Pages

Thursday, April 10, 2014

විනාශය වැළැක්‌වීමට රජය ක්‍රියා නොකිරීමට විරෝධය පා එල්ලාවල මේධානන්ද හිමියෝ පුරාවිද්‍යා ගවේෂණවලින් ඉවත් වෙති!

මෙරට පුරාවිද්‍යා ස්‌ථානයන්ට සිදුවන බරපතළ විනාශය වැළැක්‌වීමට රජය නිසි ලෙස කටයුතු නොකරන හෙයින් ඊට විරෝධය පළ කිරීම සඳහා සිය පුරාවිද්‍යා ගවේෂණවලින් ඉවත්වීමට පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ තීරණය කර ඇත. 

පුරාවිද්‍යා ස්‌ථාන රැකගැනීමට ආණ්‌ඩුවට අනවශ්‍ය නම් තවදුරටත් එම ගවේෂණවල නිරතවීම අනවශ්‍ය කාරණයක්‌ බවත් තමන් වහන්සේ වසර හතළිස්‌ අටක්‌ මෙරට පුරාවිද්‍යා ස්‌ථාන ගවේෂණය කරමින් ඒවා සංරක්‌ෂණය කිරීමට කටයුතු කළ බවත් උන්වහන්සේ ඊයේ (09 වැනිදා) "දිවයින"ට සඳහන් කළේය. 

පුරාවිද්‍යා ස්‌ථාන විනාශය පිළිබඳව කථානායක චමල් රාජපක්‌ෂ මහතාගෙන් පාර්ලිමේන්තු විවාදයක්‌ ඉල්ලීමට කටයුතු කරන බවත් කී උන්වහන්සේ ජාතියේ උරුමය ගැන කතා කිරීමට ඇති එකම සාධකය වන පුරාවස්‌තු රැක නොගැනීම ජාතියේ අවාසනාවක්‌ බවත් කියා සිටියහ. 

රජය පුරාවිද්‍යා ස්‌ථාන රැක නොගන්නේ නම් තමන්වහන්සේ වසර හතළිස්‌ අටක්‌ එක්‌රැස්‌ කළ ලිපි ගොනු තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය නොවන බවත් කී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ ඒවා ගිනිතබා විනාශ කිරීමට තමන්වහන්සේ කටයුතු කරන බවත් පැවැසූහ. 


තමන්වහන්සේ මෙම විනාශයන් පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සෑම පාර්ශ්වයකටම දැනුම් දුන්නද ඉන් කිසිදු ඵල ප්‍රයෝජනයක්‌ සිදුව නැති බවත් පැවැසූ උන්වහන්සේ පුරාවිද්‍යා විනාශ කරන්නන් අත්අඩංගුවට ගෙන දින දෙකකින් නිදහස්‌ වන්නේ නම් එහි ඇති ඵලය කුමක්‌දැයි ප්‍රශ්න කළහ. 


සිරිමන්ත රත්නසේකර 
http://www.divaina.com/2014/04/10/news42.html

Pic Source

0 comments: