Pages

Tuesday, April 22, 2014

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය නගාසිටුවීමටත් සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත් පියවර ගන්න - ගැටඹේ නාහිමි ජනපතිට පවසති

ශ්‍රී ලංකාවේ කිසිදු නායකයකු විසින් ක්‍රියාත්මක නොකරන ලද සංවර්ධනයක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ සිදු කෙරෙන නමුත් අති විශාල ලෙස ඉහළ යමින් තිබෙන අධ්‍යාත්මික පරිහානියත් අසංවරයත් වැළැක්‌වීමට ප්‍රමාණවත් පියවරක්‌ තවම ගෙන නැතැයි තමන් වහන්සේ බැහැදැකීමට ඉකුත් බ්‍රහස්‌පතින්දා පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ගැටඹේ රාජෝපවනාරාමාධිපති අති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පවසා තිබේ.

නාහිමියන් සමග පැය දෙකක පමණ කාලයක්‌ රටේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු කාරණා සාකච්ඡා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත රටේ ගුණධර්ම පිරිහී යාමත් පවතින දූෂණ චෝදනා ගැනත් නාහිමිපාණන් වහන්සේ කරුණු දක්‌වා තිබේ.

රටේ කිසිදා සිදු නොවූ සංවර්ධනයක්‌ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජනතා ප්‍රසාදය හිමි වී තිබෙන බව අවිවාදයෙන් පිළිගන්නා බව නාහිමිපාණන් වහන්සේ පවසා ඇත.

ගුණධර්ම පරිහානියට විශේෂයෙන් හේතුවී තිබෙන්නේ පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියාකලාපයත් ඔවුන් දේශපාලනයට නුසුදුස්‌සන් වීමත් නිසා බව නාහිමිපාණන් පෙන්වා දී තිබේ.

සෙසු ක්‍ෂේත්‍රයන්ට අධ්‍යාපනය ඇතුළු තවත් සුදුසුකම් අවශ්‍ය නමුත් ප්‍රාදේශීය සභාවේ සිට ඉහළ මහජන නියෝජිත ආයතනය වූ පාර්ලිමේන්තුව දක්‌වා නියෝජිතයනට සුදුසුකම් සොයා බැලීමක්‌ සිදු නොවීම රටේ අභාග්‍යයක්‌ බව උන්වහන්සේ පවසා ඇත.

මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් පිළිගත් මහත්මා දේශාපාලනයක්‌ සඳහා වන සුදුසුකම් මාලාවක්‌ මීළඟ මැතිවරණයට පෙර සකස්‌ කරන ලෙස නායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කළහ.

එවන් සුදුසුකම් මාලාවක්‌ සකස්‌ කළහොත් මුදල් හා මැර බලය යොදාගනිමින් මහජන නියෝජිත ආයතනවලට අපරාධකරුවන්, කුඩුකාරයන්, සූදුකාරයන්, සල්ලාලයන්, නූගතුන් පිවිසීම වැළැක්‌විය හැකි යෑයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

ඇතැම් මැති ඇමැතිවරුන්ටද විවිධ චෝදනා ඉදිරිපත් වන බව පැවසූ උන් වහන්සේ වරද කරන එවන් බලධාරීන්ට එරෙහිව සුදුසු පියවර ගැනීමෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි ජනප්‍රසාදය තවදුරටත් වර්ධනය වන බව නාහිමියෝ පැවසූහ.

බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතට පත්කර ගනිමින් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය නගාසිටුවීමටත් සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත් පියවර ගන්නා මෙන් නාහිමිපාණෝ ඉල්ලීමක්‌ කළහ.

ඇතැම් බුද්ධිමත් විමර්ශනශීලී තරුණ භික්‌ෂූන් වහන්සේ ඉදිරිපත් කරන රටට බලපාන අසහනකාරී කරුණු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කොට අවශ්‍ය තීරණ ගැනීම අවශ්‍ය බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස්‌ දක්‌වමින් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි තමන් කටයුතු කර බව පවසා ඇත.

සම්බුද්ධ ශාසනය පෝෂණය කොට සුරක්‌ෂිත කිරීමට රාජ්‍ය නායක ලෙස තමන් බැඳී සිටින බවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාහිමිපාණන් වහන්සේට පවසා තිබේ.

දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් තුළ අවබෝධයක්‌ පවතින බවත් දේශපාලන ක්‍ෂේත්‍රයේ පක්‍ෂ විපක්‍ෂ සැමටම බලපාන පරිදි සුදුස්‌සන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම සඳහා වූ නීතිමය ප්‍රතිපාදන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාහිමිපාණන් වහන්සේට පවසා ඇත.

ලොව ඇතැම් රටවල මහජන නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේදී උපාධිය, පශ්චාත් උපාධිය සුදුසුකම් ලෙස සලකන බවත් පකිස්‌ථානය එයට හොඳම නිදසුනක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ. 

මත් කුඩු ජාවාරම් පාලනය කිරීම සඳහා මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කළ බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා එයින් යම් යම් අංශවලින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවද පවසා තිබේ.

තත්ත්වය සම්පූර්ණ කිරීමට රජයට පමණක්‌ නොහැකි බැවින් මහා සංඝරත්නයේ සහාය ද අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.

සිරිල් විමලසුරේද්‍ර
http://www.divaina.com/2014/04/22/news22.html

0 comments: