Pages

Wednesday, April 16, 2014

හෙළ ජන ක්‍රීඩාවේ අපූර්වත්වය

ජනශ්‍රැති විද්‍යාව යනු මනුෂ්‍ය වර්ගයාගේ ඇදහීම්, විශ්වාස, පූජා විධි, යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යා, ජන කතා, ජන කවි පාදක කරගනිමින් ජනතාව විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ කාරණා සමුදායක්‌ ලෙස දැක්‌වේ. මේ තුළ ජන කතා, ජන කවි, ජනගී, ජන නාට්‍ය, ජන ක්‍රීඩා, ජන සංගීතය, ජන ඇදහිලි, ජන විශ්වාස, උපමා අලංකාර, උපහැරණ, ප්‍රස්‌තාව පිරුළු ආදී බොහෝ දේ අන්තර්ගතය. මේ දේවල් අතරින් ජන ක්‍රීඩාවට අතීතයේ පටන් සුවිශේෂී තැනක්‌ හිමිව තිබුණු බව පෙනේ. ඉංග්‍රීසි ජාතික ලේඛකයකු වූ විලියම් ඡේම්ස්‌ තෝමස්‌ 1846 වසරේදී තමන්ගේ පර්යේෂණයන්ට "ජනශ්‍රැතිය" නම්වූ වචනය හඳුන්වා දුන්නත් මේහා සබැඳී ඇති ජන ක්‍රීඩාවන්වල අතීතය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්‌වා දිව යන්නක්‌ බව සඳහන් වේ.

ආදි මානවයාගේ දෛනික චර්යා ඇසුරෙන් ගොඩනැගී වර්ධනය වූ බොහෝ ක්‍රියාකාරකම් මිසර, චීන, මොහොන්ජෝදාරෝ, හරප්පා වැනි ආදි මිනිස්‌ ශිෂ්ඨාචාරවල පවා සිරිත් විරිත් බවට පත්ව තිබූ බව ඉතිහාසය පෙන්වා දේ. ජන ක්‍රීඩා පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී අපට දැකගත හැක්‌කේ වසර 30,000 කටත් වැඩි කාලයක්‌ දක්‌වා දිවගොස්‌ ඇති බව බලංගොඩ මානවයාගේ පොසිල පරීක්‍ෂණ ඔස්‌සේ පැවසෙන ශ්‍රී ලාංකීය ඉතිහාස කතාව තුළ දුරාතීතයේ පටන් අපේ මුතුන්මිත්තන් ජනක්‍රීඩා සංකල්ප හඳුනාගෙන තිබූ බවකි. පෙරදිග ක්‍රීඩාවන් පිළිබඳව පර්යේෂණය කළ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය කැස්‌පිරික්‌ මාතා උදාහරණ සහිතව පෙන්වාදී තිබෙන්නේ යුරෝපා රටවලට වඩා ආසියාකරයේ ජන ක්‍රීඩා ඉතිහාස කතාවට ප්‍රබල තැනක්‌ හිමිව තිබෙන බවයි. එය තවදුරටත් තහවුරු කරන ආසියානු රටවල ජන ක්‍රීඩා පිළිබඳ පර්යේෂණයක යෙදුනු මහාචාර්ය ලුඩෝවයික්‌ මහතා "ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩාව ආසියාකරයේ අනෙක්‌ රටවල්වල ජන ක්‍රීඩාවන්ට වඩා වෙනස්‌කම් රැසක්‌ සහිත සුවිශේෂී පසුබිමක්‌ යටතේ බිහිව ඇති බව" තම වාර්තා මගින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය ඇරඹෙන්නේ විජය කුමරුගේ ලංකා ගමනයෙන් පසුව බව පිළිගැනෙන්නේ නම් එදවස ජනාවාස බවට පත්වුණු අනුරාධපුර, පොළොන්නරු රාජධානී යුගයේ භාරතීය ලක්‍ෂණ සහිත ක්‍රීඩාමය උත්සව පැවැත්වීම පුදුමයක්‌ නොවනු ඇත. මහාවංශ කතිකාවන්ට අනුවද පැරැණි ශ්‍රී ලංකාවේ රජවරුන් ජාතික උත්සව ලෙස ජනී ජනයා පිරිවරා දඩ කෙළිය, ජල කෙළිය ආදී උත්සවවල නිරත වූ බවද දැක්‌වේ. ඉන්දීය සම්ප්‍රදාය තුළ යම් යම් දේ ශ්‍රී ලංකාවට දායාද වූ බව සඳහන් වන්නේ නම් එහි තවත් එක්‌ අංගයක්‌ ලෙස ජන ක්‍රීඩාවන්හි ස්‌වරූපය අපේ සමාජයට අනුබද්ධ වූ බව සිතිය හැකි තවත් කරුණක්‌ පෙන්නුම් කෙරේ. අතීතයේදී හින්දු රජවරුන් අප්‍රේල් මාසයේ හෙවත් බක්‌ මාසයේ කාම උත්සව පවත්වා ඇති බව ඉතිහාසයේ දැක්‌වේ. එහි ආභාසය තුළ වලගම්බා රජ සමයේදී එවැනි උත්සව මෙරට තුළ පවත්වා ඇති බවත්, දීඝ ගාමිණී කුමාරයාද කාලවේල යක්‍ෂයන් සමග එක්‌ව මෙවැනි කාම උත්සව සංවිධාන කළ බවත් ඉතිහාසය තුළ ලියෑවී තිබේ. මෙවැනි සංසිද්ධීන් හරහා අපේ රටේ පැරැණි ක්‍රීඩා සම්ප්‍රදායන් බිහිවී ඇති බවත්, වර්ධනය වී ඇති බවත් දැකිය හැකිය.

කෙසේ නමුත් අපේ ජන ක්‍රීඩාවන් පිළිබඳ ඉතිහාසය විමර්ශනය කිරීමේදී පැහැදිළිව පෙන්නුම් කෙරෙන කරුණක්‌ වන්නේ පත්තිනි දේව මෑණියන්ගේ ඇදහීම් සංකල්ප මුල්කොට ගනිමින් බොහෝ ජන ක්‍රීඩාවන් සෑදී ඇති අතර රණකාමීත්වය ජවසම්පන්න බව එඩිතර බව, දරා ගැනීම, විනෝදාස්‌වාදය ආදී සංකල්ප හරහා නවතාවන්ට බඳුන් වෙමින් වෙනස්‌කම් සිදුවෙමින් නොයෙක්‌ නොයෙක්‌ ජන ක්‍රීඩාවන් ලෙස සමාජයට දායාද වූ බව පැහැදිළිව දැකිය හැකිය. මහනුවර යුගයේ ජනප්‍රියව පැවති බොහෝ ක්‍රීඩා රණකාමී ක්‍රීඩා වූ බවත්, විදේශ ආක්‍රමණයන්ට එරෙහිව ජනතාව සූදානම් කිරීමටත්, යුද්ධයට ඇති බිය නැති කිරීමටත්, මෙම ජන ක්‍රීඩා උපයෝගී කරගත් බවත් ඉතිහාසයේ දැක්‌වේ.

ජන ක්‍රීඩාවන් පිළිබඳ මූලික වර්ගීකරණයේදී සෑම ජන ක්‍රීඩාවන් ප්‍රධාන වශයෙන් කොටස්‌ 5 කට බෙදා දැක්‌විය හැකිය. අද වර්තමානයේ බොහෝ විට අප අතර දක්‌නට නැති එළිමහන් ක්‍රීඩා ඒ අතරින් විශේෂ වේ. තනි තනි පුද්ගලයන්, දරුවන් නොව සාමුහිකව සිදුකළ හැකි ක්‍රීඩාවන් ලෙස ප්‍රචලිත මෙම එළිමහන් ක්‍රීඩා හරහා කරුණු ගණනාවක්‌ ඉටුකර ගැනීමට අතීතයේ මුතුන් මිත්තන් උනන්දු වූ බවක්‌ පෙනේ. අතුරු මිතුරු, වළකජු ගැසීම, ඔට්‌ටු තැබීම, ඉරටු හැංගීම, ඔංචිලි පැදීම, කංකං බූරු, ගිනි හැංගීම, කොටු පැනීම, කැරපොත්තන් ඇල්ලීම, හැංගි මුත්තන් කෙළිය, අත්තාපල් - මුත්තාපල්, කැට ගැසීම, ජල්ලි පැනීම, පනා හැංගීම, රාහු ගිsලීම, දිය ගොඩ මඩ, අල්ලි පැනීම, ඇට පැනීම, කොපර කොපර පිපිඤ්Æ, මෝල්ගහේ දළු කැඩීම, ගස්‌ කට්‌ටි පැනීම, රට ඇල්ලීම, භූ කෙළිය, ලුණු ඇදීම, කොළ පන්දු ගැහිල්ල, ජොරා පැනිල්ල, කණා ඇල්ලීම ආදී ක්‍රීඩාවන් හරහා ක්‍ෂණික විනෝදය ලබා ගැනීමට අමතරව සමජය තුළ යම් මතයක්‌ ඇති කරන්නටත්, එම මතය වර්ධනය කර අනාගත පරපුරට දායාද කරන්නටත් ආදි මුතුන් මිත්තන් ගෙන ඇත්තේ පුදුමාකාර වෙහෙසකි. අද වර්තමානයේ එළිමහන් ක්‍රීඩා ලෙස එල්ලේ ගැසීම, කොට්‌ටාපොර, ලිස්‌සන ගහේ නැගීම, තාච්චි පැනීම, කණාමුට්‌ටි බිඳීම, ගුඩු ගැසීම, අඹ ඇට පැනීම, රබන් ගැසීම ආදී ක්‍රීඩා ඉසව් කිහිපයක්‌ පමණක්‌ දැකිය හැකි වීම අවාසනාවකි.

අතීතයේදී මෙම ක්‍රීඩාවන් හරහා සමාජමය පණිවිඩයක්‌ හුවමාරු කර ගැනීම විශේෂත්වයකි. අවුරුදු 14 ට අඩු දරුවන්ට අපල උපක්‍රම ගෙනදෙන විපත්තිදායක ග්‍රහයෙක්‌ ලෙස පිළිගැනෙන රාහු ග්‍රහයා දරුවන්ගේ මිත්‍රයෙක්‌ වේ. දරුවන්ගේ මනසට ඇතුල් කිරීම සඳහා යොදාගත් රාහු ගිලීමේ ක්‍රීඩාව හේන, කුඹුර, වැව සමග ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන් දියගොඩ මඩ ක්‍රීඩාව, බ්‍රිතාන්‍ය පාලකයන් අපේ රට අල්ලා ගැනීමට විරෝධය පෑම සඳහා උපහැරණ යොදාගත් අල්ලි පැනීමේ ක්‍රීඩාව, දරුවන්ට ආදරේ කරණ ගණ දෙවියන් ඇදහීම සඳහා වූ පුල්ලෙයාර් ගැනීම, පර සතුරු ආක්‍රමණයන්ගෙන් දරුවන් මුදාගන්නට, ජීවිත ආරක්‍ෂා කරගන්නට උපක්‍රම ලෙස භාවිත කළ අත්තාපල් - මුත්තාපල් ක්‍රීඩාව, බ්‍රිතාන්‍ය පාලකයන්ට එල්ල කළ පීඩාවට පිළිතුරු ලෙස සත්‍ය උපහාසයට ලක්‌ කරමින් කළ කංකං බූරු ක්‍රීඩාව, අපේ රට යටත් කරගත් ජෝර්ඡ් රඡ්ජුරුවන් සමච්චලයට ලක්‌ කිරීම සඳහා යොදාගත් ජොරා පැනිල්ල ආදී ක්‍රීඩාවන් හරහා සමාජය තුළ කතාබහට ලක්‌කළ යුතු ඇතැම් මාතෘකාවන් වෙනස්‌ම ආකාරයකට ජනතාවගේ සිත්තුළ කාවද්දා ඇති බව පෙනේ.

එසේම මෙවැනි ජන ක්‍රීඩා හරහා තවත් සුවිශේෂී වූ වුවමනාවන් රැසක්‌ද ඉටුකරගෙන ඇත. ඒ ජන ක්‍රීඩා හරහා මතු කරගත් සමගිය, මිත්‍රත්වය, සහයෝගය, බැඳියාව, ශක්‌තිය, ජවය, නායකත්වය, දරා ගැනීම, සමබරතාව ආදී ගුණාංගයි. ව්‍යවසනකාමී මානසිකත්වයන්ගෙන් අනාගත පරපුර මුදවාගෙන අතීත උරුමය සිත්තුළ පැළපදියම් කිරීමට ජන ක්‍රීඩා උපකාරී වූ බව පෙනේ. 

ජන ක්‍රීඩා වර්ගීකරණයේ අනෙක්‌ ප්‍රධාන අංශ ලෙස දැක්‌වෙන්නේ ගෘහස්‌ථ ක්‍රීඩා, ආගමානුකූල ක්‍රීඩා, ත්‍රාසජනක ක්‍රීඩා සහ සතුන් මුල්කර ගනිමින් සිදුකළ ක්‍රීඩා වේ. ඒ යටතේ ගෘහස්‌ථ ක්‍රීඩාවන් අතර අදටත් දැකිය හැකි පංච කෙළිය, දොළහ කෙළිය, ඔලිඳ කෙළිය ආදිය විශේෂිත ක්‍රීඩාවන් ලෙස සඳහන් කළ හැක. මේවා බොහෝ විට කාන්තාවන්ට පමණක්‌ සීමා වූ ක්‍රීඩාවන්ය. මුදු කිරීම, ගල් කිරීම, පොල් නෙලීම, කජු කෙළිය, අත් හැංගීම, හැට්‌ට කටු හැංගීම, ඉඳිකටු කෙළිය ආදිය හරහා ගෘහස්‌ථ ක්‍රීඩා ගණනාවක්‌ නිර්මාණය වී තිබේ. මෙම ක්‍රීඩාවන් අතරින් හැට්‌ට කටු හැංගීමේ ක්‍රීඩාව හරහා කණ්‌ඩායමක්‌ විදිහට රහස්‌ රැක ගැනීම පිළිබඳ අවබෝධයක්‌ ලබාදීම, ඉඳිකටු හැංගීමේ ක්‍රීඩාව හරහා අනුන්ගේ කටයුතුවලට අතපෙවීමෙන් ඇතිවන විපත්ති පිළිබඳ කියා දීම, තම තමන්ගේ සීමාවන් පිළිබඳව හඳුනා ගන්නට අවබෝධයක්‌ ලබාදීම ආදිය සිදුව තිබීම විශේෂත්වයකි. පංච දැමීම හරහාද පත්තිනි දේව ඇදහිල්ලට අමතරව ගණිතමය ඥනය වර්ධනය කිරීමත්, ගණිත අභ්‍යාස පුරුදු පුහුණු කිරීමට අවස්‌ථාවක්‌ ලබාදීමත් සිදුකර තිබේ. කැරපොත්තන් කෑම නම්වූ ජන ක්‍රීඩාව මගින් සිදුකර තිබෙන්නේ දැතේ සහ අතැඟිලි බලා සංවේදීතාව වර්ධනය කිරීමේ හා ක්‍ෂණික තීරණ ක්‍රියාත්මක කිරීමේ පුරුද්ද ඇති කිරීමයි.

දැඩි කායික ශක්‌තියක්‌ යෙදවීම හරහා සිදු කෙරුණු ත්‍රාසජනක ක්‍රීඩා හා සතුන් මුල්කර ගනිමින් සිදුකළ ජන ක්‍රීඩාවන් රැසක්‌ද ඉතිහාසය තුළ දැකිය හැකිය. ගජ කෙළිය, ගොංපොර, කුකුල් පොර, උකුසු කෙළිය, අංගම්පොර, දුනු ශිල්ප, හස්‌ති ශිල්ප, අසු හරඹ, කඩු පලස්‌ හරඹ, මල්ලවපොර ආදී ක්‍රීඩාවන් මේ යටතට ගැනේ. ඌරා ළිඳේ අංගම් කෙටීමද මේ ක්‍රීඩාවන් අතර අතීතයේ සුවිශේෂී වූ ක්‍රීඩාවකි. 

අතීතයේදී "මරුවල්ලිය" හා "සුදලිය" ලෙසින් හැඳින්වූ සටන් අභ්‍යාස ආයතන දෙකක්‌ මහනුවර යුගයේදී ක්‍රියාත්මක වූ බවත් මෙම ආයතන හරහා සටන් ශිල්පීන් බිහිකළ බවත් ඉතිහාසයේ දක්‌වා තිබේ. උඩරට රජවරුන්, සම්භාවනීයන්, නිලමේවරුන් මෙම ක්‍රීඩාවන්වල ඉහළම තලයට පැමිණිය වුන් බවද ඉතිහාස වාර්තාවල දැක්‌වේ. පළමුවැනි විමලධර්මසූරිය රජු ජර්මනියට ගොස්‌ ඇති අවස්‌ථාවක මල්ලව පොර තරගයකට සහභාගි වී රිදී පදක්‌කමක්‌ දිනා පැමිණි බව "දොතොරොන්" නම් ඉතිහාස සටහනක්‌ තබා තිබේ. ඊට අමතරව ලෙව්කේ දිසාව, කප්පාගොඩ රාළ, බෝගමුවේ රාළ, මීගස්‌තැන්නේ අදිකාරම් ආදී මල්ලවපොර ක්‍රීඩාවේ ප්‍රවීණයන් බවද දක්‌වා තිබේ.

ආගමික සිරිත් විරිත් ගැබ්ව ඇති ජන ක්‍රීඩාවන්ටද බක්‌ මාසයේ හිමිවෙන්නේ සුවිශේෂී ස්‌ථානයකි. යාත්තුකර්ම ලක්‍ෂණ ගැබ්ව ඇති මෙම ක්‍රීඩාවන් හරහා වසංගත රෝග වලින් මිදීමේ ඇදහිලි සිදුකිරීම, භවබෝග සම්පත් රැකදෙන ලෙස දෙවියන්ගෙන් පිහිට ඉල්ලීම ආදිය සිදුකර තිබේ. දේව භක්‌තියෙන් ක්‍රීඩාවට පිsවිස, ජය පරාජය සමව විඳ දරා ගන්නට හුරුවීමක්‌, ක්‍රීඩාවේ යුක්‌ති ගරුකත්වය ආරක්‍ෂා කිරීමක්‌ මත දෙවියන් ඇදහීමට ජන ක්‍රීඩා උපයෝගී කරගත් බව පෙනේ. අංකෙළිය, පොරපොල් කෙළිය ආදී ආගමික ක්‍රීඩාවන් හරහා තමන්ගේ සිත්වල පවතින බිය තුනී කර සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීමත් එහි අවසානයේ ගම් මඩුවක්‌ පවත්වා සියල්ල නිමා කිරීමක්‌ අතීතයේදී සිදුකර තිබේ.

අද වර්තමානයේ වචනවලට පමණක්‌ සීමා වී ඇති පොතපතේ පමණක්‌ දැකිය හැකි ජන ක්‍රීඩාවන්ද රාශියකි. මේ පිළිබඳව තොරතුරු සෙසු ලේඛකයන් වන බන්දුල කේ. ආරියපාල මහතා දේශීය ජන ක්‍රීඩාවන් 137 ක්‌ පිළිබඳ සොයාගෙන තිබේ. රෝහිණී කුමාරි මුවන්දෙණියගේ "හෙළි ජන කෙළි සෙල්ලම්" කෘතියට අනුව ජන ක්‍රීඩා 120 ක්‌ පිළිබඳ තොරතුරු අන්තර් ගතකර තිබේ. ඊට අමතරව ඩබ්. එම්. අතුල විඡේනායක, එස්‌. විඡේසූරිය, පී. ඒ. ආර්. දැරණියගල, ඩබ්. ආර්. පී. සෝමරත්න, පී. එම්. සේනාරත්න, මහින්ද කුමාර දළුපොත වැන්නන්ගේ කෘතීන් තුළ තවත් විශේෂිත වූ ජනක්‍රීඩා රැසක්‌ පිළිබඳ තොරතුරු අන්තර්ගත වී ඇත.

ඈත අතීතයේ පටන් ජන ක්‍රීඩාවන් වැඩි වශයෙන් කළ එළි බසින්නේ බක්‌මහ අසිරියත් සමගිනි. මහ පොළොව හා නිරන්තර පොර බැදූ අපේ මුතුන් මිත්තන් භාග්‍යවත් මාසය හෙවත් බක්‌ මාසයේ ගොවිතැනින් ලද විරාමය මේ සඳහා උපයෝගී කරගත්හ. තමන් ලැබූ එම නිදහස්‌ කාලයේ වෙහෙස නිවා ගන්නට මෙන්ම බුද්ධිය වැඩිදියුණු කරගන්නටද ඔවුන් යොදා ගත්තේ ජන ක්‍රීඩාවයි. නමුත් මේ සියල්ල අද වර්තමානයේ විනෝදාස්‌වාදයට මුල්තැන ලැබුණු බක්‌මහ උළෙලක සිතිවිලි අතර වචන හරඹයක්‌ බවට පමණක්‌ පත්ව තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. වත්මන් සමාජයෙන් - වත්මන් පරපුරෙන් ගිලිහී යමින් පවතින හෙල ජන ක්‍රීඩා නැවත කරළියට රැගෙන ඒමත්, ඒවා අනාගත පරපුරට දායාද කිරීමත් අද දවසේ අත්‍යවශ්‍ය යුතුකම ලෙස දැක්‌වුවද වරදක්‌ නොවේ.

නුවන් උදාර කරුණාරත්න
http://www.divaina.com/2014/04/11/sports06.html

0 comments: