Pages

Sunday, April 20, 2014

කොටින් පෝෂණය කළ දෙස්‌ විදෙස්‌ බලවේගවලට දඬුවම් දිය හැකි විනිශ්චය සභාවක්‌ පත් කළ යුතුයි - ගම්මන්පිල

කොටි ත්‍රස්‌තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය ආරම්භයේ සිට අවසානය දක්‌වා පෝෂණය වීමට වගකිවයුතු දෙස්‌ විදෙස්‌ බලවේග හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දිය හැකි විශේෂ විනිශ්චය සභාවක්‌ රජය වහා ස්‌ථාපිත කළ යුතු යෑයි ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් ඇමැති නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම විනිශ්චය සභාව නාසි යුද අපරාධ ගැන සෙවීමට ජර්මනිය ස්‌ථාපිත කළ නියුරම්බර්ග් මාදිලියේ විනිශ්චය සභාවක්‌ විය යුතු යෑයි ද හෙතෙම කියා සිටියේය.

ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් ඇමැති නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා පසුගියදා එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

බටහිර රටවල් ත්‍රස්‌තවාදය පරාජය කළ පසු සිදුකරන්නේ ඊට සම්බන්ධ සියලු දෙනා විනාශ කිරීම, සමූල ඝාතනය කිරීම, දඬුවම් කිරීමයි. ඒ වෙනුවට අප තෝරා ගන්නේ සමාජවාදී අමතක කර දැමීමයි. ඒ අනුව අපේ ජීවිත විනාශ කළ කොටි ත්‍රස්‌තවාදීන් දොළොස්‌දහස්‌ හාරසියයක්‌ අප පුනරුත්ථාපනය කර ගෙදර යෑව්වා.

නමුත් දෙමළ බෙදුම්වාදී සංවිධාන සාමයේ මාවත තෝරාගෙන නැහැ. ඔවුන් තුවාලය පාරමින් සිටිනවා. ඒ නිසා අපට සිදුවෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර දක්‌වන්න. එසේ නොකළොත් ජාත්‍යන්තරයට යන්නේ අසමතුලිත පණිවිඩයක්‌. එම නිසා දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයට සම්බන්ධ වගකිවයුතු අය සොයා බලා දඬුවම් කිරීමට නියුරම්බර්ග් මාදිලියේ විශේෂ විනිශ්චය සභාවක්‌ ස්‌ථාපිත කරන ලෙස අප රජයට යෝජනා කර සිටිනවා.

මේ මගින් කොටින්ට උදව් උපකාර කළ සියලු දෙනා සොයා ගැනීමට හැකි වනවා. ඒ අනුව ඔවුන්ට දඬුවම් නියම කිරීමට මෙම විනිශ්චය සභාවට හැකි වනවා. ඒ අනුව දෙමළ ජාතික සංවිධානය තහනම් සංවිධානයක්‌ විය යුතුයි. ඔවුන් කොටි ත්‍රස්‌තවාදයේ දේශපාලන අංශය බව අමුතුවෙන් කිව යුතු නැහැ.

සන්නද්ධ ව්‍යාපාරයක්‌ පරාජය කළ පසු එහි දේශපාලන අංශය පරාජය නොකළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. ඒ නිසයි කොටි ත්‍රස්‌තයින්ගේ බිරින්දෑවරු අද මහජන නියෝජිතයන් වෙලා රටට එරෙහිව ක්‍රියා කරන්නේ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එම පක්‍ෂයේ ජාතික සංවිධායක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ කීවේය.

දෙමළ කොටි ත්‍රස්‌තවාදය පරාජය කළත් අප එහි අතු ඉති කපා දාන්න කටයුතු කළේ නැහැ. අප සිදුකර ඇත්තේ ගස කපා දමනවා වෙනුවට එක්‌ ප්‍රධාන අත්තක්‌ කපා දැමීම පමණයි.

අප රට ජාත්‍යන්තර වටලෑමකට අවශ්‍ය පසුබිම පිටරට සිට රුද්‍රකුමාරන්, නෙදියවන්, විනයගම්, සුරේන්ද්‍රන්, ඇඩෙලා, බාලසිංහම්, එම්මානුවෙල් පියතුමා සකසමින් සිටිනවා. ඔවුන් අප රට ජාත්‍යන්තරව හුදකලා කිරීමට උත්සාහ ගන්නවා. ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වූ පසු දෙමළ ඩයස්‌පෝරාව විශාල ලෙස සතුටු වී තිබෙනවා. ඒ අතරතුර තමයි නෙදියවන්ගේ දෙවැනියා වූ නාදගෝපාන් හෙවත් කපිලන්ව මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මෙය විශාල ජයග්‍රහණයක්‌.

අපි කොටි ත්‍රස්‌තයින් හඬාගෙන එන බවට නැවතත් රතු එළියක්‌ දල්වා තිබෙනවා. මේ වගේම රුද්‍රකුමාරන් නෙදියවන් ඇතුළු පිරිස කුදලාගෙන පැමිණිය යුතුයි. එසේම අප රටට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවට බලවත්ම පීඩනයක්‌ ඇති කළ මෙරට තිදෙනා වන ආනන්දි ශෂිධරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා සුමන්තිරන්ව අත්අඩංගුවට ගත යුතුයි. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/18/news19.html

Pic Source

0 comments: