Pages

Wednesday, June 4, 2014

විධායක බලතල සීමාවන රාමුවක්‌ ගැන කතා කෙරෙන අතුරලියේ රතන හිමිගේ "රට ගත යුතු මඟ" එළිදැක්‌වේ

විධායක ජනාධිපති බලතල සීමාවන ව්‍යවස්‌ථා රාමුවක්‌ සහිත පාර්ලිමේන්තු සංයුතියක්‌ ඇතිකර මනාප ක්‍රමය අහෝසි කර වංචා හා දූෂණ අවම කරන ව්‍යවස්‌ථා රාමුවක්‌ සකසන "රට ගත යුතු මඟ" මැයෙන් යෝජනාවලියක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (03 වැනිදා) කොළඹ දී එළිදැක්‌වූහ. 

තුනෙන් දෙකක බලතල සහිත ආණ්‌ඩුවක්‌ ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදීම මෙම යෝජනාවලියේ වැඩි හරියක්‌ ඉටුකර ගතයුතු බවද උන්වහන්සේ එහිදී පැවසූහ.

"පිවිතුරු හෙටක්‌" ජාතික සංවිධානය මෙය සංවිධානය කර තිබූ අතර ආචාර්ය ඕමල්පේ සෝභිත, කොටපොළ අමරකිත්ති, මහමංකඩවල පියරතන, කිරම විමලජෝති යන හිමිවරුන්ද, විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, හර්ෂ ද සිල්වා, රංගෙ බණ්‌ඩාර යන විපක්‍ෂයේ මන්ත්‍රීවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග සහ ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු විද්වතුන් හා විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටි අතර එහිදි "රට ගතයුතු මඟ" යෝජනාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ආරාධිතයන්ට පිළිගැන්වීම සිදු කළහ. එම යෝජනාවලියේ මෙම කාරණාද අඩංගු වී තිබිණි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබාදීම, තිරසාර ගොවිතැන සඳහා ඉඩම් හා සෙසු පහසුකම් ලබාදීම, ආගමික සහජීවනය සහ ආගමික නායකයන්ගෙන් සමන්විත මණ්‌ඩලයක්‌ පිහිටුවීම, ඖෂධ රට තුළ නිපදවීම සඳහා වැඩපිළිවෙලක්‌ සැකසීම, ජාතික විශ්වවිද්‍යාල පුළුල්කර ප්‍රවේශ සිසුන් සඳහා ණය පහසුකම් සැලසීම, දේශීය බලශක්‌ති ප්‍රභවයන්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් බලශක්‌ති ක්‌ෂේත්‍රය නඟා සිටුවීම, විධිමත් ප්‍රවාහන පද්ධතියක්‌ සැකසීම ආදියයි.

ශිරාන් රණසිංහ
http://www.divaina.com/2014/06/04/news27.html

0 comments: