Pages

Tuesday, April 8, 2014

අවුරුද්දට මොකද කරන්නේ? "ඩූම් 3" බලනවා. නංගි චෙන්නායි එක්‌ස්‌ප්‍රස්‌ ආයෙත් බලනවලු! අවුරුදු සතුට සොයන් අවුරුදු කුමාරයාත් සුපර් මාකට්‌ ගිහින්

ලංකාවේ මිනිස්‌සු සිංහල අලුත් අවුරුද්දට අවුරුදු කන හැටි බලන්න සිත් වුණු අවුරුදු කුමාරයා ඒ සඳහා තමන් සමග තනි නොතනියට යන්නට ආරාධනා කළේ සක්‍රයාගේ පුත් වයිමාටය. වයිමා ද ආරාධනය සතුටින් බාර ගත්තේය.

දිව්‍යාභරණ සියල්ල ගලවා දිව සළුවකින් පොදියක්‌ බැඳ සක්‌ දෙව් විමනේ සඟවා තැබූ මේ දෙදෙනා පළමුවෙන්ම කළේ නාගරික තරුණ සෙල්ලක්‌කාර ගැටවුන් දෙදෙනකු සේ වෙස්‌වලා ගැනීමය. වෙස්‌වලා ගැනීම සාර්ථකය. දැන් වයිමා කවුද අවුරුදු කුමාරයා කවුද කියා දෙදෙනාටම හඳුනාගත නොහැකිය.

ලංකාවේ ජනාකීර්ණම නගරය වන කොළඹ නගරයේ ප්‍රාදූර්භූත ව එතැන් පටන් සාමාන්‍ය තරුණයන් දෙදෙනකු සේ සමීක්‍ෂණය පටන් ගන්නට කල්පනා කළ මේ දෙදෙනා එක්‌ වරම කොළඹ කොටුව දුම්රියපළ ඉදිරියේ ඕල්කට්‌ මාවතේ පෙනී සිටියහ.

මහ දවල් ඉර පායා මුළු පොළෝ තලයම දවයි. දෙදෙනාටම මේ සැර අව් රශ්මිය නුපුරුදුය. දැන් අපි ඊළඟට මොකද කරන්නේ. වයිමා අවුරුදු කුමාරයාගෙන් ඇසුවේය.

ඔයා තමයි මට රට තොට දැකගන්න උදව් කරන්න ඕන. බඩු මිල අඩු කරන එක හැර වෙන ඕනම දෙයක්‌ ලංකාවේ ඔයාට කරන්න පුළුවන් කියලනේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාත් කිව්වේ.

අවුරුදු කුමාරයා එසේ කියන විට වයිමා ආඩම්බරයෙන් හිස කෙළින් කරගෙන එහෙම නම් අපි ත්‍රීවීලරයකින් ඇවිදිමු. උන්ට පුළුවන් මේ රටේ රජ ගෙදර සිට හිර ගෙදර දක්‌වාම වූ ඕනම තැනකට මොහොතකින් අපිව ගෙනියන්න.

එසේ කියන විටම පාරේ වේගයෙන් පැමිණ ක්‍රීස්‌ ගා බ්රේක්‌ ගැසූ ත්‍රීවීලරයකින් පැමිණි අයෙක්‌ සර්... බෑරක්‌ද කියා පුළුල් සිනාවක්‌ පාමින් ඇසීය.

මං කිව්වේ මං කිව්වේ... දැක්‌කද කියනකොටම අපට උදව් කරන්න මිනිස්‌සු ඇවිත්. අපි මෙයත් එක්‌ක යමු වයිමා දෙවරක්‌ නොසිතාම අවුරුදු කුමාරයාත් ඇදගෙනම ත්‍රීවීලරයට නැග්ගේය.

කොහාටද සර් යන්නේ. ත්‍රීවීලරයා විමසීය.

අපිට ඕන මෙහේ මිනිස්‌සු අවුරුද්දට අවුරුදු කන හැටි හොඳට බලා කියා ගන්න. එහෙම තැනකට අපිව එක්‌ක යන්න. වයිමා කාරණය පැහැදිලි කළේය.

අයියෝ සර්... හොල්මං ද පොල්කොළ වගේනේ. අවුරුදු කන්න තව දවස්‌ දෙක තුනක්‌ම තියනවනේ. අද මොන අවුරුදු ද.

නෑ නෑ අයිසේ. මිනිස්‌සු දැන් ඉඳල අවුරුදු කන්න ලෑස්‌ති වෙනවනේ. රෙදි පෙරෙදි ගන්නවා තෑගි ගන්නවා. බඩුමුට්‌ටු ගන්නවා. අන්න එහෙම තැනකට යමු.

ආන්න කාරණේ. අවුරුදු මාසේ මිනිස්‌සු ඉස්‌සෙල්ලාම ගන්නේ රෙදි. ලොකු ලොකු අය යනවා ඔඩෙල්. ඊළඟට යනවා හවුස්‌ ඔෆ් පැෂන්, කූල් පැනටි. තවත් අය යනවා පැෂන් බග්, නෝලිමිට්‌, කැන්ඩි, ඉරෝටි, ග්ලිටිස්‌. සාමාන්‍ය පන්තියේ අය ලාබෙට බඩු ගන්න යනවා මේන් ස්‌ට්‍රීට්‌, කිරිබත්ගොඩ, පමුණුව වගේ තැන්වල පේමන්ට්‌ එකට. කොහාටද අපි ඉස්‌සෙල්ලා යන්නේ.

අපි යමු දුප්පත්ම මිනිස්‌සු බඩු ගන්න තැනකට. ඇත්තම කියනවා නම් මෙහේ පාරවල් ගැන අපිට අවබෝධයක්‌ නෑ. ඒකයි මල්ලිගේ උදව් ඕන.

සිම්පල්නේ සර්. දෙන්නම් බොක්‌කෙන්. කියූ ත්‍රීවීලරයා ටිකක්‌ කල්පනා කර "ඇත්තටම සර්ලා මේ පළාතේ අය නොවෙයිද?

නැහැ. අපි ටිකක්‌ ඈත.

එසේ කී සැණින් ත්‍රීවීලරයා දෙවරක්‌ නොසිතා ත්‍රීවීලරය පණගන්වා පාරට ගෙන මීටරය සීරෝ කර ගමන පටන් ගත්තේය. ඔහු මල්වත්ත පාරෙන් මේන් ස්‌ට්‍රීටය පෙනි පෙනීම එහි නොගොස්‌ මරදාන පැත්තෙන් වටයක්‌ ගසා වරාය පැත්තෙන් බැස විමලධර්ම වට රවුම ළඟින් මේන් ස්‌ට්‍රීටයට හැරවූයේය. එහි ඇඟිල්ලක්‌ ගහන්න ඉඩ නැත. ඒ තරමටම සෙනග මග දෙපස පේමන්ට්‌ වලත් කඩ සාප්පු වලත් තෙරපෙමින් රෙදි පෙරෙදි තෝරන්නේ ලෝක විනාශයට පෙර තිබෙන අන්තිම රෙදි අලෙවිය මේ යෑයි සිතාගෙන සේය.

මේක තමයි මේන් ස්‌ට්‍රීට්‌ එක. සාමාන්‍ය මිනිස්‌සු ලාබෙට රෙදි ගන්න එන තැනක්‌.

අපිට ඕන අවුරුදු රෙදි ගන්න තැනක්‌. 

අවුරුදු රෙදි කියල විශේෂ දේවල් නෑ සර්. මේ ඕනම රෙද්දක්‌ අවුරුද්දට ඔට්‌ටුයි.

නැහැ නැහැ... අර අඳින්නේ අවුරුදු කාලෙට. ගෑනු අය එහෙම උඩට යටට අඳින්නේ. වයිමා තේරෙන තාලෙට විස්‌තර කරද්දී අවුරුදු කුමාරයා වටපිට විස්‌තර බලමින් සිය අතේ වූ කැනොන් ඩී 4 වර්ගයේ කැමරාවෙන් ඡායාරූප ගන්නට පටන් ගත්තේය.

හරි හරි... මට තේරුණා සර්ලට ඕන කඩේ මොකක්‌ද කියලා. මෙහෙන් යමු සර්... කියමින් ත්‍රීවීලරයා මේ දෙදෙනාව එක්‌කගෙන ගියේ සම්පූර්ණයෙන්ම කාන්තා යට ඇඳුම් පමණක්‌ තියෙන යට ඇඳුම් මාලිගයකටය. ඒ තැන කාන්තාවෝ උඩ කොටසට, යට කොටසට අඳින වෛවාරන්න යට ඇඳුම් පාට පාටින් ඇති තරම් තිබිණි. කාන්තාවෝ යුවතියෝ ඒවා ගෙන ඒ මේ අත හරවමින් ඇඟට තබමින් හැඩ බලමින් තෝරමින් සිටියහ. ඒ අතරේ එතැනට ගොඩවුණ වයිමාත් අවුරුදු කුමාරයත් දුටු කාන්තාවෝ ඒ දෙදෙනා දෙස හැරී බැලුවේ අමුතුම සත්තු දෙදෙනකු දුටු විලසිනි.

එකෙනෙහිම ලඡ්ජාවට පත්ව දෙදෙනාම එළියට පැමිණ ත්‍රීවීලරයාගේ ඇඟට ගොඩවන්නට වූහ. කොහාටද තමුසේ අපිව ඒ එක්‌ක ගියේ. ඒකෙ හිටපු ගෑනු අපි දිහා හැරිල බැලුවේ හරියට නපුංසකයෝ දෙන්නෙක්‌ව දැක්‌ක වගේනේ.

සර්ලනේ කිව්වේ ගෑනු අය උඩට යටට අඳින ඒව තියන තැනකට එක්‌ක යන්න කියලා.

අපි කිව්වේ අර අවුරුදු කුමාරි තෝරනකොට අඳින්නේ. එතකොට අර ඒවා ඇඳල ගෑනු අය ඔන්චිලි පදින්නේ. රබානක්‌ වටේ ඉඳගෙන රබන් ගහන ගෑනු අය අඳින්නේ.

ආ... එහෙම කියන්න එපාය සර්. රෙද්දයි හැට්‌ටෙයි නේ. ඒවා විකුණන්න නෑ සර් රෙඩි මේඩ්. රෙදි අරගෙන මහන්න ඕන. මහන අයත් හිඟයි.

ඇයි නැත්තේ ගම්වල ඇති ඕන තරම්.

සර්ලට මෙහේ බලන්න දේවල් නෑ. අපි යමු කිරිබත්ගොඩ පැත්තට.

එහේ ඉන්නවලු නේද චණ්‌ඩි ඇමැති කෙනෙක්‌. මිනිස්‌සු අල්ලලා ගස්‌ බඳින. වයිමා තැති ගැන්මකින් යුතුව ඇසුවේය.

එයාට අහු වුණොත් අපි කියමු අපි ප්‍රසන්න රණවීරගේ මිනිස්‌සු කියලා. ඒ ඇමැති බය එයාට විතරයි.

හරි අපි යමු එහෙනම් ඒ බත්ගොඩ පැත්තට.

මට සර්ලා ගැන සැකයි. සර්ලා මොකටද මිනිස්‌සු අවුරුදු කාල සතුටින් ඉන්න එක ගැන ඔය තරම් හොය හොයා ෆොටෝ ගන්නේ. සර්ලා අර නවිපිල්ලේගේ විමර්ශන කණ්‌ඩායමේ අයවද්ද. එහෙම නම් ඕං ඒවට ඇවිල්ලා පොට වරද්දා ගන්න නම් එපා පුතෝ. දානවා ත්‍රීවීලර් එකම කැලණි පාලමෙන් පල්ලෙහාට. අපි රටට ආදරය කරන මිනිස්‌සු. ගරීරීරී ත්‍රීවීලරයා ගිගිරුවේය.

නෑ... නෑ... අපි ලංකාවෙම අය. හිටියේ අවුරුදු ගානක්‌ පිටරට. අපි පර්යේෂණයක්‌ කරනවා මේ රටේ මිනිස්‌සු අද අවුරුදු කන හැටි බලන්න. අපිට ඕන අවුරුද්දට රෙද්ද හැට්‌ට සරොම් ඇඳල කැවුම් කොකිස්‌ හදල අවුරුදු කෙලි සෙල්ලම් කරලා පරණ විදියට සිරිත් විරිත් කරල අවුරුදු කන මිනිස්‌සු. අපිට එහෙම අය බලන්න උදව් කරන්න. කීය ගියත් අපි ගෙවනවා. අවුරුදු කුමාරයා බැගෑපත්ව කියාගෙන ගියේය.

කරුමේ... කරුමේ... කරුමේ... එහෙම අය ඉන්නවා නම් සර්ලව අනුරාධපුරේට තිස්‌සමහාරාමෙට හරි අරගෙන ගිහිල්ලා පෙන්නල මාත් කීයක්‌හරි හොයා ගන්නවනේ. දැන් එහෙම අය මෙහේ නෑ සර්.

එතකොට ඕයි අපිට එහෙම අය බලන්නම බැරිද?

හරි... මට පට්‌ පට්‌ ගාලා වැඩ කළා අයිඩියා එකක්‌. ඒ ඔක්‌කොම සුපර් මාකට්‌වල තියනවා. යන් සර් කියූ ත්‍රීවීලරයා පාරේ ඩබල් ඉරි ඇති තැනකින්ම යූ ටෝන් එකක්‌ ගසා රථය ආපස්‌සට කරකවා වේගයෙන් පදවාගෙන ගොස්‌ ලොකු කාර් පාක්‌ එකක නතර කළේය.

දැන් බහින්න සර්. එන්න සර් එන්න සර්. "ඕල් ඔෆ් තින්ග්ස්‌ ඉන් වන්" සර්... ත්‍රීවීලරයා එසේ කියමින් අවුරුදු කුමාරයාවත් වයිමාවත් යෝධ සුපර් මාර්කට්‌ටුව වෙත රැගෙන ගියේය. අවුරුදු සිරිය පෙන්වන සැරසිලි එහි හැම තැනම දුටු අවුරුදු කුමාරයා ප්‍රීතියෙන් මුසපත්ව ඒ මේ අත ඡායාරූප ගන්නට පටන් ගත්තේය.

ආයුබෝවන් සර්. කියමින් රෙද්ද හැට්‌ටය හැඳගත් තරුණියක්‌ දොරෙන් ඇතුල් වෙද්දීම පිළිගත්තේ මුව පුරා පැතුරුණු පුළුල් සිනහවක්‌ පාමිනි.

සුපර් මාර්කට්‌ටුවේ නැති දෙයක්‌ නැති තරම්ය. හැම තැනම වෙළෙඳ සේවිකාවන් ලෙස සිටියේ රෙද්ද හැට්‌ටය ඇඳගත් තරුණියන්ය. සිංහල රබන් සුරල් හඬක්‌ ඇසුණෙන් අවුරුදු කුමාරයා වයිමාගේත් අතින් අල්ලාගෙන ඒ දෙසට ඇදුණේය.

යෝධ සුපර් මාර්කට්‌ටුවේ ඉඩකඩ ඇති තැනක සිංහල ගමක අනුරුවක්‌ සේ පෙනෙන මැටියෙන් ගෙයක්‌ තනා ඇත. වහලයට පොල්අතු සෙවිලි කර තිබිණි. පැත්තක ලොකු රබානක්‌ තබාගත් කාන්තාවන් පිරිසක්‌ එය වාදනය කරති. තවත් පැත්තක රෙදි හැට්‌ට ඇඳගත් කාන්තාවන් කිහිපදෙනෙක්‌ ලිප් බැඳ කැවුම් කොකිස්‌ බඳිනු පෙනෙයි.

තෙලේ බැදෙන කැවුම් කොකිස්‌ සුවඳ වායුසමීකරණයේ සිසිල සමග එක්‌ව සුපර්මාර්කට්‌ටුවේ දසත පැතිර යයි. දොන්ත බබක්‌කට දෙන්න දෙයක්‌ නැත පෙට්‌ටි දෙකක්‌ උඩ තුට්‌ටු දෙකක්‌ ඇත. යන අනුසාරයෙන් රබන් පද වැයෙද්දී කැවුම් කොකිස්‌ සුවඳින් මුසපත්ව ගිය ජනී ජනයා පොරකමින් එවෙලේ බැඳි උණු උණු කැවුම් කොකිස්‌ මිලදී ගනු දැක අවුරුදු කුමාරයාත් ඒ දෙසට ළං වූයේය.

මිනිස්‌සු දැන් ගෙදර කැවුම් කොකිස්‌ හදන්නේ නෑ. ඒ වෙනුවට කඩෙන් ගෙනියනවා. වයිමා ආර්ථික විද්‍යා න්‍යායක්‌ ගෙන ඉල්ලුම හා සැපයුම මෙන්ම මිල න්‍යාය අවුරුදු කුමාරයාට පැහැදිලි කළේය.

අවුරුදු කුමාරයා කැවුම් මිලදී ගත් ප්‍රියමනාප කාන්තාවක්‌ හා කතාවට වැටුණේය. 

ඔබතුමිය මේ කැවුම් කඩෙන් ගන්නේ.

ගෙදර හදන්න වෙලාවක්‌ නෑ. අනේ අපි මේවා හදන්න දන්නේ නෑ...


ඒක නිසා කඩෙන් අරන් ගිහින් කනවා.


එකේයියා... කවුද මේවා කන්නේ. අපි මේවා අරන් යන්නේ අවුරුද්දට මේසෙට තියන්න. සිරිත් විරිත්වලට කැවුම් කොකිස්‌ ඕනමනේ.


සිරිත් විරිත් කළාට පස්‌සේ ආහාර අනුභවයේදී කැවුම් කෑල්ලක්‌ කනවා ඇති. වයිමා කුතුහලයෙන් අසා සිටියේය.


නෑ අනේ. සිරිත් විරිත් කළාට පස්‌සේ ගනුදෙනුව තියනවනේ. ඒ වෙලාවට මේ කැවුම් කොකිස්‌ කෙසෙල් කිරිබත් ලස්‌සනට පිඟන්වල තියලා සුදු රෙදිවලින් වහලා ගෙදර වැඩකාරයෙක්‌ අත අහල පහල ගෙවල්වලට යවනවා.


එතකොට එයාල කනවද?


නෑ. එයාලත් ගෙවල්වලට යවනවා. වෙන පිඟානක තියලා රෙද්දක්‌ උඩින් දාලා.


ඒ ගෙදර අය...


එයාලත් ඒ විදියට තව ගෙයකට යනවා.


මාර වැඩේනේ. ඒ කෑම ටික ගම වටේ රවුමක්‌ ගිහින් ආයෙත් ඒ ගෙදරටම එන්න පුළුවන්නේ...


ඔව් එහෙම වෙනවා. ඒකට කමක්‌ නැහැ. කන්නේ නැහැනේ. සිරිත් විරිත් ඉටුකරන්නනේ ඕන.


ඒවා නැද්ද පැකට්‌ කරලා මේවයෙ විකුණන්න. වයිමා ඇසීය.

මොනවද?

සිරිත් විරිත් වයිමා කීය.

වට්‌ස්‌ නොන්සන්ස්‌ කියමින් උරණව ඒ කාන්තාව යන්නට ගියාය.

අවුරුදු කුමාරයා දැඩි කලකිරීමකය. ඔහු කියවයි. ඉස්‌සර මිනිස්‌සු අවුරුද්දට සතුටු වෙන්නේ හේනේ කුඹුරේ අස්‌වැන්න ගෙදරට ගෙනල්ලා. ගෙවල් හුණු ගාලා හෝදල සුද්ද කරනවා. අලුත් ඇඳුම් අරන් මහගන්නවා. කැවුම් කොකිස්‌ උයනවා. තරුණියෝ ඔන්චිලි පදිනවා. ඔන්චිලි වාරම් කවි කියනවා. ගැහැනු අය රබන් ගහනවා. කෙල්ලෝ පංච දානවා ඔලිඳ කෙලිනවා. ගමේ තරුණයෝ ගොයම් කපාපු ඉපනැල්ලේ චග්ගුඩු පනිනවා. එල්ලේ ගහනවා. පුංචි එවුන් වළ කජු ගහනවා. ගම කොච්චර ලස්‌සනද අවුරුද්දට.

ඒ එදා මහත්තයා. අද "එහෙම ගමක්‌" ගමෙත් නෑ, නගරයේත් නෑ. මිනිස්‌සු පුරුද්දට සිරිත් විරිත් කරලා අවුරුදු කනවා. 

ඔය කිව්වට ගමේ තවම අවුරුදු ඇති. අපි යමු දකුණට දකුණේ තමයි නියම ගම, නියම සිරිත් විරිත් තියෙන්නේ. පොල්අතු හෙවිල්ලපු ගෙවල්වල.

පොල්අතු ගෙවල් දැන් නෑ මහත්තයා. කියමින් ත්‍රීවීලරයා මාතර පැත්තට යන්නට ත්‍රීවීලරය පදවන්නට පටන් ගත්තේය.

අන්න පොල්අතු ගෙයක්‌. අපි යමු එතනට මග අයිනේ මැටියෙන් තනන ලද පොල්අතු හෙවිල්ලපු ගොඩනැඟිල්ලක්‌ දුටු අවුරුදු කුමාරයා ත්‍රීවීලරය හරවන්නට කියා ඊට ගොඩවුණේය.

පුදුමයකි. පිටින් බලන විට වහලේ පොල් අතුය. බිත්ති මැටිය. බිම ගොම මැටිය. එහෙත් ඇතුළත ටයිල්ය. වහලයට නවීන පන්නයේ සිවිලිම්ය. මුළු ඇතුළම වායුසමීකරණය කරලාය. මුහුණ ඇඹුල් කරගත් අවුරුදු කුමාරයා යළිත් ත්‍රීවීලරයට නැග්ගේ යමුකෝ මාතරටම කියමිනි.

ගම නෑ මහත්තයා ගම කොළඹ ඇවිත්. ගම දැන් නරක්‌වෙලා. ගැමිකම මේ සමාජයේ මාකට්‌ වෙන නිසා ව්‍යාපාරිකයෝ ගම හැම තැනම විකුණනවා. ගැමිකම සිරිත් විරිත් අද වෙළෙඳ භාණ්‌ඩ විතරයි. ත්‍රීවීලරයා ඌ දන්නා ආර්ථික විද්‍යාවෙන් හේතු පහදයි.

ත්‍රීවීලරය මාතර නූපේ හන්දියෙන් වමට හරවා ගම සොයමින් ඇතුළට ඇතුළට ගියේ ගැමිකම හා අවුරුදු සතුට සොයා ගන්නටය. එරබදු මල් කොවුල් හඬ ඉස්‌සර හොඳින් ඇසුන ගම කොතරම් වෙනස්‌ද මංමාවත් පුළුල් වී කාපට්‌ එලා ගමට යන පාර තනා තිබේ. ගමේ ගුරු පාරවල් කොන්ක්‍රීට්‌ දමා පුළුල් කර ඇත. ගමේ ගැමි සිරියාව අතුරුදන්ව ගොස්‌ය. නගරයේ සෝබනය හා බොරුව ගම තුළ පැතිර ඇත.

අවුරුදු කුමාරයා පාලටුව හරියේදී ගැමි ගෙයක්‌ යෑයි හැඟෙන ගෙදරකට ගොඩවන්නට ගොස්‌ ගෙමිදුලේ පන්දු කෙලින කොල්ලන් කිහිපදෙනෙක්‌ ළඟ නතර වුණේය.

පුංචි එකෙක්‌ ලසිත් මාලිංග සේ වේගයෙන් දුවවිත් අත කරකවා දමා ගසන ලද පන්දුවකට අනෙක්‌ කෙළවරේ උන් කොලුවා වැරෙන් පහරක්‌ එල්ල කළේය. පන්දුව වයිමා උඩ පන්දුවක්‌ ලෙස රැකගත්තේය.

ඒයි අයියේ බෝලේ දාපන් මෙහාට. කොලුවා ඔරවමින් වයිමාට තර්ජනය කළේය. වයිමා පන්දුව අවුරුදු කුමාරයාට දැම්මේය. අවුරුදු කුමාරයා පන්දුව අතැතිව කොලුවා ළඟට ගියේය.

පුතාලා මේ බෝල ගහනවා විතරද. අවුරුදු කාලෙට වළ කඡ්ජ ගහන්නේ නැද්ද.

වලකඡ්ජු... කොල්ලා විපිලිසර විය. 


වලකඡ්ජුද... ගිය සුමානේ අපේ සීයා වලකඡ්ජ ගැහුවා. තාම සොහොනේ ගොක්‌කොළ වේලිලත් නෑ. ඉස්‌සර නම් යුද්ධ කාලේ සුමානෙට දෙන්නෙක්‌ තුන්දෙනෙක්‌ වලකඡ්ජ ගහලා ගමට ගේනවා. අපි යනවා මළගෙවල්වල බීම බොන්න. දැන් යුද්දෙ ඉවර නිසා ඒ චාන්ස්‌ එකත් නෑ. කියමින් තවත් කොල්ලෙක්‌ අවුරුදු කුමාරයා අතේ තිබූ බෝලය උදුරාගෙන දිව්වේය.


වයිමාත් අවුරුදු කුමාරයාත් මිදුල දිගේ ගේ දොරකඩට පැමිණ දොරට තට්‌ටු කරමින් ගෙදර කවුදැයි විමසා සිටියහ.

ගෙතුළින් පැමිණියේ නාඹර වියේ ගැටිස්‌සියකි. ඉයර්ෆෝනයක්‌ කනෙහි ගසාගත් ඕ ඇගේ ස්‌මාට්‌ ෆෝන් එකෙන් කුමක්‌දො සින්දුවක්‌ අසමින් නටමින් සිටියා හැර ආවේ කවුදැයි කියාවත් බැලුවේ නැත. ගෙතුළින් ඊට වැඩිමල් තවත් තරුණියක්‌ එළියට එමින් කීවේ තාත්තා ගෙදර නැති බවය.

ඕ වයිමා දැක අයියා එෆ්. බී, එකේ ඉන්නවා නේදැයි ඇසුවාය. වයිමා උඩ බිම බලද්දී මම අයියව දැකල තියනවා. එන්න ඇතුළටයි කීවාය.

ඔයාල අවුරුද්දට පංච දාන්නේ නැද්ද අඩුම තරමින් ඔළිඳ කෙළිය, ඔන්චිලි පැදිල්ල වගේ සෙල්ලම් වත්.

ඒවා කළේ අපේ අම්මලගේ කාලෙ අනේ. අපිට කොච්චර ගේම්ස්‌ තියනවද කරන්න එෆ්. බී, එකේ. නෙට්‌ එකේ තියන ගේම්ස්‌ නම් මාරයි අනේ.

අවුරුද්දට මොකද කරන්නේ...

මම අවුරුද්දට "ඩූම් 3" බලනවා. නංගි නම් චෙන්නායි එක්‌ස්‌ප්‍රස්‌ ආයෙත් බලනවලු. ඊට වඩා හොඳයි අනේ ආශිකි 3 බොමුද අයියේ කූල් ඩි්‍රන්ක්‌ එකක්‌ කියමින් තරුණිය ගෙතුළට යද්දී වයිමාගේ අතින් ඇදගත් අවුරුදු කුමාරයා එළියට බැස්‌සේය.


ඉස්‌සර අපි දැකපු ගම දැන් මෙහෙත් නැහැ. අපි යමු කොළඹ...

මහත්තයාලා කියන ඔය ගම බලන්නට ඕනනම් අවුරුද්ද දවසට ටී. වී. බලන්න. එදාට විතරක්‌ ඔය ගම ඕනම චැනල් එකක තියේවි. ඒ ගම විකිණිලා ඉවරයි මහත්තයා. අද කාලේ ඉස්‌සර වගේ අස්‌වැන්න කපල පාගල ගෙදරට ගෙනල්ලා මිනිස්‌සු සතුටු වෙන්නේ නැහැ. අස්‌වැන්න කපල කුඹුරෙන් ගොඩට ගන්නකොටම මුදලාලිලා ගොවියගේ අතට ගානක්‌ දීල ඔක්‌කොම අස්‌වැන්න අරගෙන යනවා. ගොවියා සල්ලි ටික අරන් ගෙදර ඇවිත් අවුරුදු සතුට සල්ලිවලට ගෙදර ගේනව. අවුරුදු සතුට පැකට්‌ කරලා සුපර් මාර්කට්‌වල විකිණෙනවා. අද තියෙන්නේ එහෙම සංස්‌කෘතියක්‌. කියමින් ත්‍රීවීලරයා ගාලු පාර දිගේ කොළඹ එද්දී අවුරුදු කුමාරයාත් වයිමාත් දෙදෙනාම බර කල්පනාවක කෙළවර ගොරව ගොරවා නිදන්නට වූහ.

බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2014/04/06/feature11.html