. මේ සඳහා ලේ අවශ්‍ය රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමට එන ජනතාවගේ ලේ ලබාගැනීම සිදුකෙරේ. ඊට අමතරව විවිධ සංවිධානවලින් බාහිරව පවත්වන ජංගම ලේ දන්දීමේ වැඩසටහන්වලට ගොස්‌ ලේ ලබාගැනීම සිදුකෙරේ. මීට අමතරව ඕනෑම අයකුට ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකිය.

මෙහි වෛද්‍යවරුන්ගෙන්, හෙද කාර්ය මණ්‌ඩලයකින්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන්ගෙන්, මහජන සෞඛය කාර්ය මණ්‌ඩලයකින්, කනිටු සේවක මණ්‌ඩලයකගෙන් සමන්විත වේ.

රුධිර ගණ

ලේ දන්දෙන (රුධිර දායකයාගේ) අයගේ ලේ ද, ලේ අවශ්‍ය රෝගියාගේ රුධිරයද ලේ බැංකුව තුළදී පරීක්‌ෂාකර රුධිර ගණ හඳුනා ගැනීමක්‌ සිදුකෙරේ. බාහිර වෛද්‍ය රසායනාගාරවලදී ද රුධිරය පරීක්‌ෂා කිරීමෙන් යම් කෙනකුගේ රුධිර ගණය (ලේ වර්ගය) දැනගත හැකිය. ඕනෑම පුද්ගලයකුගේ රුධිර ගණය කලින් දැනගෙන සිටීම වැදගත් වේ. කිසිවිට රුධිර ගණ නොදැන රෝගියකුට ලේ ලබාදීමට නොහැකිය. මෙහිදී රුධිර ගණ පරීක්‌ෂා කිරීමට විශේෂ ප්‍රොaටීන රසායනික දියරයක්‌ භාවිත කර සිදුවන ලේ කැටි ගැසීම මගින් රුධිර ගණ හඳුනා ගැනීමක්‌ සිදුකෙරේ.

රුධිර ගණ A,B,AB සහ O යනුවෙන් ධන (+) වර්ගයේ රුධිරය ලෙසද, A,B,AB සහ O යනුවෙන් සෘණ (-) වර්ගයේ රුධිරය ලෙසද රුධිර ගණ අටකට බෙදනු ලැබේ. මෙහිදී සමහර රුධිර ගණ ජනතාව අතර අඩුය. අඩු රුධිර ගණ ඇති රුධිර දායකයන්ගේ වැඩි වටිනාකමක්‌ ඇත. Rh සාධකය ඇත (+) Rh සාධකය නැත (-) ලෙස මෙහිදී වර්ග කිරීම පසුකාලයේදී සිදුවිය. 

සර්ව දායකයා

O රුධිර ගණය ඇති පුද්ගලයාට ඕනෑම රෝගියකුට ලේ දීමට හැකියාව ඇත. එවැනි අයකු සර්ව දායකයකු ලෙස හැඳින්වේ.

සර්ව ප්‍රතිග්‍රාහකයා

AB රුධිර ගණය ඇති පුද්ගලයකු රෝගී වූ විට, ඕනෑම පුද්ගලයකුගේ රුධිරය ලබාගත හැකිය. එවැනි අයකු සර්ව ප්‍රතිග්‍රාහකයකු ලෙස හැඳින්වේ.

නමුත් වර්තමානයේ ලේ බැංකු මගින් රෝගීන්ට රුධිරය ලබාදීමේදී රෝගීන්ගේ රුධිර ගණ වර්ගයටම අයත් රුධිරය ලබාදීමට ක්‍රියාකරන්නේ අතුරු ආබාධ වැළැක්‌වීම සඳහාය.

කෙනකුගේ දේහයේ බරෙන් 8% ක්‌ රුධිරය ඇත. ඒ අනුව ක්‍රි.ග්‍රෑ. 70 ක්‌ බර අයකුගේ රුධිරය ලීටර් 5.6 ක්‌ පමණ තිබේ. ඉන් 55% ක්‌ දියර කොටස්‌ වූ ප්ලාස්‌මාව ඇත. ලේ දන්දුන් විට නැවත නැවත රුධිරය ශරීරය තුළ වැඩේ. එම නිසා මාස හතරකට වරක්‌ ලේ දන්දීමෙන් කෙනකුගේ නිරෝගිකමට බාධාවක්‌ නොවේ. ශරීරය තුළ රුධිර සෛලයක්‌ ඇති පොදු කාල සීමාව දින 120 කි.

එක ලේ පැකැට්‌ටුවකින් රෝගීන් කිහිප දෙනකු සුවපත් කළ හැකිය.

රුධිර දායකයකුගෙන් ලබාගන්නා එක ලේ පැකැට්‌ටුවක්‌ (මිලි ලී. 450) ලේ බැංකුව තුළද උපකරණ මගින් 22 C උෂ්ණත්වයේදී කේන්ද්‍රපසාරී බලයට ලක්‌කිරීමෙන් රුධිරයේ ඇති සංඝටක කොටස්‌වලට වෙන්කරනු ලැබේ. මේ අනුව පට්‌ටිකා, රතු සෛල, සුදු සෛල, ප්ලාස්‌මාව යනුවෙන් කොටස්‌ හතරකට බෙදා වෙන්කර පැකට්‌වල අසුරා ඇත. ශීතකරණවල සුදුසු උෂ්ණත්වවල තබනු ලැබේ. මෙම රුධිර සංඝටක විවිධ රෝග/රෝගීන් සඳහා භාවිත කෙරේ.

ලේ දන්දෙන්නකු තුළ තිබිය යුතු සුදුසුකම්

1. ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම අයකුට ලේ දන්දීම සිදුකළ හැකිය. ගර්භනී මාතාවන්ට සුදුසු නැත. 
2. බර කි.ග්‍රෑ. 50 වැඩි විය යුතුය.
3. වයස අවු. 18-55 අතර විය යුතුය. (ලේ දන්දීමට පුරුදු නිරෝගී අයෙක්‌ නම් වයස අවු. 60 දක්‌වා සැලකේ.)
4. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය 12 9/dස ට වැඩි විය යුතුය. (රුධිරය ගැනීමට පෙර පරීක්‌ෂා කරනු ලැබේ.)
5. මාස හතරක්‌ ඇතුළත ලේ දන්දී නොතිබිය යුතුය. (ස්‌ත්‍රියක්‌ නම් මාස 6 ක්‌ ඇතුළත)
6. නිරාහාරව නොසිටිය යුතුය.
7. පැය අටක අවම නින්දක්‌ ලබා තිබිය යුතුය.
8. සෙංගමාලය, සමාජ රෝග, වලිප්පුව, මීමැස්‌මොරය, මැලේරියාව, මානසික රෝග, දියවැඩියාව, රුධිර පීඩනය, දද කුෂ්ඨ, හොඳ නොවන තුවාල නොතිබිය යුතුය.
9. ලේ දන්දෙන දින වාහන පදවා හෝ ඇවිද අධික මහන්සි වී ඇත්නම් නුසුදුසුය.
10. පැය 24 ක්‌ ඇතුළත මත්පැන් පානය කර නොසිටිය යුතුය.
11. වසරක්‌ තුළ විදෙස්‌ගතවී සිටියා නම් සුදුසු නැත.
12. රෝගී අවස්‌ථාවක තමා රුධිරය ලබාගෙන ඇත්නම් වසරක්‌ යන තුරු ලේ පරිත්‍යාග නොකළ යුතුය.

ලේ දන්දීමේ ජංගම වැටසටහනක්‌ පැවැත්වීමේදී සැලකිය යුතු කරුණු

1. ලේ දන්දීමේ වැඩසටහනක්‌ පැවැත්වීමට දිනයක්‌ ලේ බැංකුවට පැමිණ වෙන්කර ගැනීම. ලිඛිතව දැනුම්දීම කළ යුතුයි.
2. දිනය වෙන්කර ගත් පසු සංවිධාන සමග සාකච්ඡා කර කටයුතු සූදානම් කිරීම.
3. ලේ බැංකුවට පැමිණ දැන්වීම් පත්‍රිකා පෝස්‌ටර් ලබා ගැනීම.
4. ලේ දන්දෙන ස්‌ථානයේ පිරිසිදු වාතාශ්‍රය, ගොඩනැඟිලි ඉඩකඩ, වැසිකිලි හා කැසිකිලි පහසුකම් ආදිය තිබිය යුතුය.
5. තෝරාගත් ස්‌ථානයට ගමන් පහසුව තිබිය යුතුය. ලේ දන්දීමේ රථය පැමිණීමට පහසුකම් තිබිය යුතුය.
6. ලේ දන්දීමට පැමිණෙන අයගේ ගමන් පහසුව ගැනද සැලකිලිමත් විය යුතුය. උස්‌ ස්‌ථානයක්‌ දුර පයින් ගමනක්‌ ඇති ස්‌ථානයක්‌ නොවිය යුතුය.
7. ලේ දන්දීමේ කාර්ය මණ්‌ඩලයට උපකරණ රැගෙන යැමට සහාය විය යුතුය. 
8. ලේ දන්දීමට පැමිණෙන අයට හා කාර්ය මණ්‌ඩලයට සංග්‍රහ කරන වැඩපිළිවෙලක්‌ තිබිය යුතුය.
9. ලේ දන්දීමේ වැඩසටහනකදී අවම වශයෙන් 50 දෙනකුවත් ලේ ලබාදිය යුතුය. නැතහොත් වෛද්‍යවරු, කාර්ය මණ්‌ඩලය, ගමන් විදයම් ගැන සලකන විට අඩු ප්‍රමාණයක්‌ ලේ දන්දීම පාඩුවකි.
10. ඝෝෂාකාරී, ජනගහනය වැඩි, තදබද ස්‌ථානවලින් තොර නිදහස්‌ ස්‌ථානයක ලේ දන්දීම කළ යුතුය
11. ලේ දන්දීමේ වැඩසටහන් අඩු මාසයක දිනයක්‌ ලබාගැනීම වැදගත් වේ.

පුද්ගලික රෝහල්

පුද්ගලික රෝහල්වල අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ලේ සපයනු ලබන්නේ රජයේ රෝහල්වල ලේ බැංකුවලිනි. මෙහිදී සැසඳුම් පරීක්‌ෂණ සඳහා රු. 600 ක මුදලක්‌ එය සිදුකරන වෛද්‍යවරයා පුද්ගලිකව ලබාගනී. නමුත් සමහර පුද්ගලික රෝහල් මේ බව නොදන්වා රෝගියකුගෙන් ලේ පැකැට්‌ටුවක්‌ සඳහා රු. 1000 ක පමණ මුදලක්‌ද, දුර්ලභ ගණයේ රුධිරය වේ නම් ඊට වඩා වැඩි මුදලක්‌ද අය කරන බව දැන ගැනීමට ලැබී ඇත. මෙය අසාධාරණ ක්‍රියාවකි. 

ගාල්ල අතිරේක - යූ.පී. කුලතිලක
http://www.divaina.com/2014/06/14/feature03.html

Pic Source

0 comments: