Pages

Thursday, April 24, 2014

මැති ඇමැතිවරුන් සහ නිලධාරින් රට ජාතිය ආගම ගැන වගකීමෙන් කටයුතු කරනවා නම් ප්‍රශ්න ඇති වන්නේ නැහැ බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන්ට මල්වතු මහ නාහිමියෝ කියති

මහා නාහිමි අනුශාසනා පරිදි කටයුතු කරනවා; මැති ඇමැතිවරුන් කියන ආකාරයට අප කටයුතු කරන්නේ නැහැ - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

<--- ගලගොඩඅත්තේ ඥනසාර හිමි මල්වතු නා හිමි බැහැදුටු අයුරු

මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි කටයුතු කරනවා මිස මැති ඇමැති හා නිලධාරීන් කියන ආකාරයට අප කටයුතු කරන්නේ නැතැයි ද තමන් වහන්සේගේ සංවිධානය භික්‍ෂු විනයට පටහැනිව කටයුතු කරන්නේ නැතැයි ද බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිපාණෝ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් ඊයේ (23 දා) පැවැසූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඥාණසාර ස්‌වාමීන් වහන්සේ මෙසේද පැවැසූහ. 

අප සාමකාමීව මේ රටේ රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතු කරමින් සිටි නමුත් ශාසනයට එරෙහිව මූලධර්මවාදී ආගමික සංවිධානයන් 400 ක්‌ පමණ රට පුරා ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. එයින් සිදුවන හානිය දැක දැක නිහඬවීමට නොහැකි නිසා අප ක්‍රියාත්මක වීමට පටන් ගත්තා. ශාසනය ආරක්‍ෂා කිරීමට ව්‍යවස්‌ථාවෙන් බැඳී සිටින මේ රටේ රාජ්‍ය නායකයන් හෝ රාජ්‍ය නිලධාරීන් ඇහුම්කන් දීමක්‌ කළේ නැති බැවින් අප ඒ ගැන උනන්දුවක්‌ දක්‌වන්නට පටන් ගත්තා. බුදු දහමට එරෙහිව සිදු කරන කටයුතුවලට විරුද්ධව තවමත් පියවරක්‌ ගෙන නැහැ. නීති අංශ ඒ ගැන කටයුතු කරන්නේ නැහැ. හලාල් සිද්ධිය තවමත් එලෙසින් ක්‍රියාත්මක වෙනවා.

නීති විද්‍යාලයේ අර්බුදය පවතිනවා. වනජීවී රක්‍ෂිත කලාපවල අනවසර ඉදිකිරීම් සිදුවෙනවා. ඒවායේ පදිංචි කිරීම් සිදුවෙනවා. මත්කුඩු ජාවාරම් කරන්නේ කවුද කියා රට දන්නවා. දෙවනගල ඉඩම් අක්‌කර 72 කට සිදුවූයේ කුමක්‌ද? අද එහි ඉතිරි වී තිබෙන්නේ ගල පමණයි.

බුදුන් වහන්සේට අපහාස කරන කල්ලි සිටිනවා. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු මේවා ගැන නිහඬයි. ඒ අය මේවා ගැන අවධානය යොමු කළ යුතුයි. ඇතැම් ආගමික පූජකවරු ජිනීවාවලට ගතු කේලාම් කියනවා. ඉදිරියේදී තව බොහෝ දේ කිරීමට අපට සිදුවේවි. ඔබවහන්සේ මේ ගැන ජනාධිපතිතුමාට දන්වන්න.

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ අදහස්‌ දක්‌වමින් - රට, ජාතිය, ආගම පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය ලෙස ක්‍රියා කිරිමට රජයේ මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් පත් වී සිටින නමුත් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුවන්නේ නැති නිසා ගැටලු පැන නගින බව පැවැසූහ.

මෙවන් අර්බුදකාරී තත්ත්වයක්‌ රටේ ඇති වී තිබෙන්නේ රජයේ මැති ඇමැතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ දුර්වලකම් නිසා යෑයි ද අතිපූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

ඔබ වහන්සේලාට ආණ්‌ඩුවක්‌ හදන්නට පුළුවනි. ආණ්‌ඩුව පෙරළන්නත් පුළුවනි. ඒ තරමටම භික්‍ෂු සංවිධානය ශක්‌තිමත් වී තිබෙනවා යි ද මහා නාහිමිපාණෝ තවදුරටත් පැවැසූහ.

අන්තවාදී සංවිධාන මගින් රට පුරා දර්ශනය කරන ලද බුදු දහමට අපහාස කෙරෙන සාකච්ඡා හා දේශන ඇතුළත් වීඩියෝ පටයක්‌ බොදුබල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක්‌ විසින් මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක පූජ්‍ය ලියන්වල ශාසනරතන සහ මල්වතු මහා විහාරයීය හෙට්‌ටිමුල්ලේ සාරානන්ද යන නාහිමිවරුන් ද සහභාගි වූහ.

මහානායක ස්‌වාමින්ද්‍රයන් වෙත කරුණු දක්‌වා සිටීම සඳහා පැමිණි තවත් සංවිධානයක්‌ වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප සහ එහි ප්‍රධාන අනුශාසක රම්පත්විල විමලරතන යන ස්‌වාමීන් වහන්සේ රජය ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සහ සූදු ක්‍රීඩාවට අදාළ පනතට විරෝධය පළ කර සිටියහ.

ගණිකා වෘත්තියට, කලු සල්ලි හා පාතාලය බිහි කිරීමට රුකුලක්‌ ලබා දෙන කැසිනෝ සූදුවට ඉඩ දෙන පනත වචන මාරු කර නැවත පාර්ලිමේන්තුවට ගෙනෙන බව උන්වහන්සේ පැවැසූහ.

වචන වෙනස්‌ කර ඉදිරිපත් කරන කැසිනෝ පනතට අනුශාංගික කියා වචනයකුත් යොදා තිබෙන බව රජවත්තේ වප්ප හිමිපාණෝ මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් පැවැසූහ.

ජාතික සංඝ සම්මේලනයේ අනුශාසක රම්පත්විල විමලරතන හිමියෝ මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් සාප්පු සංකීර්ණ ඉදිකරන බව පෙන්වමින් කැසිනෝ පනත නැවත රජය ඉදිරිපත් කරන බව පැවැසූහ.

රාවණ බලය සංවිධානයේ නියෝජිත පිරිසක්‌ ද අතිපූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිදුවන අකටයුතුවලට විරෝධය පළ කර සිටියහ.

රාවණ බලය සංවිධානයේ සභාපති පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියෝ නීති විද්‍යාලයට ඇතුළත්වීමට බලාපොරොත්තු වන අහිංසක දරුවන් වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බව මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේට පැවැසූහ.

එම දරුවන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු විය යුතුව තිබෙන බව ද උන්වහන්සේ පැවැසූහ. නීති විදුහලට පසුගියදා 900 ක්‌ බඳවා ගත් බව පැවසූ උන්වහන්සේ චොක්‌සි ඇමැතිවරයාගේ පුතා සහ හිටපු අගවිනිසුරුවරියගේ දරුවකුත් ඇතුළත් කරගත් අතර විදේශවල නීතිය හැදැරූ 150 ක්‌ ද නීති විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබෙන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

දුප්පත් දරුවන් ඇතුළත් කරගෙන නැති බව පැවසූ උන්වහන්සේ නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිදුවන අගතිය ගැන අදහස්‌ දැක්‌වූයේ මල්වතු මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පමණකැයි ද උන්වහන්සේ පැවසූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර

0 comments: