Pages

Monday, April 7, 2014

ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩකයෝ යොවුන් ඔලිම්පික්‌ වරම් ලබති

චීනයේ නැන්ජින් හිදී මෙම අගෝස්‌තු මස පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබන පළමු ක්‍රීඩාව බීච් වොලිබෝල් බවට පත්කිරීමට ඉසුරු මධුෂාන් සහ ෂාමික සඳරුවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් බීච් වොලිබෝල් කණ්‌ඩායම පෙරේදා (05වැනිදා) තායිලන්තයේදී සමත්විය.

ඒ අනුව යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග අංශය සඳහා ලෝකයෙන්ම අවස්‌ථාව ලබන කණ්‌ඩායම් 36 අතරට ඔව්හු එක්‌වෙති.

අදාළ ක්‍රීඩා උළෙලට බීච් වොලිබෝල් තරග අංශයෙන් සුදුසුකම් ලැබීම වෙනුවෙන් තායිලන්තයේ පැවැත්වෙන තරගාවලියේදී පිට පිටම තෙවැනි ජයග්‍රහණයත් ලබා අවසන් පූර්ව තරග අවස්‌ථාව ලබමින් ඔවුහු මෙම ඓතිහාසික අවස්‌ථාව උදාකරගත්හ.

මෙම තෝරාගැනීමේ තරගාවලියේදී ඉසුරු සහ ෂාමික සිය පළමු අභියෝගය වූ ගුවාම් රාජ්‍යය සමග පැවැති තරගයේදී ලකුණු 21-10ක්‌ සහ 21-09ක්‌ ලෙසින් තරගවට 2-0කින් පහසු ජයක්‌ ලැබූ අතර දෙවැනි තරගයේදී ලකුණු 21-16ක්‌ සහ 21-12ක්‌ ලෙසින් ජපානය පරාජයට පත්කළ අතර අර්ධ අවසන් පූර්ව වටය යටතේ කටාර් රාජ්‍යය සමගින් පෙරේදා පැවැති තරගයේදී ලකුණු 21-17ක්‌ සහ 21-16ක්‌ ලෙසින් ජයගත් ශ්‍රී ලංකා යොවුන් බීච් වොලිබෝල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව තරග වරම දිනාගත්හ.

අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන කණ්‌ඩායම් 4ටම යොවුන් ඔලිම්පික්‌ තරග අවස්‌ථාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැනි යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලෙට අවස්‌ථාව ලැබූ පළමු ක්‍රීඩකයන් බවට ඉසුරු සහ ෂාමික පත්විය.

ඔවුන් අදාළ අවසන් පූර්ව තරගයේදී සත්කාරක තායිලන්තය සමගින් ඊයේ තරග වැදීමට නියමිතව සිටියේය. 

මෙම සුවිශේෂී අවස්‌ථාව හිමිකරගත් ඉසුරු මධුෂාන් සහ ෂාමික සඳරුවන් යන දෙදෙනාම සීදූව දවිසමර විදුහල් ක්‍රීඩකයෝ වෙති. මෙම ක්‍රීඩකයන් ආදළ තෝරා ගැනීමේ තරගාවලියට සහභාගී වූයේ සිය පුහුණුකරු ධනපාල ජයපද්ම මහතා සමග මීගමුවේදී එක්‌ මසක නේවාසික පුහුණුවකින් අනතුරුවය.

මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වූ සැනින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කණ්‌ඩායම් කළමනාකරු සී. රත්නමුදලි මහතා මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා දුරකථනයෙන් අමතා සුබපතා ඇති අතර අප්‍රෙල් 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඔවුන් ශ්‍රී ලංකාවට ළඟාවීමේදී ඉතාම උණුසුම් ලෙස ඔවුන්ව පිළිගැනීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/04/07/sports01.html

0 comments: