
කෙසේ වුවද, පිපිරවීමට ගෙනෙන බෝම්බය වුවද තමන්ට අභිමත පරිදි වෙනස් කර යහපත් දෙයක් බවට පත්කර ගැනීමේ අපූරු සහ සාධනීය හැකියාව ලාංකිකයාට තිබේ. ඒ අනුව 20 වන සියවස වන විට ඔවුහු ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් සියතට ගනිති. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට සුද්දා ආපසු ගිය නමුත් ඔහුට රැගෙන යැමට බැරි දේවල් කිහිපයක් මෙහි ඉතිරි විය. ඉන් පළමුවැන්න සුද්දා මෙහි හැදූ පාරවල් ය. දෙවැන්න, ඔවුන් මෙහි ස්‌ථාපනය කළ රාජ්‍ය පරිපාලන ක්‍රමය ය. තෙවැන්න ක්‍රිකට් ය. ශ්‍රී ලංකාවේ පළමුවන ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණය වන්නේ 1979 දී ICC කුසලාන දිනා ගැනීම ය. 1996 දී අපි ලෝක ක්‍රිකට් කුසලානය ජය ගත්තෙමු. එය කෙටි කලක් තුළ ගිය ලොකු ගමනකි. මේ ගමනේදී අවස්‌ථා කිහිපයකදී අපි අන්ත පරාජයන් ලැබීමු. පරාජයට පත් වූ අපේ ක්‍රීඩකයන් ලංකාවට එන විට මහත් සාදරයෙන් පිළිගනු ලැබී ය. එය අපගේ ජාතික ගතියයි. ඉන්දියාව සහ පාකිස්‌තානය යන රටවල නම් මැච් එකක් පැරදුණු විට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගිනි තබනු ලැබේ. එහෙත් මේ ශිෂ්ට සමාජය කවදාවත් එසේ කළේ නැත. අපි පරාජය නමැති තිත්ත අත්දැකීම වහා අමතක කළෙමු. (ඉතාම නරක වන්නේ අපට ජයග්‍රහණය ද වහා අමතක වීමය.) ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදී ද මේ රටේ සියලු මිනිස්‌සු ජාති කුල ආගම් භේද පැත්තකට දමා ජාතික ක්‍රිකට් කණ්‌ඩායම සමඟ එක පෙළට සිට ගත්හ. ඒ කළයුතුව හැකි උපරිමයෙන් ප්‍රණාමය පුද කිරීමට අපේ ක්‍රිකට් පිල සමත්ව සිටින බව පෙනෙයි. 20-20 ජයග්‍රහණය ද එවැනි කළගුණ සැලකීමකි. ඒ ජයග්‍රහණය වාර්තා වූ පෙරේදා (6 දා) රාත්‍රියෙහි සිංහල අවුරුද්දට, ජනවාරි පළමුවැනිදා රෑ 12 ට පත්තු වන ප්‍රමාණය හා සමාන රතිඤ්ඤා තොගයක් පත්තු විය. වැදගත්ම දෙය වූයේ රටේ හැම පැත්තකින්ම සමාන ප්‍රතිචාර ලැබීම ය. අපට දැන් ඉතා දක්‍ෂ, ඉතා කාර්යශූර ක්‍රිකට් කණ්‌ඩායමක් සිටියි. ජයග්‍රහණයේ රහස වාසනාව නොව කාර්ය ශූරත්වය බව ඔවුන් පෙන්වා දෙනු ලැබ ඇත. නායකත්වය යනු ලොකුකම නොව දක්‍ෂකම බෙදා හදා ගැනීම බව මේ තරගයේදී අපි දුටිමි. මේ සටහන ජාතිය වෙනුවෙන් අපේ ක්‍රිකට් කණ්‌ඩායමට පිදෙන උපහාරයකි.
http://www.divaina.com/2014/04/08/editor.html
0 comments:
Post a Comment