Pages

Wednesday, April 16, 2014

ලෙස්‌ටර්ගේ සිහිනය 'සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව' සැබෑ වූ එදා

සිනමාවෙන් මට උරුම වූ දේ සංරක්‌ෂණාගාරයට භාර දෙනවා
-මාලිනී ෆොන්සේකා 

අපේ සිනමාවේ අද සිටින මවුපිය දෙදෙනා පසුගිය සෙනසුරාදා ජාතික මතක මැඳුරට පැමිණියහ. මතක මැඳුර .... ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවය. මාපිය යුවළ ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ සහ සුමිත්‍රා පීරිස්‌ ය.

මේ දෙදෙනා ඉතා හරසරින් ලේඛනාරක්‍ෂක ගොඩනැඟිල්ලට පිළිගනු ලැබුවේ ඓතිහාසික කටයුත්තක සමාරම්භක උළෙල සඳහාය.

සිංහල චිත්‍රපට සුරැකිව තබා ගැනීම සඳහා සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහා සිනමාකරුවා විසින් අවධාරණය කළේ අද ඊයේ සිට නොවේ. ඒ ඉල්ලීම වසර හැට ගණනක ඈතට දිවයන්නකි. එහෙත් එය මල්පල ගැන් වුණේ පසුගිය සෙනසුරාදාය. ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ එක්‌ දිගුවක ජාතික චිත්‍රපට රූපවාහිනි ශබ්දපට අධිලේඛනාගාරය විවෘත කිරීමෙනි.

සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා පාර්ලිමේන්තු- මන්ත්‍රීවරිය විසින් ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සංරක්‍ෂණාගාරය අපේ සිනමාවට ලැබිණි. ඒ ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ලෝක පූජිත අපේ සිනමාකරුවා පනස්‌හත වසරේ සිට කළ ඉල්ලීමට ගරු කරමිනි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද සිනමාවට සහ කලාවට ළෙන්ගතු නායකයකු බැවින් අපේ මහා සිනමාකරුවාගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර සිටියේය. ඒ අනුව එදා සෙනසුරාදා ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌... අපේ සිනමාවේ ඉසිවරයාණන්ගේ අනූ පස්‌වැනි උපන් දිනය දා, මෙම සංරක්‍ෂණාගාරය විවෘත කරන්නට විය. ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මියගේ කැපවීම ද මේ සංරක්‍ෂණාගාරය ඉතා ඉක්‌මනින් ලබා ගැනීමට හේතුවක්‌ විය.

වසර හැට පහක සිට තමන් දුටු සිහිනය තම දෑස්‌ ඉදිරියේදීම සැබෑ වන අයුරු දැකීමට ආ ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහතා සහ සුමිත්‍රා පීරිස්‌ මහත්මිය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තු පිවිසුම අසලදී මහත් හරසරින් යුක්‌තව පිළිගනු ලැබීය. ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය සරෝජා වෙත්තසිංහ ඇතුළු පිරිස විසින් ලෙස්‌ටර්, සුමිත්‍රා යුවළ පිළිගෙන රතුපළස්‌ මතින් පොල්තෙල් පහන වෙත කැඳවාගෙන එනු ලැබීය. පොල්තෙල් පහණ දැල්වීමෙන් පසුව ඊට යාබද ශාලාවේ සංවිධානය කර තිබූ විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ ද ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහතා අතින් විවෘත කෙරිණි. ඒ ලෙස්‌ටර්ගේ අතීත සිනමාවේ තොරතුරු ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයකි.

ඕලු නෙළුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වලා නඟාලා.......

තම ප්‍රථම සිනමාපටය වූ "රේඛාවේ" එන ඒ ගීය පසුබිමින් ඇසෙද්දී, ලෙස්‌ටර් සමරු ඵලකය නිරාවරණය කරමින් සැබෑ වූ සිහිනය... සිනමා සංරක්‍ෂණාගාරය විවෘත කළේය.

ලෙස්‌ටර් - සුමිත්‍රා යුවළ ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පිහිටි උත්සව සභාව වෙත එද්දී අත්පොළසන් හඬින් ඔවුන් පිළිගනු ලැබූහ. උත්සවය මෙහෙයවූ හේම නලින් කරුණාරත්න..... 'හැපිබර්ත් ඩේ ටූ යූ'..... යෑයි උපන් දින සුබපැතුම් ඉදිරිපත් කිරීම අරඹද්දී ශාලාවේ සියල්ලෝ ඊට එක්‌ව ලෙස්‌ටර්ට සුබ පැතූහ.

ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අධීක්‍ෂණ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර්, එම අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් යන අය ද සහභාගි වී සිටි මෙම උත්සව සභාව පිළිබඳව පැමිණ සිටි ආරාධිතයන්ගේ ප්‍රසාදය හීන වන්නට පටන් ගත්තේ ජාතික චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයාගේ ආවේගශීලී කතාව නිසාය. සංරක්‍ෂණාගාරය පිහිටුවීමේ ගෞරවය තමන් වෙත ආරෝපණය කර ගැනීමේ උත්සාහයක සංස්‌ථා සභාපතිවරයා විසින් සිය කතාව ඔස්‌සේ නිරත වන බව ඇතැමෙකුට හැඟිණි. සංවිධායකයන් විසින් ඔහුගේ කතාව විනාඩි පහකට සිමා කර තිබුණ ද විනාඩි පහළොවක්‌ වැනි කාලයක්‌ කතා කළ චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයා ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහා සිනමාකරුවා පිළිබඳ කතා කරනු වෙනුවට වැඩි වාර ගණනක්‌ සිය මුවින් ප්‍රකාශ කළේ "අතිගරු මහින්ද රාජපක්‍ෂ" යන නමය. (සංස්‌ථා සභාපතිවරයා ජනාධිපතිවරයාගේ නම පනස්‌ තුන් වාරයක්‌ මැතිරූ බව උත්සවයෙන් පසුව චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ තවකෙකුට ප්‍රකාශ කළේය.)

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙම සංරක්‍ෂණාගාරයේ සියලුම ගෞරවය හිමි වන බවට කිසිදු සැකයක්‌ නැත. එහෙත් එය පුන පුනා පැවසීම කළ යුතුදරෑ.

උත්සව සභාව ඇමතූ ආචාර්ය සරෝජා වෙත්තසිංහ, ප්‍රවීණ සිනමා නිළි මාලිනී ෆොන්සේකා යන අය තමන්ට නියමිත විනාඩි පහට සීමා වී කතා කළේ ලෙස්‌ටර් සුමිත්‍රා යුවළ අපහසුතාවට පත් නොවීමට වග බලා ගනිමිනි." ජාතික ලේඛනාගාරය සුරකින සිනමාව" යන මැයෙන් ප්‍රධාන දේශනය කළ ලේඛන සුචිගත කිරීමේ නිලධාරිනිය ලෙස්‌ටර් ගැන කතා නොකර සිය මාතෘකාවට අදාළවම කතා කළා නම්, ඇගේ කතාව සාර්ථක වන්නට ඉඩ තිබිණි. එහෙත් ඈ විසින් සකස්‌ කර තිබූ දෘශ්‍යපටයේද ඇතිවූ තාක්‍ෂණික දෝෂ...... ඇගේ කතාවට බාධා කරන්නට විය.

ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ අපේ මහා සිනමාකරුවා වෙනුවෙන් ගෞරව දක්‌වන මෙම අවස්‌ථාවට සිනමා ශිල්පීන්ගේ අඩුවක්‌ දක්‌නට ලැබිණි. අයිරාංගනී සේරසිංහ ප්‍රවීණ ශිල්පිනිය, මැණික්‌ කුරුකුලසූරිය, ජානකී කුරුකුලසූරිය, ජැක්‌සන් ඇන්තනි, සංගීතා වීරරත්න, හැරෙන්නට නළු නිළියන් හෝ බෙනට්‌ රත්නායක, උදයකාන්ත වර්ණසූරිය, සමන් වීරමන් හැරෙන්නට අධ්‍යක්‍ෂවරු ද පැමිණ සිටියේ නැත. ආචාර්ය ධර්මසේන පතිරාජ..... සිනමා සංරක්‍ෂණාගාරයක්‌ පිළිබඳ අධ්‍යයනය කරන්නට ඉන්දියාවට ගියේය. ඒත් "ඔහු ද මෙම උළෙලේ නැත. ධර්මසිරි බණ්‌ඩාරනායක, ඩී. බී. නිහාල්සිංහ, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, වසන්ත ඔබේසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයන්ත චන්ද්‍රසිරි , විමුක්‌ති ජයසුන්දර, සෝමරත්න දිසානායක, ප්‍රසන්න ජයකොඩි වැනි පරම්පරා කිහිපයක සිනමාකරුවන් උළෙලේදී දුටුවේ නැත. ලෙස්‌ටර්ගේ චිත්‍රපටවල රඟපෑ අනුලා කරුණාතිලක, වසන්ති චතුරානි, ටෝනි රණසිංහ, සුවිනීතා වීරසිංහ, සනත් ගුණතිලක වැනි ප්‍රවීණයන් ද නැත. මේ අය කිහිපදෙනෙකුගෙන් අප විමසීම් කළෙමු. ඔවුන් පැවසුවේ මෙවැනි උළෙලකට තමන් ආරාධනා නොලද බවය.

සංරක්‍ෂණාගාරයක සිහිනය සැබෑ කර ගැනීමට දැඩි වෙහෙසක්‌ ගත් කිහිපදෙනකු සිය කතාවෙන් සිහිපත් කරන්නට තරම් මාලිනී ෆොන්සේකා ප්‍රවීණ නිළිය...... නිහතමානී විය. තිස්‌ස නාගොඩවිතානට තුති පුදමින් ඇය ජාතික චිත්‍රපට සංස්‌ථාවේ හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, කුමාර් අබේසිංහ යන මහත්වරුන් සිහිපත් කළාය. ධර්මසේන පතිරාජ, කේ. ඩී. මහින්දපාල යන ශිල්පීන් සිහිපත් කළාය.. "මෙවැනි සංරක්‍ෂණාගාරයක්‌ ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහා සිනමාකරුවා නමින් අරඹන්න තමන්ද සිහින දුටු බව කී ඈ සිනමාවේදී තමන් ලද සම්මාන රැසක්‌ සොරාගත් බවද ... තමන් සතු ඉතිරි සියලුම සම්මාන මෙන්ම සිනමාවේදී පරිහරණය කළ සියලුම දෑ...... මෙම සිනමා සංරක්‍ෂණාගාරයට භාර දෙන බව ද මාලිනි ප්‍රකාශ කළාය.

අජිත් අලහකෝන්, ඡායාරූප- සජිත් ජයසේකර
http://www.divaina.com/2014/04/11/cineart06.html

0 comments: