Pages

Wednesday, April 16, 2014

සුනිල් සාන්ත නම්වූ සුවිශේෂි මිනිසා සුවඳැති මල් ඇයි හනිකට පරවන්නේ

සුනිල් සාන්තයන් උපත ලැබුවේ 1915 අප්‍රේල් මස 14 වැනිදා පමුණුගමදීය. ඔහුගේ මුල් නම බද්දලියනගේ ජෝසප් ජෝන්ය. සුනිල් සාන්ත යන නම වේදිකාවට යොදාගත් නමය.

කුඩා අවධියේ ම සිය මාපියන් අහිමි වූ නිසා මහත් කම්කටොලු රැසකට මුහුණ දුන් ඔහු හැදී වැඩුණේ මාමාවරුන් ළඟය. පමුණුගම ඉංගී්‍රසි පාසලෙන් හා ගමේ සිංහල පාසලෙන් අධ්‍යාපනය හැදෑරු සුනිල් සාන්තයන් විශිෂ්ට ලෙස ප්‍රාරම්භ විභාගයෙන් සමත් විය. ඔහුගේ දස්‌කම් දුටු මාමාවරු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු දිරිගැන්වූහ. අවසාන විභාගයද පහසුවෙන් සමත් වූ ඔහු මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳුණේය. පුහුණු ගුරුවරයකු ලෙස ගාල්ල සාන්ත ඇලෝසියස්‌ විදුහලට එක්‌ වූ ඔහු ගාලු දිස්‌ත්‍රික්‌කයේ පාඨශාලාන්තර තරගයකට ඉදිරිපත් කරන ලද සංගීත කණ්‌ඩායම පළමු ස්‌ථානය දිනා ගැනීමට සමත් විය. ඔහුගේ කීර්තිනාමය සෑම පාසලකම ප්‍රචලිත වන්නට විය.

1939 දී වැඩිදුර සංගීතය හැදෑරීමට ඉන්දියාවට ගොස්‌ ශාන්ති නිකේතනයට බැඳුණු සුනිල් සාන්තයන් සංගීතය පමණක්‌ නොව මණිපුරි - කථකලි වැනි නැටුම් ද ප්‍රගුණ කළේය. 

පසුව භාත්කණ්‌ඩේ සංගීත විශ්වවිද්‍යාලයට බැඳී ගායනය හා වාදනය පිළිබඳ විශාරද උපාධිය ලබා ගත්තේය. 1944 දෙසැම්බරයේ ලංකාවට ඔහු පැමිණියේ භාත්කණ්‌ඩයේ විශාරද උපාධිය ලබාගත් ප්‍රථම සිංහලයා ලෙසටය.

හින්දුස්‌ථාන් රාගධාරි සංගීතය හදාරා පැමිණි සුනිල් සාන්තයන් කුමාරතුංග මුනිදාස පඬිතුමන්ගේ ගී පෙළක්‌ කියවීමෙන් පරිවර්තනය විය. අපටම ආවේණික වූ දේශීය සංගීතයක්‌ බිහි කිරීමට පුරෝගාමී වූ ඔහුට හින්දුස්‌ථාන සංගීතය කරපින්නා ගත් සිංහලයෝ කීපදෙනෙක්‌ විරුද්ධ වූහ.

1946 දී ප්‍රථම වරට සුනිල් සාන්තයන්ගේ හඬ ගුවනින් විසුරුණේය. එම වසරේදීම ඕලු පිපීලා, හඳපානේ.... සුවඳ රෝස වැනි ගීත රාශියක්‌ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විණි.

1952 දී සිංහල ගායක ගායිකාවන් වර්ග කිරීමේ පරීක්‍ෂණයක්‌ සඳහා ගුවන් විදුලිය පණ්‌ඩිත් රත්නජංකර් මහතා ගෙන්වූයේය. ප්‍රතිපත්තිමය හේතු මත ඊට විරුද්ධ වූ සුනිල් සාන්තයන්ට ගුවන් විදුලිය තහනම් විය.

රජයේ දෙපාර්තමේන්තුවක්‌ වශයෙන් පවත්වාගෙන ගිය ගුවන් විදුලිය, සංස්‌ථාවක්‌ බවට පත්වීම නිමිති කොටගෙන බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේ මහා සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට බලධාරීන් තීරණය කළ අතර එයට සුනිල් සාන්තයන් සහභාගි කර ගැනීමට ඔවුහු උත්සාහ කළහ. ගුවන් විදුලිය ගැන කලකිරීමෙන් සිටි ඔහුට යෑවූ ලිපි ආරාධනාවලට ප්‍රතිචාරයක්‌ නොවීය.

එවකට ස්‌වදේශීය සේවා අධ්‍යක්‍ෂ ධුරය දැරූ තේවිස්‌ ගුරුගේ මහතා පෞද්ගලිකව ඔහු හමුවී කරුණු පැහැදිලි කොට ගෙන්වා ගැනීමේ කාර්යය පැවරුවේ ප්‍රවීණ නිවේදක දෙපළක්‌ වූ සරත් විමලවීර සහ සේසිරි විඡේසේකරයන්ටය. එම දෙපළගේ බලවත් ඉල්ලීම දිගින් දිගටම සිදු වූ නිසාවෙන් සුනිල් සාන්තයන් අවසානයේ එකඟත්වය පළ කළේය.

පසළොස්‌ වසරකට පසු සුනිල් සාන්තයන්ගේ රිදී සීනු හඬ ඇසීමට බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාව එකම හිස්‌ ගොඩක්‌ විය.

සුනිල් සාන්තයන් සිය ආත්මගරුත්වය මුදලට, තාන්නමාන්නවලට පාවා නොදුන් අභිමානවත් සංගීතවේදියකු වූ අතරම කියන දේ කෙළින්ම කීමට පසුබට වූයේ ද නැත. දේශීය සංගීතයක්‌ බිහිකිරීමට ගොස්‌ ගුවනින් ගීත ප්‍රචාරය තහනම් වූ එකම ගායකයා ද ඔහුය. පුතුන් දෙදෙනා ඉංජිනේරුවන් කර ගැනීමත් එකම දියණිය වෛද්‍යවරියක්‌ කර ගැනීමත් ඔහු විඳි අපමණ දුක්‌වල ප්‍රතිඵලය ය.

ඔහුගේ දෙටු පුත් ජගත් සාන්තගේ හදිසි වියෝවෙන් දැඩි කම්පනයට පත් සුනිල් සාන්තයන් පුතුගේ තුන් මාසයේ දානමය කටයුතු තෙක්‌වත් ජීවත් වූයේ නැත. සිංහල අවුරුදු දාක උපන් ඔහු සිංහල අවුරුද්දක්‌ පසුවන දිනයක දැයෙන් සමුගත්තේ කිසිවකු සිහිනෙන්වත් නොසිතූ මොහොතකය.

සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවන්නේ......... ඔහු ගැයූ ගීත එදත් අදත් හෙටත් ජනතා හදවත් තුළ ජීවත් වන බව ඒකාන්තය.

(සුනිල් සාන්ත සංගීතවේදියාගේ 99 වැනි ජන්ම සංවත්සරය අප්‍රේල් මස 14 වැනි දිනට යෙදී ඇත. 
මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

සටහන - සුජීව තත්සර
http://www.divaina.com/2014/04/11/cineart07.html

0 comments: