Pages

Tuesday, April 29, 2014

මත්පැන් දුම්වැටි භාවිතය පිළිකා ඉහළ යැමට හේතුවක්‌ - සෞඛ්‍ය ඇමැති


පසුගියදා (24) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් දුම්වැටි සහ මත් වතුර භාවිතය පිළිබඳව සිසු දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්‌ කොළඹ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව පාසල් දරුවන් මතට සහ දුමට ඇබ්බැහිවීම වළක්‌වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

මේ යටතේ මත් වතුර භාවිතය හා දුම්වැටි භාවිතය තුළින් ඇතිවිය හැකි ශාරීරික, සමාජයීය සහ ආර්ථික පරිහානිය පිළිබඳව ඇඩික්‌ ආයතනයත්, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් දේශන පැවැත්වූහ.

දුම්වැටි භාවිතය නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයෝ 65 ක්‌ මරණයට පත්වෙති. එමෙන්ම මේ නිසා වාර්ෂිකව මරණයට පත්වන ප්‍රමාණය පුද්ගලයන් 21,000 ඉක්‌මවයි. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය දෙකම භාවිතය නිසා වසරකට අප රටේ පුද්ගලයන් 2,80,000 ක්‌ මරණයට පත්වන බව හෙළිදරව් වී ඇත. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ගමක පමණක්‌ වසරකට දුම්බීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 136 ක්‌ බව සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. හෘදයාබාධ, පිළිකා, ආඝාතය, ලිංගික බෙලහීනතාව, වකුගඩු රෝගය, අධිරුධිර පීඩනය, ඇතුළු රෝග රැසක්‌ වැළඳීමට දුම්වැටි සහ මත්වතුර භාවිතය හේතුවී ඇත.


<--- සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් සඳහා ප්‍රථමාධාර කට්‌ටලයක්‌ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට පිරිනැමූ අයුරු. 

මේ සම්බන්ධයෙන් අදහස්‌ පළ කළ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, "2014 වර්ෂය මතින් තොර සමාජයක්‌ ගොඩනැගීමේ වර්ෂය ලෙස නම්කර තිබෙනවා. අපේ රටේ දවසකට 1200 ක්‌ පමණ උපදිනවා. ඒ වගේම 1000 ක්‌ විතර මැරෙනවා. ඒ මියයන අයගෙන් සියයට 60 ක්‌ නැත්නම් 600 ක්‌ විතර මැරෙන්නේ බෝ නොවන රෝග නිසා. බෝ නොවන රෝගවලින් මැරෙන පුද්ගලයන් 600 න් සියයට 70 ක්‌ම මැරෙන්නේ දුම්බීම සහ මත්ද්‍රව්‍ය නිසා.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර සහ සෞඛ්‍ය අතිරේක ලේකම් කේ. ඒ. එස්‌. කීරගල යන මහත්වරු ද සහභාගි වූහ.

http://www.divaina.com/2014/04/28/news20.html

0 comments: