Pages

Wednesday, April 16, 2014

අකුණු අනතුරුවලින් ගැලවෙමු

ශ්‍රී ලංකාවේ අප මුහුණ දෙන ස්‌වභාවික විපත් අතරින් අකුණුවලට ලැබෙන්නේ වැදගත් තැනක්‌. ඊට හේතුව වන්නේ වාර්ෂිකව 40 සහ 50 අතර මරණ ප්‍රමාණයක්‌ සහ සැලකිය යුතු දේපළ හානියක්‌ අකුණු අනතුරු නිසා ඇතිවීමයි. අකුණු ඇතිවීම වලක්‌වන්න බැරි වුණත් අකුණු අනතුරු වලක්‌වා ගැනීම නම් අපට බොහොම ලෙහෙසියෙන් කරන්න පුළුවන්. අකුණු අනතුරුවලට ලක්‌වීම් වැඩියෙන්ම වාර්තා වෙන්නෙ (54% පමණ) විවෘත ස්‌ථාන ආශ්‍රිතව, 23% ක පමණ උස ගස්‌ ආශ්‍රිතව, 12% ක්‌ පමණ මුහුදු වෙරළ සහ බෝට්‌ටු 7% ක්‌ පමණ ගොවිපළ ආශ්‍රිතව මෙන්ම 4% ක්‌ පමණ වෙනත් විවිධ හේතු නිසයි. විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක්‌ වන අතර එය තේරුම් ගෙන ජනතාව ඒ අනුව ක්‍රියාකිරීම අකුණු අනතුරු අවම කර ගැනීමට ඇති එකම මාර්ගයයි. මෙම ලිපිය ඒ සඳහා දරන උත්සාහයකි.

අකුණු ඇතිවෙන්නෙ කැටි වැහි වලාකුළු වලිනි. මෙම වලාකුළු ඇති වෙන්න ප්‍රධාන කරුණු තුනක්‌ පැවතීම අවශ්‍යයි.

1. වායුගෝලය උණුසුම් විය යුතුය

2. වායුගෝලය අස්‌ථායි විය යුතුය

3. වායුගෝලයේ සාපේක්‍ෂ ආර්ද්‍රතාව (වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය) වැඩි විය යුතුය.

මෙය වෙනත් ආකාරයකින් සැලකුවහොත් අකුණු ඇතිවීම සඳහා වායුගෝලයේ සංවහන ක්‍රියාවලිය, එනම් ජලය වාෂ්ප ලෙස ඉහළ යැමේ ක්‍රියාවලිය හොඳින් සිදුවිය යුතුය.

ශ්‍රී ලංකාව සැලකූවිට ඉහත අවශ්‍යතා හොඳින් සපුරාලන්නේ අන්තර් මෝසම් කාල සීමා වන මාර්තු සිට අප්‍රේල් දක්‌වා සහ ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්‌වා කාල වලයි. අපට අකුණු අවදානම බහුලව ඇති වන්නේ ඉහත කාලසීමාවලදීය. පොලවට වැඩි සූර්ය තාපයක්‌ ලැබෙන විට රත්වූ ද්‍රව සහ වායු අංශු වායුගෝලයේ ඉහළට ගමන් කරමින් සංවහන ධාරා ඇති කරයි. සංවහන ධාරා මගින් ඉහළ යන ජල වාෂ්ප ක්‍රමයෙන් සිසිල් වන අතර ඉහළ වායුගෝලයේ ඇති ද දූවිලි අංශු වැනි යම් දෙයක්‌ වටා ඝනීභවනය වෙමින් වලාකුළු සෑදීම ආරම්භ කර කැටි වැහි වලාකුළක්‌ දක්‌වා වර්ධනය වේ. අන්තර් මෝසම් කාලසීමාවල අකුණු ඇතිවෙන්න ඉඩක්‌ තිබේද කියා දැනගැනීම අනතුරු අඩු කරගන්න ඉතා වැදගත්. උදය කාලයේදී හොඳට හිරු එළිය තිබෙන උණුසුම් දවසක දහවල් වන විට සුදු ගෝවා ගෙඩි වැනි වලාකුළු (කැටි වලාකුළු) සෑදෙනවා නම් සහ අහසේ පමණක්‌ විහිදෙන විදුලි කෙටීම් ඇතිවෙනව නම් අපරභාගයේදී (සවස 2.00 ට පමණ) අකුණු වැසි ඇතිවීමේ හැකියාව තිබේ.

අකුණු අනතුරු ඇතිවීමට වැඩි හැකියාවක්‌ පවතින ප්‍රදේශ පිළිබඳව අවබෝධයක්‌ තිබීම ද අපට ඉතා වැදගත්ය. ජල වාෂ්ප සහිත රත්වූ සුළං ඉහළ යවන්න කඳුවැටි වලින් උදව්වක්‌ (ධරදටර්චයසජ eෙෙeජඑ) ලැබීම හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව කැටි වැහි වලාකුළු වර්ධනය වීම ද සාපේක්‍ෂව වැඩියි. මේ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ හෙවත් ලංකාවේ නිරිතදිග ප්‍රදේශ (බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්) වල අකුණු ඇතිවීමේ හැකියාව වැඩිය.

අකුණු මගින් සිදුවන හානිය විවිධ ආකාර වලින් සලකා බැලිය හැකි වුවද මෙහිදී පහත දැක්‌වෙන ප්‍රධාන අවස්‌ථා හතරක්‌ යටතේ ඒ පිළිබඳව සාකච්ඡා කෙරේ. ඒවා පහත දැක්‌වෙන පරිදි වේ.

1. මිනිසා ඇතුළු ජීවීන්ට

2. ශාක පද්ධතිය සහ භෝග වගාවට

3. ගොඩනැඟිලි සහ ගෘහ විද්යුත් උපාංගවලට

4. රථවාහනවලට

අකුණු ඇතිවන වෙලාවට පේනු (ප්ලග්) මගින් ගෘහ විද්යුත් පරිපථයට සම්බන්ධ කර ඇති විදුලි උපකරණ කිසිම විටක පාවිච්චි නොකළ යුතුයි. එය අනතුරකට අතවැනීමක්‌. ගෘහ විද්යුත් උපාංගවලට අකුණු මගින් විශාල වශයෙන් හානිවෙනවා. පේනු (ප්ලග්) මගින් ගෘහ විද්යුත් පරිපථයට සම්බන්ධ කරන රූපවාහිනී, හීටරය, ශීතකරණය වැනි සියලු විද්යුත් උපකරණ පේනුව මගින් ගෘහ විද්යුත් පරිපථයෙන් ගලවා (විසන්ධිකර) තැබීම තමයි ඉතාම ආරක්‍ෂිතම ක්‍රමය වන්නෙ. ඒ වගේම රූපවාහිනී ඇන්ටෙනා වයරය රූපවාහිනියට සම්බන්ධ වන තැනින් ගලවා (විසන්ධිකර) එම කෙළවර ආසන්නයේ ඇති ජනේලයක්‌ වැනි තැනකින් නිවසෙන් පිටතට සිටින සේ තබන්න. අකුණු හෝ වෙනත් හේතුවකින් ගෘහ විද්යුත් පරිපථයට එන විශාල විදුලි ධාරාවන්ගෙන් ගෘහ විද්යුත් උපකරණ ආරක්‍ෂාකර ගැනීමට සර්ජන ආරක්‍ෂණ උපකරණ ගෘහ විද්යුත් පරිපථයට සම්බන්ධ කරන්න පුළුවන්.

ගොඩනැඟිලි වල ආරක්‍ෂාව සඳහා කළ හැකි හොඳම දෙය තමයි අඩුම වශයෙන් අකුණු කාලසීමාව ආරම්භ කලවිට වත් ගෘහ විද්යුත් පරිපථයේ බිම් කම්බිය හොඳින් ක්‍රියාකරන්නේ දැයි පරීක්‍ෂා කිරීම, ඒ වගේම හැකියාව තිබේ නම් (අමතර මුදලක්‌ වැය කළ යුතු බැවින්) නියමිත ප්‍රමිතියට අකුණු සන්නායකයක්‌ සවි කර ගැනීමත් කරන්න පුළුවන්. නිවස ආසන්නයේ ඇති පොල් ගස්‌ වැනි උස ගස්‌ සහ නිවස ලෝහ කම්බි වැනි දෙයකින් සම්බන්ධ කර තිබේ නම් (රෙදි වැලක්‌ වැනි) අකුණු කාලසීමවේදී එය අනිවාර්යයෙන් ගලවා දැමිය යුතුයි. ඊට හේතුව එම ගසට වදින අකුණු පහරක්‌ මෙම කම්බිය ඔස්‌සේ පැමිණ නිවසට හානි කළ හැකි වීමයි.

අහසේ සිට එන අකුණු පහර පොළවට ළඟාවෙන්න පහසුම කෙටිම මාර්ගයක්‌ තෝරා ගන්නවා. ඒ සඳහා ප්‍රදේශයේ ඇති උසම දෙය තමයි තෝරා ගන්නේ. මේ නිසා අකුණු ඇතිවෙන වෙලාවට උස්‌ කඳු මුදුන්, ගස්‌, ගොඩනැඟිලි සහ කුලුණු වැනි ස්‌ථානවල සිටීම ඉතාමත්ම භයානකයි. ඒ වගේම පිට්‌ටනිය, මුහුදු වෙරළ, කුඹුර, විවෘත බෝට්‌ටු, ගං ඉවුර වැනි විවෘත ස්‌ථානයක ඔබ සිටගෙන සිටී නම් එම ප්‍රදේශයේ සිටින උසම දෙය ඔබ වන බැවින් අකුණු පහර කෙලින්ම ඔබට වැදීමට විශාල හැකියාවක්‌ පවතිනවා. ඊට අමතරව එළිමහන් බිමක අලවංගුව, උදැල්ල වැනි ලෝභ උපකරණ භාවිතා කිරීම අවදානම කිහිප ගුණයකින් වැඩිකර ගැනීමක්‌ වන අතර එය කිසිසේත්ම නොකළ යුතුයි. මෙවැනි අවස්‌ථාවක සුදුසු ආරක්‍ෂක ස්‌ථානයකට ඉක්‌මනින් යා යුතුයි. නමුත් ආරක්‍ෂාව පතා උස ගස්‌ යටට යැම කිසිසේත්ම නොකළ යුතු වන්නේ උස්‌ ගස්‌වලට අකුණු වැදීමේ හැකියාව වඩාත් වැඩි බැවිනි. ආරක්‍ෂිත ස්‌ථානයක්‌ නොමැති නම් කළ යුතු හොඳම දෙය ඔබගේ කන් වසාගෙන ශරීරයේ උස අඩු වන පරිදි අනතුර පහවන තුරු ඇන තබාගෙන වාඩිවී සිටීමයි.

රථවාහන කෙරෙහි අකුණු වල බලපෑම ගත්විට අකුණු ඇතිවන විට සංවෘත වාහන තමයි වඩාත්ම ආරක්‍ෂිත ස්‌ථානය වන්නේ. හේතුව අකුණු පහර මගින් ඇතිවන විද්යුත් ධාරාව ලෝහ බඳ සහිත සංවෘත වාහන තුළට ගමන් නොකිරීමයි. මේ නිසා වාහනය තුළ සිටින අය ආරක්‍ෂා වෙනවා. නමුත් බයිසිකලය, ට්‍රැක්‌ටරය, වහල විවෘත කාර් වැනි විවෘත වාහන අකුණු පහරට ලක්‌වීමේ ලොකු හැකියාවක්‌ තියෙනවා. අකුණු ඇති වෙලාවට මෙම වාහන භාවිතයෙන් වැලකිය යුතුයි. 

අකුණු අවදානම පිළිබඳව කතා කරන විට අපේ ධීවර ප්‍රජාව කිසිසේත්ම අමතක කරන්න බැහැ. දිවි පරදුවට තියල දියඹට යාත්‍රා කරල මුහුද වලාල නම් වැඩිපුර මාලු ටිකක්‌ බාගන්න පුළුවන් කොට අකුණු ගැහුවත් එක නොසලකා හරින්න සමහර විට ඔවුන් පෙලඹෙන්න පුළුවන්. මේ නිසාම ජීවිත කිහිපයක්‌ ජීවත් කරවන්න යන අපේ සහෝදරයා තමන්ගේ ජීවිතය විනාශ කරගනීවි. ඒ පිළිබඳව ඔහුගේ අවධානය යොමු කිරීම අපේ යුතුකමක්‌. අකුණු ආරක්‍ෂණ පද්ධතියක්‌ නැති බෝට්‌ටුවක ඔබ ඉන්න විට ලෝහ සහිත බිලී පිත්ත හෝ වෙනයම් දෙයක්‌ පාවිච්චි කරන්න වත්, හිටගෙන ඉන්නවත්, බෝට්‌ටුවෙන් පිටතට වතුරේ වදින පරිදි කකුල හෝ අත් දාන්නවත් එපා. හේතුව බෝට්‌ටුවට ටිකක්‌ දුරින් මුහුදේ කොහේ හරි තැනකට වැදුනු අකුණක විදුලි ධාරාව මුහුදු වතුර තුළින් ගලාගෙන ඇවිත් අනතුරු වීමේ හැකියාවක්‌ තියෙනවා. 

කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා
http://www.divaina.com/2014/04/08/feature03.html

0 comments: