ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාතික උත්සවය වන සිංහල අලුත් අවුරුද්ද දෙස අපට බැලීමට සිදුව ඇත්තේ මේ ව්‍යහය තුළ සිට ය. මෙහිදී පාට කණ්‌ණාඩි ගලවා තබා වීදුරු නැති කණ්‌ණාඩි රාමු පමණක් පැළඳගෙන සැබෑ තත්ත්වය දකින ලෙස ඉල්ලමු. මෙයට අවුරුදු 250 කට පෙර ලංකාවේ අරක්‌කු තිබුණේ නැත. කසිප්පු තිබුණේ ද නැත. ආසවනය කළ හෙවත් ඩිජිටල් කළ ස්‌ප්‍රීතුවලට වතුර කලවම් කර මද්‍යසාර සෑදීමක් එකල නොතිබුණු අතර රජතුමාගේ සිට වැඩවසම් දාසයා දක්‌වා සියලු දෙනා පානය කළේ හොඳට පැහුණු පොල් රා හෝ කිතුල් රා ය. ඒ අනුව එකල සිංහල අවුරුද්දට මත්පැන් පානය කළේ නම් ඒ පොල් රා හෝ කිතුල් රා ය. අද එතැනට පැමිණ සිටින්නේ කසිප්පු හෝ අරක්‌කු ය. මෙය අපගේ සංස්‌කෘතික ගමන්මග ඉතා පැහැදිලි ලෙස වෙනස් වීමකි. මෙයට අවුරුදු 150 කට පෙර අවුරුද්දට වෙඩි පුපුරුවන්නේ බීරංගයකිනි. එය දිගු ශක්‌තිමත් ලීයක් අගට සවි කළ කෝවක් වැනි යකඩ උපකරණයකි. මෙයට වෙඩි බෙහෙත් පුරවා ඇණයක් රිංගවා පොළවේ ගැසූ විට ටොන් එකහමාරේ කාලතුවක්‌කුවක ශබ්දය නිකුත් විය. අද එතැනට පත්ව සිටින්නේ ඉතා ලස්‌සන රතිඤ්ඤා ය. ඇතැම් රතිඤ්ඤයක් පත්තු කළ විට පරමාණු බෝම්බ භාගයක හඬ නඟී. රෑට මල් වෙඩි ගහන විට කෑම සොයා ඉගිලෙන වවුලන්ට යන එන මං නැති වේ. මෙයට අවුරුදු 200 කට පෙර සිංහල අවුරුදු කෑම මේසයට ගෙරිමස් නැත. අද අවුරුදු කෑමට නැත්තේ මිනී මස් පමණි. එදා සිංහල අවුරුද්දේ ඩ්‍රම් සෙට් එක වූයේ රබාන ය. අද රබාන ලොකු බිස්‌නස් එකක් වන අතර රබන් ගැසීම සඳහා චීත්ත ඇඳි මිත්තණියන් සොයාගැනීමට කලායතන ගානේ චාටර් විය යුතු ය. මේ සියල්ල වැරදිද? මේවා කාලානුරූප වෙනස්‌කම් ලෙස හිත හදාගැනීමට තරම් අවංක මිනිහාට මේ කිසිවක් වැරදි ලෙස නොපෙනේ. එහෙත් ඔබ මේවා වැරදිය යන ලෙන්ස් එක දැමූ කණ්‌ණාඩියකින් බලන්නට ගියොත් සියල්ල වැරදි බව පෙනෙයි. ගල් යුගයේදී ලෝහ ආයුධ තිබුණේ නැත. තිබුණේ ගල් ආයුධ ය. ලෝහ යුගයේ රිපීටර් තුවක්‌කු නොතිබුණු අතර තිබුණේ ප්‍රාථමික කෙටේරි වැනි කැපෙන ආයුධ ය. අද සියලු ආයුධ පසෙකට විසිවී ලේසර් තුවක්‌කු එතැනට පැමිණ තිබේ. හැම අතකම ලේසර් තුවක්‌කු නැතත් ගල් ආයුධයෙන් කළ කටයුත්ත මෙන්ම කෙටේරියෙන් කළ කටයුත්ත ද අද ලේසර් තුවක්‌කුවෙන් කළ හැකි ය. අපි භෞතිකවාදී දියුණුව නමැති කන්ද නඟිමින් සිටිමු. මේ කන්ද පාමුල අප අමතක කර දැමූ දෙයක් තිබේ. ඒ වූ කලී ආධ්‍යාත්මික පාරිශුද්ධියයි. කන්ද මුලට බැස ඒ අමතක වූ වස්‌තුවත් රැගෙන උඩට නඟිමු.
http://www.divaina.com/2014/04/12/editor.html
Pic Source
0 comments:
Post a Comment