Pages

Wednesday, April 30, 2014

වටරැක විජිත - සභාපති, මුස්ලිම් සමගි පෙරමුණ, ඒ.එච්.එම්. අෂ්රොෆ් වරාය ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරි

වටරැක විජිත හිමි මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට තුඩුදී සිටින භික්ෂුවකි. විජිත හාමුදුරුවන් ගැන රට්ටු කතා කරන්නට පටන් ගත්තේ බොදු බලසේනා සංවිධානය උන්වහන්සේ පසුපස පැන්නීමට පටන් ගැනීමත් සමගය. ඒ සිද්ධීන්වල උච්චතම අවස්ථාව වන්නේ ගිය සතියේ බොදුබල සේනාව වටරැක විජිත හිමියන් සොයමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට ඇතුළු වීමය. ඒ රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ රැකවරණය මැද විජිත හිමියන් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මතය.

බොදු බලසේනාව සොයන කවුද මේ වටරැක විජිත හිමි?

උන්වහන්සේ මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රී ධුරයට පත්වූ විජිත හාමුදුරුවන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

වටරැක විජිත හිමියන් මහියංගනයට වැඩම කොට ඇත්තේ 1994දීය. උන්වහන්සේ වැඩ සිටියේ ගිරාඳුරුකෝට්ටේ රොටලවෙල විහාරස්ථානයේය. විජිත හිමියන් මහියංගනයට වැඩම කිරීමට පෙර වැඩවාසය කළේ කුමන ප්‍රදේශයක කවර පන්සලකදැයි හරිහැටි දන්නා කෙනෙකුද නැත.

කෙසේ නමුදු උන්වහන්සේ එවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වූ වරාය ඇමැතිවරයෙකු වූ ඒ.එච්.එම්. අෂ්රොෆ් සමග ඉතා ළඟින් ඇසුරු කරමින් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවද පැවසේ. මුස්ලිම් සමගි පෙරමුණ නමින් පිහිටුවා ගෙන තිබූ සංවිධානයක සභාපතිවරයා ලෙසද විජිත හිමියන් පත්වී සිටි බවක් ගංගොඩවිල සෝම හිමියෝද එකල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. වටරැක විජිත හිමි මුල්වරට ක්‍රියාකාරී දේශපාලනයට ආවේ මහියංගනය ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා බාල්දිය ලකුණින් තරග කරමිනි. එහිදී උන්වහන්සේ පරාජයට පත්වූහ. කෙසේ නමුදු ඉන්පසුව පැමිණි පළාත් පාලන ඡන්දයේදී උන්වහන්සේ ‍පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වී මැතිවරණයට ඉදිරිපත්ව මහියංගන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ.

අද වන විටත් වටරැක විජිත හිමියන් මහියංගන ප්‍රාදේශීය සභාවේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි.උන්වහන්සේට ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේගෙන් චෝදනා එල්ල වූයේ මීට මාස කිහිපයකට පෙරදීය. මහියංගන නගර මධ්‍යයේ වෙළෙඳ සැලක ඉහළ මාලයේ පවත්වාගෙන යමින් තිබූ අන්‍යාගමික යාච්ඤා මධ්‍යස්ථානයක් යැයි පැවසුණු ස්ථානයක් සම්බන්ධව පැන නැඟුනු ගැටලුවකදී විජිත හිමියන්ගේ හැසිරීම බුද්ධ චීවරයට නොගැළපෙන බවටත්, රාමසාන් උත්සවයකදී උන්වහන්සේ කථිකයෙකු ලෙස ඉදිරිපත්වී අන්‍යාගමිකයන් ඉදිරියේදී බෞද්ධාගම හා බෞද්ධයන් අවමානයට පත්කළ බවටද මහියංගනයේ භික්ෂූන් වහන්සේලා විජිත හිමියන්ට චෝදනා නැගූහ.

මේ සිද්ධියෙන් පසු 2013 අගෝස්තු 12 වැනි දින මහියංගනය රාජමහා විහාර ධර්ම ශාලාවට එක්රැස්වූ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, මෙහෙණින් වහන්සේ හා ගිහි පිරිස් එකතු වී විජිත හිමියන්ගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එසේම විජිත හිමියන් සංඝ සම්මේලනවලින් ඉවත් කර, බ්‍රහ්ම දණ්ඩනයටද යටත් කිරීමට තීන්දු ගෙන තිබිණි. බ්‍රහ්ම දණ්ඩනය යනුවෙන් හැඳින්වෙන්නේ උන්වහන්සේ ශාසනය තුළ කොන් කිරීමය. මේ චෝදනා පිළිබඳව පසුව කරන ලද විමසුමකදී විජිත හිමියන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර විජිත හාමුදුරුවන් මහියංගන ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ලෙස සේවයේ යෙදී සිටින බැවින් ඔහුව මෙම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙසත්, එසේ ඉවත් කරන තෙක් ප්‍රදේශයේ සියලුම දහම් පාසල් පැවැත්වීම නවතා දමන බවටත් විහාරාධිපතිවරු අනතුරු හැඟවූහ. මේ සිදුවීම් පෙළෙන් පසු ප්‍රාදේශීය සභා රැස්වීම් සඳහා සහභාගි වීමටද විජිත හිමියන්ට සිදුවූයේ ජනතා විරෝධතා මැද ‍පොලීසියේද ආරක්ෂාව මධ්‍යයේය. රොටලවෙල ගම්මානයේ ජන හමුවකට සහභාගි වූ අමාත්‍ය ඩිලාන් පෙරේරාට පහර දීමට විජිත හිමියන්් උත්සාහ දැරූ බවටද චෝදනා එල්ල විය. මේ අතර විජිත හිමියන් ගමන් කළ වාහනය පසුපස පන්නාගෙන ගිය පිරිසක් කඩුගන්නාවේදී උන්වහන්සේට පහර දීම හේතුවෙන් උන්වහන්සේ රෝහල් ගතව ප්‍රතිකාරද ලැබූහ. එහිදී චෝදනාව එල්ල වූයේ ද බොදු බලසේනාවටය.

දෙසතියකට ඉහතදී වටරැක විජිත හාමුදුරුවන් මුස්ලිම් ජාතිකයන් කීපදෙනෙකුද සමග කොළඹ නි‍පෝන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැරසුණි. ඒ ජාතික බලසේනා නමින් සංවිධානයක් පිහිටුවා ගෙනය. විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාට බොදු බලසේනාව එල්ල කළ චෝදනාවලට එරෙහිව වටරැක විජිත හිමියන් කරුණු දැක්වීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට තිබූ බව පැවසුණි.එම අවස්ථාවේ දී බොදු බළ සේනාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් නි‍පෝන් හෝටලයට පැමිණ විජිත හිමියන්ට තර්ජනය කිරීම හේතුවෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඇනහිටිනි. මේ පිළිබඳව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගැනුණි.

අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් විසි දෙවැනිදාය. එදින මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට වටරැක විජිත හිමියන් පැමිණෙමින් සිටියදී ප්‍රදේශවාසි භික්ෂුහු හා ගිහි පිරිසක් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් උන්වහන්සේ සභාවට පැමිණියේ දැඩි ‍පොලිස් රැකවල් මැදය. එහිදී එළියේ හුන් භික්ෂුන් වහන්සේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි. ‍පොලීසියෙන් ඊට ඉඩ නොලැබුණු බැවින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ප්‍රාදේශීය සභා රැස්වීම අවසන් වූ පසුවද විජිත හිමියන් යළිදු පන්සලට වැඩම කළේ ‍පොලිස් ජීප් රියක නැගීය. මේ සිද්ධියෙන් පසු වටරැක විජිත හිමියන් ආගිය අතක් නැති විය. සිය ජීවිතාරක්ෂාව පතා උන්වහන්සේ සැඟවී සිටින බව පැවසුණේ මෙම පසුබිම තුළය.

මේ අතර පසුදින 23 දින භික්ෂුන් වහන්සේ පිරිසක් කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ අමාත්‍යංශය වැටලුවේ විජිත හිමියන් එහි රැකවරණ ලබන බව පවසමිනි. එහිදී භික්ෂුන් වහන්සේ අමාත්‍යංශයේ කාමරයක් කාමරයක් ගානේ පරීක්ෂා කළේ විජිත හිමියන් සිටිදැයි බැලීමටය. අවසානයේ දී උන්වහන්සේලා ඇමැතිවරයාගේ කාමරයද පරීක්ෂා කිරීමට උත්සාහ කළද ඊට ඉඩ නොලැබුණි. තවද අමාත්‍යංශයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේ ඉල්ලූහ.

වටරැක විජිත හිමියන් තම අමාත්‍යංශයේ නැති බව ඇමැතිවරයා ‍පොලිස් නිලධාරීන් මගින් භික්ෂුන් වහන්සේට දැනුම් දීමෙන් පසු උන්වහන්සේ පිටව ගියහ. නමුත් බොදු බල සේනා භික්ෂුන් කීවේ විජිත හිමියන් ඇමැතිවරයාගේ කාමරයේ සැඟවී සිටින බවය.

ගිරාඳුරුකෝට්ටේ ගුණරත්න, ලක්බිම
http://lankacnews.com/sinhala/main-news/114738/

Pic Source

0 comments: