Pages

Thursday, April 17, 2014

ධම්මානන්ද මාහිමියන් බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට ඇපකැපවූ සංඝ පීතෘවරයෙක්‌ - නාපාන පේමසිරි නාහිමි

එදා ත්‍රස්‌තවාදීන් හා අලි කොටි වලසුන් ගහන වූ ඝන වනාන්තරයට වී සතුරු විපත්වලින් ආරක්‍ෂා වෙමින් මේ බුද්ධ ශාසනය ආරක්‍ෂා කරලීමට ජීවිත කැප කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු රටට අහිමි වී ගිය බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමි පූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණෝ ප්‍රකාශ කළහ.

අපවත් වී වදාළ අම්පාර බුද්ධංගල ආරණ්‍යය සේනාසනය, සමංගල ආරණ්‍යය, හෙනානිගල පුරාණ රජමහා විහාරය, මිහිඳු මහ සෙනසුන, අම්පාර දහම් මැදුර යන සේනාසනාධිපති ප්‍රධාන අනුශාසක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභික සංඝ ශෝභන වනරතන ශාසන ශෝභන ශ්‍රී සුගත ශාසන වංශ විභූෂණ කළුතර ධම්මානන්දාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආදාහන උත්සවයේ ආගමික වතාවත් ඉටුකරමින් නාපාන පේමසිරි හිමියන් එසේ සඳහන් කළහ.


අම්පාර නගරයේ එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ආදාහන උත්සවයේදී වැඩිදුරටත් අනුශාසන කතාවක්‌ කළ පේමසිරි හිමියන් මෙසේද පැවසූහ.

එදා අලි කොටි වලසුන්ගෙන් ගහන වූ ඝන වනාන්තරයට වී ත්‍රස්‌තවාදී විපත්වලින්ද ආරක්‍ෂා වෙමින් මේ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට කටයුතු කළ භික්‌ෂූන් වහන්සේ නමකි. ඒවාගේම උන්වහන්සේ මේ රටත් ජාතියත් ආගමත් ආරක්‍ෂා කරමින් වැඩකටයුතු කරන්න පුළුවන් ශිෂ්‍ය හිමිවරුන් රැසක්‌ බිහි කිරීම වැදගත් වෙනවා.

තමන් වහන්සේ පමණක්‌ නොව මේ රටට මේ දේශයට තමන් වහන්සේගෙන් පසුව ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ උන්වහන්සේගෙන් සිදුවූ සේවය ආලෝකවත් කිරීමට බිහිකර තිබෙනවා.

සමස්‌ත ලංකා අමරපුර මහ නිකායේ සංඝ සභාවේ කොටුගොඩ ධම්මාවාසී හිමි - විනයක්‌ ඇති ඒවාගේම මහණකමට වුවමනා කරන දැක්‌මක්‌ ඇතිව කටයුතු කළ යුතුයි. මහණකම අර්ථවත් කර ගැනීමට දැක්‌මක්‌ තිබිය යුතු වෙනවා. හොඳ සම්මා දිට්‌ඨියක්‌ තිබෙන්න ඕනෑ. මහණ වුණාට මදි. මහණකම අර්ථවත් කරගන්න ඕනෑ.

ඒ අතින් බලනවිට අපවත් වී වදාළ කළුතර ධම්මානන්ද හිමියන් තමන්ගේ මහණකම අර්ථවත් කරගැනීමට උත්සාහ ගත්තාවූ හාමුදුරුනමක්‌. මහ රහතන් වහන්සේලා සමහර විට ප්‍රකාශ කර තිබෙන්නේ මා විසින් කළ යුතු දේ දැන් කරලා අවසානයි. මගේ මේ ගිහි ජීවිතය සංසාර බව අවසානයි. මම දැන් මේ මහණකමේ උත්තරීතර තැනට පැමිණිලා අවසානයි. මේ වචන සිහිපත් කරමින් අපවත් වී වදාළ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභාවේ සාමාජික නමක්‌ හැටියට පෙනී සිටියා.

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි - කළුතර ධම්මානන්ද ස්‌ථවිරයන් වහන්සේ කියන්නේ ඉතා පතාක යෝධයෙක්‌ වගේ. ජීවිත කාලය තුළ මට මුණගැහුණු යතිවරයන් වහන්සේලා අතර උන්වහන්සේගේ චරිතයට සුවිශේෂ තැනක්‌ අපි ප්‍රදානය කර තිබෙනවා.

උන්වහන්සේ 1964 වර්ෂයේ බුද්ධංගල තපෝවනයට පැමිණිලා මහගල් තලාවක්‌ මත වැඩ හිඳගෙන තමන්ගේ සෙවනැල්ල වගේ මිත්‍රත්වයෙන් සිටි ආරියවංශ හිමියන් සමග බුද්ධංගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කළා.

චිත්‍රා දේවියගේ ආදායම් පාලක නිලධාරියා වූ උත්තිය ක්‍රිස්‌තු පූර්ව දෙවැනි ශතකයේ පමණ පූජා කරන ලද ගල් ලෙනේ උන්වහන්සේ වාසය කරමින් ආරම්භ කරපු බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මේ ප්‍රදේශයට පමණක්‌ නොව දෙස්‌ විදෙස්‌ ජාත්‍යන්තර කීර්තියට පත්වූ බොදු බිමක්‌ බවට පත් වුණා.

කැලෑවට ඇරී තිබූ පළාත් පූජනීය ස්‌ථාන බවට පත් කිරීමේ ගෞරවය කළුතර ධම්මානන්ද හිමියන්ට හිමි වන්නේ උන්වහන්සේගේ දක්‍ෂකම නිසයි.

මේ අවස්‌ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ශෝක පවුවිඩය නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රකාශයට පත් කළේය.

මෙහිදී පිළිගැනීමේ කතාව හා කළුතර ධම්මානන්ද හිමියන් පිළිබඳ දේශනයක්‌ බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති දීඝවාපියේ සුසීම හිමියන් විසින් සිදු කළහ.

අම්පාර උහන ප්‍රධාන මාර්ගයේ දහම් මැඳුර ස්‌ථානයේ සිට කළුතර ධම්මානන්ද හිමියන්ගේ දේහය අලංකාර පෙරහැරකින් වැඩම කළ අතර මෙම උත්සවයට විවිධ පළාත්වල නායක හිමිවරුන් ඇතුළු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති රෙජිනෝල් කුරේ, හිටපු ජනාධිපති ලේකම් හා බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ යාවජීව සභාපති බැඩ්මන් වීරකෝන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න හා අම්පාර නගර සභාවේ සභාපති ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, නැගෙනහිර ආණ්‌ඩුකාර මොහාන් විඡේවික්‍රම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.

දඩයම්තලාව - පී. ජයසිංහ, ලාහුගල - ගයාන් චින්තක
http://www.divaina.com/2014/04/12/news22.html

0 comments: