Pages

Monday, June 9, 2014

පැහැරගත් දරුවන් යළි දියව්! ශෂිදරන්ට හා ටී.එන්.ඒ. එකට මුලතිව්හිදී දෙමළ ජනයාගේ විරෝධය

මුලතිව් නගරයට රැස්‌ වූ සාමාන්‍ය දෙමළ වැසියන් පිරිසක්‌ එල්ටීටීඊ ප්‍රධානියකු වන එළිලන්ගේ බිරිඳ ආනන්දි ශෂිදරන්ට සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසකට පහරදීමට ගත් උත්සාහයක්‌ හේතුවෙන් ඊයේ (6 වැනිදා) දහවල් මුලිතිව් නගරය එකම යුද පිටියක්‌ බවට පත්ව තිබිණි. 

අවසන් යුද සමයේ තමන්ගේ දරුවන් පැහැරගෙන යනු ලැබුවේ කොටි ප්‍රධානී එළිලන් බවත් අද දවසේ දෙමළ ජාතික සන්ධානය මෙන්ම එළිලන්ගේ බිරිඳ ආනන්දි ශෂිදරන් එල්ටීටීඊයට යළි පණ දීමට සැරසෙන බවත් පවසමින් ප්‍රකෝපකාරි වූ පිරිස්‌ මෙසේ ඔවුන්ට පහර දීමට උත්සාහ ගත්හ.

කොටි නායක එළිලන් අතුරුදන් කළේ යෑයි පවසමින් ඔහුගේ බිරිඳ ආනන්දි ශෂිදරන් යුද හමුදාවට හා රජයට එරෙහිව පවරා තිබූ නඩුවක්‌ ඊයේ (6 දා) මුලතිව් අධිකරණයේදී විභාගයට ගැනිණි.

ඊට සහභාගි වීම සඳහා එළිලන්ගේ බිරිඳ අධිකරණයට පැමිණ සිට අතර ඒ අවස්‌ථාවේ පුද්ගලයන් විසිපස්‌දෙනකු පමණ රැගෙන මුලතිව් ප්‍රාදේශීය ලෙක්‌ම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු කණ්‌ඩායමක්‌ එළිලන්ගේ බිරිඳට සහයෝගය දක්‌වමින් එල්ටීටීයට පක්‍ෂපාතී උද්ඝෝෂයක්‌ ආරම්භ කළහ. 

ඒ සමගම ඉකුත් යුද සමයේ එළිලන් ඇතුළු කොටි ත්‍රස්‌තවාදීන් විසින් පැහැරගෙන යන ලද දරුවන්ගේ සහ තරුණයන්ගේ ඡායාරූප සහිත බැනර් ඔසවාගෙන එහි රැස්‌වූ තුන්සියයක පමණ සාමාන්‍ය දෙමළ වැසියන් පිරිසක්‌ එල්ටීටීඊයට එරෙහි විරෝධතාවක නිරත වන අතරේ මෙසේ එළිලන්ගේ බිරිඳට සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ට පහර දීමට උත්සාහ ගත්හ.

මේ අවස්‌ථාවේ දෙමළ ජාතික සන්ධානයේ ශිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගඡේන්ද්‍රන්, සහ තුරේරාසා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමග ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද එහි සිටිනු දක්‌නට ලැබිණි.

පිරිස ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගැනීමත් සමග පොලිසිය මැදිහත් වී මහත් පරිශ්‍රමයක්‌ දරා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තේය. එහිදී ප්‍රකෝපකාරී වූ දෙමළ වැසියන් තමන්ගෙන් පැහැරගත් දරුවන් යළි දියව් යෑයි හඬගා කියමින් ආනන්දි ශෂිදරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන්ට පරුෂ වචනයෙන් බැණ වදිනි අයුරුද දක්‌නට ලැබිණි.

සමන් ගමගේ
http://www.divaina.com/2014/06/06/news30.html

Pic Source

0 comments: