Pages

Tuesday, April 22, 2014

තොරතුරු දැනගැනීම ප්‍රකාශනය අයිතියක්‌ නැති අයිතියක්‌ද?

මිනිසත්කම කියන්නේ හරිම අපූරු දෙයක්‌. ඒත් සියලුම මිනිස්‌සුන්ට මිනිසත්කම තියෙයිද නැද්ද කියලා දන්නෙ තමතමන්ගෙ සිත් තමයි. සමාජයේ ජීවත්වෙද්දි වර්තමානයත් එක්‌ක තනිතනිවම ජීවත් වෙන්ට බැරි තරමට සමාජයත් එක්‌ක අපි බැඳිලා තියෙනවා. ඒ නිසා තොරතුරු දැන ගැනීමට වාගේම තොරතුරු ප්‍රකාශනයේ අයිතිය සෑම පුද්ගලයෙක්‌ එක්‌කම බැඳී පවතිනවා.

දඩයම් යුගය, ගල් යුගය, ගොවි යුගය, කාර්මික යුගය පසුකරමින් දැන් තාක්‍ෂණික යුගයකට ඇවිත්. ඒත් ඒ තාක්‍ෂණික යුගයේ ඉන්න සමහර අයත් ගල් යුගයේ වැඩකරන විදිහට වැඩකරන තැනුත් නැත්තෙම නෑ. තාක්‍ෂණය දියුණුවෙද්දි ඒ තාක්‍ෂණය කරා ගමන් කරන්න සම්පත් පහසුකම් නැති මිනිස්‌සු ඕනෑ තරම් ඉන්නවා. ඒ අතරෙදී සම්පත් තියෙද්දීත් තාක්‍ෂණය කරා යන්න වැටකඩුලුත් තියෙන්න පුළුවන්.

අද වෙනකොට මිනිස්‌සු හිතන පතන දේ නොබියව කියන්න ලියන්න පෙළඹිලා තියෙනවා. ඒක එක අතකින් වැරැද්දකුත් නෑ. තමන්ගෙ හිතට එන අදහස්‌ සමහර අය කතාවෙන් ප්‍රකාශ කරනවා වගේම ලිවීමත් කෙනෙක්‌ තෝරාගන්න පුළුවන්. මේ විදිහට එක්‌ එක්‌ අය තොරතුරු ලබාදෙන්න චිත්‍ර කැටයම් මූර්ති වගේ සංකේතාත්මක දේවල් ද පරිහරණය කරනවා. ජන ඝෝෂා උද්ඝෝෂණ වගේ මහජනයාගේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ විවිධ ස්‌වරූප පවතින බව අධිකරණයද විවිධ අවස්‌ථාවලදී පිළිගෙන තියෙනවා. සමාජයට සේවයක්‌ වෙන දෙයක්‌ ලියන්න කියන්න කාටවත් තහනමක්‌ නෑ. ඒක ප්‍රකාශන නිදහස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ආකාරයන් වැදගත් ලේඛන දෙකක සඳහන්.

මිනිස්‌ අයිතිවාසිකම් සම්බන්ධ උසස්‌ම ලියවිල්ල ලෙස සැලකෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ප්‍රකාශන නිදහස ගැන 19 වැනි වගන්තියේ සඳහන් වෙනවා.

"තම නිදහස්‌ මතය දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත. අනුන්ගෙන් බාධාවක්‌ නොමැතිව තම මත දැරීමටත් දේශසීමා නොසලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට හා දීමටත් ඇති අයිතිය ඊට අතුළත් බව එහි සඳහන් වෙනවා. ඒ වාගේම 1978 ශ්‍රී ලංකා ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ තුන්වන පරිඡේදයේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් වල භාෂණ හා ප්‍රකාශන නිදහස ගැනත් සඳහන් වෙනවා.

"සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස්‌ පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය" යනුවෙන් එහි සඳහන් වී ඇත. මේ අනුව මෙම ව්‍යවස්‌ථාව මගින් මෙරට පුරවැසියකු වන ඕනෑම කෙනෙකුට එනම් සෑම ශ්‍රී ලාංකිකයෙකුහට අප රට තුළ නිදහසේ කතා බහ කිරීමටත් අදහස්‌ ප්‍රකාශ කිරීමටත් ඇති අයිතිවාසිකම ආරක්‍ෂා කොටදී තිබේ.

මේ කුමන අණපනත්වල මෙසේ පැවැතියද සෑම පුරවැසියකුටම යම් යම් අවස්‌ථාවල අදහස්‌ පළකිරීමේ හැකියාව ලැබී ඇත්දැයි හිතට එකඟව ඔබට සිතා බැලිය යුතුය.

ජනමාධ්‍ය යනු ලෝකයේ හතරවන ආණ්‌ඩුව ලෙස සැලකේ. එලෙස පවතින ජනමාධ්‍යයට ඇල්මක්‌ දැක්‌වීම කාටවත් වලක්‌වන්නට අපහසු දෙයකි.

එහෙයින් තොරතුරු දැනගැනීමට ඇති අයිතිය හා ප්‍රකාශනයේ අයිතිය ඔබට සේම මටද කාටත් එකලෙස සර්වසාධාරණ බව පිළිගත යුතුවේ.

ලෝකයේ විශාල ජනගහනයක්‌ සිටියද නව නිර්මාණයන් කිරීමට පෙළඹෙන්නේ ඉතා අල්ප පිරිසකි. බොහෝ විශ්ලේෂකයන් දක්‌වන පරිදි විවිධ මාධ්‍යයන් භාවිතකර නව නිර්මාණ බිහිකරන්නන් ලොවට වස්‌තුවක්‌ ලෙස සැලකෙන බවද කියවේ.

1948 මානව හිමිකම් ප්‍රකාශනයේ 27 වන වගන්තියට අනුව ප්‍රජාවගේ සංස්‌කෘතියට සහභාගි වීමට කලාව රසවිඳීමට හා විද්‍යාත්මක නවීන කාර්යන් හා එවායේ ප්‍රතිලාභ බෙදා හදාගැනීමට සෑම කෙනෙකුටම නිදහස්‌ අයිතියක්‌ තිබේ. මේ අනුව යම් මාධ්‍ය ආයතනයකට සෘජුව නොබැඳි ස්‌වාධීන වාර්තාකරුවකු ලෙස යම් අයෙකුට අවශ්‍ය නම් කටයුතු කිරීමට හැකියාව ඇත.

යම් පුද්ගලයෙක්‌ තමන්ගේ අධ්‍යාපන ඉදිරි ගමන ගමන් කරන්නේ යම්සේද තමා උගත් දෙයින් තමාගේ ආයතනයට අදාළ සමාජයට සේවයක්‌ කිරීම අගය කළ යුතු දෙයකි. නමුත් එය වෙන අවස්‌ථා මෙන්ම නොවන අවස්‌ථාද බොහෝ ඇත. එහෙයින් මාධ්‍ය සඳහා බැඳී නොපවතින කෙනෙකු නොමැති තරම්ය. රටේ ලෝකයේ වෙන තොරතුරක්‌ දැන ගන්නට අකමැති මිනිස්‌සු නොමැති බව ඉන් තහවුරුවේ. තමන් කරන යහපත් සේවයන් ජනතාවට දැනගන්න දෙන්න විදිහක්‌ නැතිව ලතැවෙනු මිනිස්‌සු ඉන්න සමාජයක සමාජයේ උන්නතිය වෙනුවෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට ගරහන මිනිස්‌සුන් ඕන තරම් ඉන්නවා කිව්වොත් වැරදි නැත, කුහකකම් කරමින් ඊරෂ්‍යාවෙන් යහපත් මිනිස්‌සුන්ගේ ගමනත් වලක්‌වන්න ලෙහෙසි පහසු දෙයක්‌ නොවන නිසා ඒ ගැන වැඩිය නොසිතා ඉන්න ඕනි.

තාක්‍ෂණය දියුණුවෙලා ගෝලීයකරණයන් එක්‌ක මිනිස්‌සු අධි යාන්ත්‍රිකරණයක්‌ එක්‌ක මනුස්‌සකමත් නැති අමනුෂ්‍යයෝ බිහිවෙලා ඉන්නවා. කරපු කියපු දෙයක්‌ ගැන වටිනාකමක්‌ නැති එක මොහොතකින් අතීතයක්‌ම අමතක කරලා හිතට විරුද්ධව තීන්දු තීරණ ගන්න තරම් මිනිස්‌සු යාන්ත්‍රිකරණය වෙලා. තාක්‍ෂණයත් එක්‌ක විවිධ මාධ්‍ය ගනුදෙනු කරද්දි පුවත්පත්, රූපවාහිනී වගේම වෙබ් අඩවිත් එක්‌ක නව මාධ්‍යයක්‌ ලෙස කාගෙත් කතාබහට ලක්‌වූ ෆේස්‌බුක්‌ අඩවිත් කාගෙත් ජීවිතවලට ළඟාවෙලා. තොරතුරු දැනගැනීමට ප්‍රකාශනයට ඇති අයිතිය මේ විශ්වයේ ඉන්න මිනිස්‌සුන්ට එලෙස බෙද්දි ෆේස්‌බුක්‌ පාව්ච්චි කරලා තොරතුරු හුවමාරු කරගන්න එක වැරැද්දක්‌ කියලා හිතන්න ඕනැද කියන එක ප්‍රශ්නයක්‌. අධි තාක්‍ෂණයත් එක්‌ක 2016 දී පරිගණක සාක්‍ෂරතාව 75% කට ළඟාවන්නට ඉලක්‌කයන් කරා ළඟාවෙන ලංකාවේ මිනිස්‌සුන්ගෙන් කීපදෙනකුට අන්තර්ජාලයට යන්න වැටකඩුලු දා තියෙන තැනුත් නැත්තෙම නෑ.

ෆේස්‌බුක්‌ කියලා අමුතුවට උලුප්පං ඒ තුළින් ජීවිත කිහිපයක්‌ නැති වෙද්දී ඒ ගැන අවධානය ලෝකයට යොමු කරල ෆේස්‌බුක්‌ තහනම් කරාට වැඩක්‌ නෑනේ. ලෝකයේ බිලියන 1.3 ක්‌ ෆේස්‌බුක්‌ පාවිච්චි කරන්නේ නිකන් නෙවෙයිනේ. දවසකට මිලියන 750 ෆේස්‌බුක්‌ යන්නෙත් අදහස්‌ හුවමාරුව වගේම ප්‍රකාශනයේ වැදගත්කමක්‌ තියෙන නිසානේ. මාර්ක්‌ සතර්බර්ග් 2004 පෙබරවාරි 04 පටන්ගත්ත ෆේස්‌බුක්‌ නිසා ලංකාවේ මිනිස්‌සුන්ට නිදහසක්‌ නැතිවුනා කියලා කියන සමහර අයත් අනික්‌ අයට හොරෙන් ෆේස්‌බුක්‌ ගිහිල්ලා හොරගිණුම් (Fake Accounts) හදාගෙන සෙල්ලන් දාන තැනුත් නැත්තෙම නෑ. ඒ වගේම දිනකට පුද්ගලයෙක්‌ මේ විදිහට තොරතුරු දැනගැනීමට ෆේස්‌බුක්‌ යන සාමාන්‍ය කාලය මිනිත්තු 18 ක්‌ වෙලා තියෙනවා කියලා සඳහන්.

දවසකට 1440 ක්‌ තියෙන විනාඩිවලින් 18 ක්‌ පාවිච්චිකරලා මනුෂ්‍යයෙක්‌ මානසික නිදහසක්‌ ලබනවානම් ඒකට ඊරිසියා කරලා වැඩක්‌ නෑ. ඒ නිසා තොරතුරු තාක්‍ෂණයත් එක්‌ක ඉදිරියට යන අපි ෆේස්‌බුක්‌ යන අයට ගරහලා වැඩක්‌ නෑ. නිවැරැදි තාක්‍ෂණය තොරාගනිද්දි කුමන ආකාරයට කටයුතු කළයුතු ද කියා තම තමන්ගේ සිතට ගෙන කටයුතු කළොත් කාටවත් වරදින් නෑ. තොරතුරු තාක්‍ෂණය භාවිත කරලා ඒ තුළින් ඉදිරියට ගිහින් සමාජය තුළ නිවැරැදි මතයන් දැක්‌මවල් බිහිකරන්නට උත්සාහ කරන තැනුත් අපිට දැකගත හැකියි. අධිතාක්‍ෂණයේ නැවුම් පරිච්ඡේද මානව සමාජ පරිනාමයත් එක්‌ක වැළඳගන්න එක වැරැද්දක්‌ කියන අයත් නැත්තෙම නෑ. ලෝකයේ පිළිගත් ආගමික නායකයකු වන දලයි ලාමා තුමාට වගේම පාප් වහන්සේටත් ටුවීටර් ගිණුමක්‌ තිබෙන බවට පසුගියදා එක්‌තරා කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළා. එය වැරැද්දක්‌ නොවෙන බවයි එතුමාත් සඳහන් කළේ. අප අධිතාක්‍ෂණය ප්‍රතික්‍ෂේප කරලා වැඩක්‌ නෑ.

ඉස්‌සරහට යන මිනිහාගේ කකුලෙන් අදින්නට බොහෝ දෙනෙක්‌ උත්සාහ කරන සමාජයක ලෝකයේ උත්තරීතර සත්වයා ලෙස සැලකෙන මනුෂ්‍යයාටත් මිනිස්‌කම අමතකවනු සමාජයක තාක්‍ෂණයත් සමඟ තොරතුරු දැනගැනීමට හා ප්‍රකාශනයට ඇති අයිතිය අයිතියක්‌ නැති අයිතියක්‌ද යනුවෙන් ඔබගේ සිතත් සමඟ තර්ක කළහොත් ලැබෙන පිළිතුර කෙසේ වේවිද යන්න ඔබට බාර ප්‍රශ්නාර්ථයයි.

එම්. ආර්. අමිල උදයංග බණ්‌ඩාර, කොළඹ විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2014/04/22/feature03.html

Pic Source

0 comments: