Pages

Sunday, April 20, 2014

ගාල්ලේ රිච්මන්ඩ් සිසුවකුගෙන් කරුංකා ලෙලිගහන මැෂිමක්‌

ගාල්ලේ ආත්තම්මා අමාරුවෙන් කරුංකා ලෙලි ගහනව දැක්‌කා. ඉතින් මට හිතුනා මේකට ලේසි ක්‍රමයක්‌ හොයා ගත්තොත් ලංකාවට ලොකු විදේශ විනිමයක්‌ වුණත් ලැබෙනවා නේද කියලා. එසේ කියන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන මලිදු දෂ්මික ගුණවර්ධනයි.

සැබැවින්ම ඔහුගේ කතාව ඇත්තය. කරුංකා යනු පුවක්‌ වේලීමෙන් පසු තත්ත්වයයි. කරුංකා ලංකාවේදී ප්‍රයෝජනයකට නොගන්නාමුත් හොඳ මිලක්‌ සහිත අපනයනය කළ හැකි සුළු අපනයන භෝගයකි. නමුත් මේ කර්මාන්තයෙන් බොහෝ දෙනා ඈත් වී ඇත්තේ කරුංකා ලෙලි ගැසීමට ඇති අපහසුවත් එසේ ලෙලි ගසා ගන්නට යන කාලය හා සලකා බැලීමේදී එය විශාල පාඩුවක්‌ වන නිසාත්ය.

කෙසේ නමුත් මේ ප්‍රශ්නයට විසඳුමක්‌ සොයා ගන්නට මලිදුට හැකි වී තිබේ. ඔහු පවසන පරිදි ඔහුගේ නවතම නව නිපැයුම කරුංකා ලෙලි ගසන යන්ත්‍රයයි. මෙම යන්ත්‍රයෙන් පැයකට කරුංකා කිලෝ 60 ලෙලි ගැසිය හැකි බවද පවසයි. සිය යන්ත්‍රය ගැන වැඩි දුරටත් කරුණු දක්‌වන ඔහු යන්ත්‍රය පැය 10 ක්‌ ක්‍රියාකරවන්න විදුලි ඒකක 3 යි වැය වෙන්නේ. ඒ කියන්නේ නිවසක නම් මෙය තිබෙන්නේ රුපියල් 30, 40 අතරේ ගණනක්‌ වෙනවා.

මේක හදන්න මට සති තුනක පමණ කාලයක්‌ ගත වුණා. මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ඔයිල් බැරල් එකක්‌. ඒකෙ උඩිනුයි යටිනුයි මෝටර් බයිසිකල් රිම් දෙකක්‌ අරගෙන තිබෙනවා. ඒ රිම් දෙක අතර කාලේ කම්බි වෑල්ඩින් කරලා මේ කම්බි සහ ඔයිල් බැරල් එකේ සිදුරු කර ඇති තැන්වල වැදිලා තමයි කැරකෙන විට මේ කරුංකා ගෙඩියේ ලෙල්ල ගැලවෙන්නේ. මේක ඉතා සියුම් වැඩක්‌. අමතරව වොෂින් මැෂින් මෝටර් එකකුත් මම භාවිතා කළා.

එසේම ඔහුගේ අදහස වී ඇත්තේ රටට විදේශ විනිමය ගෙන එන මෙම කර්මාන්තය කරන ඕනෑම කෙනකුට අදාළ තාක්‍ෂණය ලබාදිය හැකි බවයි.

අවසන් වශයෙන් මෙවැනි නව නිර්මාණ කිරීමට සහයෝගය ලබා දෙන රිච්මන්ඩ් මාතාවටත් විදුහල්පති කර්නල් ඊ. එම්. එස්‌. ඒකනායක මහතාටත් නියෝජ්‍ය විදුහල්පති සමන්ත නාගහවත්ත මහතාටත්, පංති භාර ආචාර්ය මලින්ද කලුපහන මහතාට, තම සහෝදරයන් දෙදෙනාට සහ දෙමාපියන්ට මිත්තණියට ස්‌තූතිවන්ත වන බවද මලිදු පවසයි.

සටහන බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්, ඉමදුව - කුමාර කොඩිතුවක්‌කු
http://www.divaina.com/2014/04/18/provin02.html

0 comments: