Pages

Thursday, April 10, 2014

පුරාවිද්‍යා පරීක්‍ෂණවලදී බෞද්ධ නටබුන් රැසක්‌ හමුවුණා. දෙමළ උරුම සංකල්පය උතුරු නැගෙනහිර ප්‍රදේශවලට තවදුරටත් වලංගු වන්නේ නැහැ - ජගත් බාලසූරිය

පුරාවිද්‍යා පරීක්‍ෂණවලදී උතුරු නැඟෙනහිර බෞද්ධ නටබුන් අති විශාල ප්‍රමාණයක්‌ සොයා ගෙන ඇති හෙයින් තවදුරටත් දෙමළ උරුම සංකල්පය එම ප්‍රදේශවලට වලංගු නොවන බව ජාතික උරුමය පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා සඳහන් කළේය. 

උරුම සංකල්පය තවදුරටත් තර්කයක්‌ ලෙස ගෙන ආ නොහැකි යෑයි කී හෙතෙම තමා ඒ බව සඳහන් කරනුයේ ජාතිවාදී අදහසකින් නොවන බවත් හෙතෙම කියා සිටියේය. 

ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා එම අදහස්‌ පළ කළේ කොළඹ 07, ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඉකුත් 08 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජගත් බාලසූරිය මහතා මෙසේද කීවේය. 

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි කළ කැණීම්, පරීක්‍ෂණවලදී එහි බෞද්ධ නටබුන් විශාල ප්‍රමාණයක්‌ හමුවුණා. එම ප්‍රදේශවල ඉතිහාසය ඒ තුළින් මනාව පැහැදිලි වෙනවා. එම ප්‍රදේශවල අනෙකුත් ආගම්වල නටබුන් නැතුවා නොවේ. නමුත් ඒ සැමට වඩා බෞද්ධ නටබුන් එහි මතුව තිබෙනවා. 

කයිමන් දොරටුවේ ඇති ඕලන්ද ඝාණ්‌ඨාරය කෝට්‌ටේ සාන්ත තෝමස්‌ දේවස්‌ථානය වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක්‌ ලැබ තිබෙනවා. මෙම ඝණ්‌ඨාරය ගැන නොයෙක්‌ අදහස්‌ තිබෙනවා. එක්‌ සඳහනක පාදෙණිය විහාරස්‌ථානයේ තිබූ ඝණ්‌ඨාරයක්‌ ලෙසත්, තවත් සඳහනක පල්ලියේ තිබූ ඝණ්‌ඨාරයක්‌ ලෙසත් සටහන්ව තිබෙනවා. 

කෝට්‌ටේ සාන්ත තෝමස්‌ පල්ලිය ස්‌ථාපිත කර ඇත්තේ වර්ෂ 1855 දී. නමුත් මෙම ඝණ්‌ඨාරයේ ඇති ඇන්ඩෲ නිකලොස්‌ චිත්‍ර ශිල්පියා සිතුවම් කළ සිතුවමක කාලය සඳහන් වන්නේ වර්ෂ 1946 ලෙසයි. ඇත්තටම මෙම ඝණ්‌ඨාරය ඉතිහාසය පිළිබඳව දෙපාර්තමේන්තුව උභතෝකෝටියට මුහුණ දී තිබෙනවා. සත්‍ය තහවුරු කර ගැනීමට දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්‍ෂණ කරමින් සිටිනවා. 

මෙම අවස්‌ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාද එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර 
http://www.divaina.com/2014/04/10/news44.html

Pic sources & related info
A giant stone lost in the Wilpattu rubble

0 comments: