Pages

Thursday, April 17, 2014

සැණකෙළියක්‌ පමණක්‌ නොවූ හෙළ සංස්‌කෘතික මංගල්‍යය

වසරක්‌ ගෙවී වසරක්‌ ලබන නිමේෂය අලුත් අවුරුද්ද සේ අපි ප්‍රීතිමත්ව සමරමු. ස්‌වභාවධර්මයේ ක්‍රියාකාරිත්වය මත හිරු රාශියෙන් රාශියට ගොස්‌ අවසන් රාශිය වන මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අවුරුදු උදාව සේ සලකමු. එම අවුරුද්ද අලුත් අවුරුද්දක්‌ සේ සලකන පෙරදිග වැසියෝ මහත් වූ ප්‍රීතියෙන් අවුරුද්ද සමරති. සිංහලයන්ට එය සිංහල අලුත් අවුරුද්ද වන අතර, ද්‍රවිඩයන්ට එය දෙමළ අවුරුද්දයි. හින්දුන්ට හින්දු අලුත් අවුරුද්දයි. මේ අයුරින් ආසියාතිකයෝ එය තම තමන්ගේ අවුරුද්ද කර ගනිති. මේ හිරු ගමන සමඟ ස්‌වභාවධර්මය තුළ සිදුවන වෙනස අවුරුද්ද වශයෙන් වඩාත් සමීප වන්නේ ලාංකිකයන්ටයි. මන්ද මේ හිරු ගමනේ සංධිස්‌ථානය සිදුවන විට හිරු මුදුන් වන්නේ ශ්‍රී ලංකාවටයි. එමෙන්ම රාවණ පුරා වෘත්තයට යන විට සිංහලයන්ට හිරු හා ඇති සම්බන්ධතාව වඩාත් තහවුරු වෙයි. කෘෂිකාර්මික ජීවන රටාවක ජීවත්වන ලාංකිකයන්ට හිරු විශේෂයෙන් බලපායි. සශ්‍රීකත්වය සඳහා හිරු සෘජු සාධකයකි.

අවුරුද්ද මංගල්‍යයක්‌ වන්නේ අපගේ දෛනික කටයුතු සුබ වූ මුහුර්තයන්ට අනුව සිදු කිරීමයි. ලිප මෙළ වීම, ආහාර පිසීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, හිස තෙල් ගෑම, ස්‌නානය මේ සියල්ල සුබ වූ වේලාවට කරති. සියලු කටයුතු සියලු රටවැසියා එකවිට කරන විට ඒ තුළින් ගොඩ නැගෙන එකමුතුකම, සංහිඳියාව කොතෙක්‌ ද යන්න වචනවලට පෙරළිය නොහැක. වැඩිහිටියන් ට වැඳීම් පිදීම් ගරු සත්කාර දැක්‌වීම විනෝදාත්මක කෙළි සෙල්ලම් ආදියෙන් යුක්‌තව ගත කරති. ආගමානුකූලව ද මෙය අපට මංගල්‍යයක්‌ කර ගත හැකි ය.

නව අවුරුද්දක්‌ යනු තිබුණු තත්ත්වයේ වෙනසයි. වෙනස්‌ වීම යනු සාම්ප්‍රදායික බවින් මිදීමයි. මේ සාම්ප්‍රදායික බවින් මිදීමට වෙර දැරීම උසස්‌ තත්ත්වයට පත්වීමට වෙර දරන්නන්ගේ පැතුමකි. වෙනස්‌ වූවොත් උසස්‌ වෙති. සිද්ධාර්ථ කුමරු සතර පෙර නිමිති දැක මා මහලු වෙයි. මාත් ලෙඩ වෙයි. මාත් මැරෙයි යයි නොසිතී ය. ඔහු සිතන්නේ මෙම සාම්ප්‍රදායික තත්ත්වය වෙනස්‌ කරන්නටයි. ඒ නිසා අපට බුදුවරයකු හමු වෙයි. එදා අර්හත්වයට පත් වූ හැම දෙනාමත් ඒ අයුරින් වෙනස්‌ වූ අයයි. අවුරුද්ද මේ වෙනස ඇති කරන්නට ඉතා හොඳ අවස්‌ථාවයි.

ජීවිතයට වෙනසක්‌ එක්‌ කර ගන්නට කාල කළමනාකරණය ඉතා වැදගත් වේ. සුබ නැකතට සියල්ල ඇරඹීමෙන් අපට දෙන ඔවදන නම් කළ යුතු සියල්ල කළ යුතු නිසි වේලාවට කළ යුතුයි යන්න කියයි. උදාර වූ මිනිසුන් කාල කළමනාකරණයෙන් කටයුතු කර ඇත. බුදුරජාණන් වහන්සේ ද පෙර බත් කිස, පසු බත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස ආදී වශයෙන් කාල සටහනකට අනුව කටයුතු කළහ. ජීවන උදාරත්වයට පත් වන්නට කාල කළමනාකරණයකින් යුතුව කටයුතු කළ යුතුයි. නව ජීවනයක්‌, සැබෑ වෙනසක්‌ ඇති කර ගන්නට කාල කළමනාකරණය අවුරුදු උදාවෙන් ම අපට කියා පායි.

අවුරුද්ද මංගල්‍යයකි. මංගල යනු දියුණුවයි. දිවියට දියුණුවේ කරුණු ඈ¹ ගැනීම තුළින් ජීවිතයට එකතු කළ වෙනස වඩාත් උදාරත්වයට පත් කර ගත හැකි ය. අවුරුද්දේ චර්යාවන් තුළ මේ දියුණුවේ කරුණු දැකීමට හැකි වෙයි. දියුණුවේ මං පෙත් දක්‌වන කරුණු රාශියක්‌ මංගල සූත්‍රය තුළ දක්‌නට වෙයි.

බාලයන් ඇසුරු නොකිරීම, පඬිවරුන් ඇසුර, පිදිය යුත්තන් පිදීම, යහපත් පරිසරයක විසීම, සිත දමනය කරගැනීම, ශිල්ප ශාස්‌ත්‍ර දැනීම, නීතිගරුක වීම, යහපත් වචන, මවුපියන්ට සැලකීම, අඹු දරුවන්ට සැලකීම. නිරවුල් ක්‍රියාවල නිරත වීම, දීම, දහම්හි හැසිරීම, ඥතීන්ට සැලකීම, නිවැරැදි ක්‍රියාවල යෙදීම, පවින් වැළකීම, මත්පැනින් වැළකීම, ධර්මයේ නොපමා වීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම, නිහතමානී වීම, ලද දෙයින් සතුටු වීම, කළගුණ සැලකීම, දහම් ඇසීම, ඉවසීම, සුවචබව, ශ්‍රමණයන් දැකීම, දහම් සාකච්ඡා පැවැත්වීම, අටලෝ දහමෙහි කම්පා නොවීම, මේ ආදී වශයෙන් ලෞකික වූ ජීවිතය දියුණු කර ගත හැකි කරුණු රාශියක්‌ මංගල සූත්‍රයේ දැක්‌වෙයි.

අලුත් අවුරුද්දේ චර්යාධර්ම තුළ මේ කරුණු බොහෝමයක්‌ ඉටු වන බව අපට දක්‌නට ලැබෙයි. වැඩිහිටියන්ට, මවුපියන්ට, අඹු දරුවන්ට තෑගි බෝග දීම, වැඳීම් පිදීම්, ගරු සත්කාර සම්මාන දැක්‌වීම, අලුත් අවුරුද්ද තුළ දක්‌නට තිබේ. පිදිය යුත්තන් පිදීම, ගරුකළ යුත්තන්ට ගරු කිරීම, මවුපියන්ට සැලකීම, අඹු දරුවන්ට සැලකීම, ඥතීන්ට සංග්‍රහ කිරීම, ආදී වූ මංගල කරුණු මේ චර්යාවන් තුළින් ඉටුවේ. කැවිලි පෙවිලි ගෙන නෑගම් යැමෙන් දානය නම් වූ මංගල්‍යය සිදු වෙයි.

අවුරුදු සිරිත් හා කෙළි සෙල්ලම් තුළ දක්‌නට ලැබෙන්නේ එකමුතුකම, සමඟිය, සංහිඳියාව වැනි ගුණයන් ය. අවුරුදු ක්‍රීඩා තුළ නීරෝගි කයක්‌ නීරෝගී මනසක්‌ ගොඩ නගයි. ඔළිඳ කෙළි ය. පංච කෙළිය වැනි දේ තුළින් විනෝදය, සාමූහික බව මෙන්ම, මානසික නීරෝගිකම ගොඩ නගයි. ඔංචිලි පැදීම, ග්‍රීස්‌ ගසේ නැඟීම, ගමහරහා දිවීම, ගුඩු පැනීම වැනි කෙළි සෙල්ලම් තුළින් කායික ජවය ප්‍රකට කරන බැවින් කායික නීරෝගිකම ප්‍රකට කරයි. නීරෝගිකම උතුම් ලාභයකි. ආරෝග්‍යා පරමා ලාභා යනු බුදු වදනයි. එම බුදුවදන ප්‍රකට වන අයුරින් මේ කෙළි සෙල්ලම් කෙරෙයි. ඒ සමඟම, එකමුතුකම, කැපවීම, ඉවසීම, වැනි ගුණාංග රාශියක්‌ දක්‌වයි. ඉවසීම මංගල කාරණයකි. හිසතෙල් ගෑමේ චාරිත්‍රයන් ද නීරෝගිකමෙහි වටිනාකම කියයි.

අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ හිරු දෙවි පිදීමෙන් යෑයි පැරැන්නෝ විශ්වාස කරති. මෙම පිදීම තුළ ද මංගල්‍යයක්‌ වෙයි. අස්‌වනු නෙලා අටුකොටු පුරවාගෙන පළමුව කරනුයේ බුද්ධ භෝගය වශයෙන් බුද්ධ පූජා පැවැත්වීමය. ඉන් අනතුරුව, වැව්, තාවුල්ලේ, වෙල් එළියේ දේව දානය දෙයි. අනතුරුව මවුපිය, ගුරුවරු, වැඩිහිටියන්ට භෝග කොටසක්‌ දෙයි. මේ සියලු චාරිත්‍ර තුළ ඇත්තේ කතඤ්ªතා නැතහොත් කෘතවේදිත්වයයි. සිංහලයාගේ සුවිශේෂි ගුණාංගයකි කෘතවේදිත්වය. ඔහු මුළු මහත් ලෝකයට ම කෘතවේදී වෙයි. තමන්ට හොඳ අස්‌වැන්නක්‌ ලැබීමට හිරු, ජලය, මහපොළව වැනි මේ ස්‌වභාව ධර්මයේ සියලු සාධක උපකාරි වූ නිසා මේ ස්‌වභාව ධර්මයට කෘතවේදිත්වය දක්‌වයි. තමන්ට උපකාරි වූ මනුෂ්‍යයන්ට පමණක්‌ නොව සතා සිව්පාවට කෘත වේදිත්වය දක්‌වයි. ළිඳ සමඟ ගනුදෙනුව ළිප මෙළවීම, මේ ආදී සියල්ල කෘත වේදිත්වය උදෙසාම කරන චාරිත්‍ර වේ. මේ තුළින් කෘතඥව නම් වූ මංගල කරුණ වඩාත් ඔපවත් වන බව පැහැදිලිය.

බටහිර විජාතික දැනුමෙන් හිස්‌ පුරවා හිස්‌ මිනිසුන් මෙය හුදෙක්‌ විනෝදාත්මක සැණකෙළියක්‌ බවට පත් කොට ගෙන හැසිරෙන බවක්‌ දක්‌නට ලැබේ. ඔවුන් මේ අවුරුද්දේ වටිනාකම දකින්නේ හිස්‌වන මත් පැන් බෝතල් තුළිනි. එහෙත් හරවත් දේශීය චින්තනයෙන් යුක්‌ත වූවෝ අවුරුද්ද එසේ නො සමරති. මත්පැන් බී මත් නොවෙති. රණ්‌ඩු සරුවල් නොකරති. සූදුවේ නොයෙදෙති. ඒවා පිරිහෙන මිනිසුන්ගේ කටයුතු වේ.

බටහිර විජාතික චින්තනයෙන් යුතු තමන් විදග්ග යෑයි, ප්‍රබුද්ධ යෑයි සිතන නව පිරිසක්‌ අවුරුද්ද අරුත්සුන් දෙයක්‌ යෑයි පවසා මේ නැකැත්, මේ චාරිත්‍ර ප්‍රතික්‍ෂේප කරමින් කටයුතු කරති. ඔවුන් උත්සාහ කරනුයේ මේ සුන්දර සංස්‌කෘතිය විනාශ කොට සංස්‌කෘතියක්‌ නොමැති ජන කොටසක්‌ බවට අප පත්කර ලීමටයි. ඒ උදවිය මේ සඳහා බණ භාවනාව, වන්දනා ගමන් ආදිය සංවිධානය කරමින් අපගේ ජනයා මේ සංස්‌කෘතික මංගල්‍යයන්ගෙන් ඈත් කරලීමට වෙහෙසෙති. සම්මා දිට්‌ඨිය අවශ්‍ය වන්නේ මෙතැන දීය.

මෙම සංස්‌කෘතික මංගල්‍යය තුළින් අපගේ ලෞකික දියුණුව ඇති කරයි. ලෞකික දියුණුව ඇති පුද්ගලයා තම ජීවිතයට ලෝකෝත්තර දියුණුව ළඟා කර ගනියි. එහෙයින් සුදනනි, අලුත් අවුරුද්දේ හරය දැන අවුරුද්ද නිසි අයුරින් සමරමු.

සැම වෙත සුබ අලුත් අවුරුද්දක්‌ වේවා!

කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රරාම මහා විහාරාධිකාරි, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, විල්ඔය පඤඤාතිලක හිමි
http://www.divaina.com/2014/04/12/feature01.html

0 comments: